සභාපතිගේ පුතා කෝප් එකේ වාඩිවුණේ කොහොමද

430

විපක්‍ෂ නායකටවත් නැති බලයක් රංජිත්ගේ පුතාට කොහෙන්ද -සජිත්

එයා ප්‍රවෘත්ති ලේකම්ලු – කථානායක

ක්‍රිකට් ප්‍රශ්නයේදීවත් රංජිත්ගේ සභාපතිකම අයින් කරන්න – හේෂා

සභාපති ධුරය විපක්‍ෂයට දෙන්නම් කියා අරගලය කාලයේ කථානායක කිව්වත් පස්සේ මගඇරියා -කිරිඇල්ල

රංජිත් මුලසුනේ නම් කෝප් එකට අපි නෑ – දයාසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස සේවය කරන කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ක්‍රිකට් ආයතනය පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ සිය පුත්‍රයා ද එම කමිටුවට සහභාගි කරවාගෙන බරපතළ වරදක් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

රටේ විපක්ෂ නායක ලෙස කෝප් කමිටුවට සහභාගි වී අදහස් දැක්වීමට තමාට ඉඩ නුදුන්න ද පිටස්තර පුද්ගලයකු වන කණිෂ්ක බණ්ඩාර නමැත්තා ක්‍රිකට් ආයතනය ගැන කෝප් විමර්ශන කෙරෙද්දී එම රැස්වීමට සහභාගි වීම බරපතළ තත්ත්වයක් යැයි ද ඔහු කීය.

“එබැවින් මහාචාර්ය රංජිත් බණ්ඩාරට කෝප් සභාපති ලෙස තවදුරටත් කටයුතු කිරීමට පුළුවන්ද කියන ගැටලුව තිබෙනවා” යැයි ද කී ඒ මහතා එහිදී මෙසේ ද කීය.

කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැන්ඩ් ක්‍රිකට් කැම්පස් ප්‍රොජෙක්ට් හි උපදේශක ලෙස කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලිපිලේඛන මා සභාගත කරනවා. ළබැඳියාවන්ගේ ගැටුමක් මෙතෙන තිබෙන නිසා මොහුට තවදුරටත් කෝප් කමිටුවේ සභාපති ලෙස ක්‍රිකට් විමර්ශන කටයුතු කරන්න පුළුවන් ද කියන ගැටලුව තිබෙනවා. අනෙක මේ ගැන හෙළිදරව් නොකොට මේ කටයුතු කිරීම නිසා කෝප් සභාපති ලෙස තවදුරටත් කටයුතු කරන්න පුළුවන්ද කියන ගැටලුව තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බ්‍රේන් සෙන්ටර් එකක් හදන කටයුත්තේදී උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බු කියන ආයතනයයි ඒ සඳහා උපදේශනය ලබා දෙන්නේ. දැන් මෙහි කවුද එහි සභාපති, මේ රංජිත් බණ්ඩාර මහතාමයි. මේක බරපතළ ප්‍රශ්නයක්. එහෙනම් කොහොමද මෙතුමා ක්‍රිකට් ආයතනය ගැන කෝප් සභාපති ලෙස ක්‍රියා කරන්නේ කියලා මම අහන්න ඕනෑ.

ඒ වගේම තුන්වැනි කාරණයකුත් තිබෙනවා. එදා රජයේ මූල්‍ය කමිටුවට ආපු මට කතා කරන්න ඉඩ දුන්නේ නෑ. මම මේ රටේ විපක්ෂ නායක. එදා මගේ කට වැහුවා ඡන්දයක් අරන්. ක්‍රිකට් ආයතනය කෝප් එකට ආපු වෙලාවේ හේෂා සහ මරික්කාර් මන්ත්‍රීතුමන්ලාගේ පිටුපස යම් පුද්ගලයෙක් ඉඳගෙන සිටියා. මට විදේශයක සිට කෝල් එකක් එනවා කෝප් එකේ සභාපතිගේ පුතා කොහොමද කෝප් එකේ වාඩි වෙන්නේ කියලා. ඔහු කණිෂ්ක බණ්ඩාර. එතකොට මම කෝප් එකට ආවත් කතා කරන්න බෑ වාඩි වෙන්න විතරයි පුළුවන්. මගෙන් මේ පුද්ගලයා දන්නවාද කියලා අහලා. මම ඔහුව දැනගෙන හිටියේ නෑ. මම එය තහවුරු කර ගත්තා ඉන්පසුව. කෝප් එකේ සභාපතිගේ පුතාට මොකක්ද කෝප් එකට එන්න තිබෙන අයිතිය? මෙහෙම කෝප් එකට එනකම් පාර්ලිමේන්තු නිලධාරීන් මොකද කළේ? මෙහෙම පුළුවන්ද? මටවත් නැති අයිතියක් කොහොමද කණිෂ්ක බණ්ඩාරට තිබෙන්නෙ? මේ ගැන මට කථානායකතුමා උත්තරයක් දෙන්න.

කථානායක- පිටස්තර කෙනෙකුට මෙහෙම කෝප් එකේ ඉඳගන්න අයිතියක් නෑ. නමුත් ඔහු සභාපතිගේ ප්‍රවෘත්ති ලේකම් කියා දන්වා තිබෙනවා.

විපක්ෂනායක – මම විපක්ෂ නායක. එහෙනම් මටත් පුළුවන්ද මේ පාර්ලිමේන්තු උපදේශක කමිටුවලට මගේ ප්‍රවෘත්ති නිලධාරී ගෙනියන්න? කෝප් එකේ මට කට අරින්න බෑ.

කථානායක – ඒ සම්බන්ධයෙන් අපි සොයා බැලුවා. ඒක වැරදියි.

විපක්ෂනායක – ඒ කනගාටුවෙන් වැඩක් නෑ. මේක බරපතළ උල්ලංඝනය කිරීමක්. එතුමාට කෝප් එකේ වාඩි වෙන්න අයිතියක් නෑ. ක්‍රිකට් එකේ උපදේශක කෙනෙක් ක්‍රිකට් ගැන විමර්ශනය කිරීම කොහොමද කරන්නේ?

කථානායක – මේවා ගැන අපි තොරතුරු දන්නේ නෑ. කරුණු සොයා බලන්න වෙනවා. සත්‍ය නම් ඔබතුමාට කියන්නම්. ඔබ කරන මේ චෝදනා ගැන පරීක්ෂණයක් කරලා බලන්න වෙනවා. එයාටත් එයාගේ පැත්ත හෙළිකරන්න අවස්ථාව දෙන්න ඕනා නේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා – මේ වෙලාවේ මූලික වැඩ කටයුතු කරන අවස්ථාව. අපි ඒ කටයුතුවලට යමු. අනෙක ඒ මන්ත්‍රීවරයා දැන් සභාවෙත් නෑ. විපක්ෂනායකතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස මේක අහන්න.

විපක්ෂ නායක – මගේ වරප්‍රසාද කඩවුණා. මේ කොහෙද යන පුතෙකුට පුළුවන්ද කෝප් එකේ වාඩි වෙන්න.

නලින් බණ්ඩාර මහතා – මම හඳුන්නෙත්ති සභාපතිගේ කාලයේ රැස්වීමකට ගිහින් මාව ඇතුළට ගත්තෙත් නෑ. කලින් දැනුම් දීලා එන්න කිව්වා. එහෙමයි කලින් මේ සභාවල වැඩ වුණේ. එදා මම දැක්කා මේ අය ඉස්සරහ නම ගහලා තිබුණා සම්බන්ධීකරණ ලේකම් කියලා. දැන් කිව්වේ මාධ්‍ය ලේකම් කියලා. එහෙම සභාපතිට කරන්න පුළුවන්ද? ලේකම්ලා පත් කර ගන්න? අද මේ සභාපති එක එක ආයතනවල දුක්ගන්නාරාල කෙනෙක් වෙලා. එක එක ආයතන එක්ක ඩීල් දානවා. ඔහු තෝල්කයෙක් වෙලා. ඒ නිසා මේ කෝප් සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ඒ ධුරයෙන් අයින් කරන්න.

හේෂා විතානගේ මහතා-

කෝප් කම්ටුවට කිසිම මාධ්‍යවේදියෙක් හෝ මාධ්‍ය නිලධාරියෙක් ගෙන්නන්නේ නෑ කියලා කෝප් කමිටුව තීන්දුවක් අරන් තිබෙනවා. එහෙනම් කොහොමද මෙහෙම කෙනෙක් කැඳෙව්වේ. හෙට එතුමාගේ බිරිඳව ගෙනාවත් අපි බලා ඉන්න ඕනා. මේ ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නයේදීවත් මේ සභාපති ඉවත් කරලා කටයුතු කරන්න.

චමින්ද විජේසිරි මහතා – කෝප් එකට මාධ්‍ය ආයතන කැඳවන්න කියලා දැඩි කතාබහක් තිබුණා. එහිදී ගත්තු තීරණය තමයි මාධය කැඳවන්නේ නෑ කියලා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මම කිව්වා මේ කෝප් එක කෝපා එක විපක්ෂයට දෙන්න කියලා. ඒ සභාපති ධුර විපක්ෂයට දෙනවා කියලා කථානායකතුමා පොරොන්දු වුණා. ඒ පොරොන්දු වුණේ අරගලය කාලේදී. බයට පොරොන්දු වුණා ඔබතුමා. අරගලය ඉවර වුණා විතරයි බෑ කිව්වා.

දයාසිරි ජයසේකර – අපි කෝප් සාමාජිකයන් ලෙස විශේෂයෙන් කියන්නේ රංජිත් බණ්ඩාර සභාපතිතුමා මුලසුනේ ඉන්නවා නම් අපි සූදානම් නෑ ඒ කටයුතු තවදුරටත් ගෙනියන්න. අපි සියලුම සාමාජිකයන් ලෙස මේ ගැන පෙනී සිටිනවා. ක්‍රිකට් සම්බන්ධයෙන් එතුමාගේ සභාපතීත්වය පිළිගන්න සූදානම් නෑ.

කථානායක – අපි මේ ගැන අවධානය යොමු කරන්නම්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment