රට හරහා බලය යුද හමුදාව අල්ලයි

80

දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය ඉලක්ක කරගෙන හෝමාගම දියගමදී පෙරේදා (20 වැනිදා) පැවැති තේරීමේ තරගවලින් පළමු, තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන අත්කර ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

යුද හමුදාවේ වී. වක්ෂාන් පළමු ස්ථානය ද, ඩබ්ලිව්. අබේරත්න තෙවැනි ස්ථානය ද ඒ අනුව දිනා ගැනීමට සමත් වූහ.

හතර වැනි ස්ථානය දිනා ගත් එච්.ඩී. ගුණසේකර සහ පස්වැනි ස්ථානයට පත් කේ. එච්. එම්. සරත් ද යුද හමුදා ක්‍රීඩකයෝ වෙති.

එම තරගයේ දෙවන ස්ථානය පොලිස් ක්‍රීඩක හේමන්ත කුමාර දිනා ගත්තේය.

පළමු ස්ථානය දිනාගත් වී. වක්ෂාන් විනාඩි 32.11 කින් එම තරගය නිමා කළ අතර දෙවැනි ස්ථානය හිමිකර ගත් හේමන්ත කුමාර තරගය සඳහා ගත කළ කාලය විනාඩි 32.20 කි.

විනාඩි 32.27 කින් තරගය නිමා කිරීමට ඩබ්ලිව්. අබේරත්න සමත් වී තිබුණි.

කිලෝමීටර් දහයක දුරකින් යුතුව එම තරගය පැවැත්විණි.

මේ අතර කිලෝමීටර් 8 ක තේරීම් තරගයක් ලෙස පැවති එහි කනිෂ්ට තේරීම් තරගයේ පළමු ස්ථානය රත්නපුර ඇලෝසියස් විදුහලේ ලහිරු අචින්ත සතුවිය.

දෙවන ස්ථානය කඹුරාවල විදුහලේ කේ. මධුශාන් දිනාගත් අතර, තෙවැනි ස්ථානය දිගන රජවැල්ල හින්දු විදුහලේ ආර්. විදුෂාන් දිනා ගත්තේය.

දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය මාර්තු 3 වැනිදා ඉස්ලාමාබාද්හිදී පැවැත්වේ.

මෙවර පැවැත්වෙන්නේ 03 වැනි දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය යි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment