වසර 5කට පසුත් තවමත් සුපුරුදු රිද්මයේ

183

මුතු කිරිල්ලී – නිරාෂාගේ – ඊළඟ පිම්ම

අපි ඔයාල, හැමෝටම එයාව මතක මුතු කිරිල්ලී නිරාෂා කියලයි. ඒ තරමටම කට්ටිය නිරාෂාට ආදරය කළා. හැබැයි පස්සෙ පස්සේ එයාව වැඩිපුර දකින්න හම්බ වුණේ නැහැ. ඔන්න අවුරුදු පහකට පස්සෙත් මුතු කිරිල්ලී මතකය අවදි කරන ගමන් එයා අද ඔයාලගේ ආලින්දයට ගොඩවෙනවා. හැබැයි ඒ මුතු කිරිල්ලිගෙන් නම් නෙමෙයි. කෝලම්කුට්ටමෙන්. ඉතිං කියවලා බලන්නකෝ නිරාෂා වුණු වත්සලාගේ නැවුම්ම කතාබහ.

● වත්සලා දියලගොඩ ආපහු වැඩ පටන් ගත්තා කියල ආරංචියි?

ඔව් ආපහු ෆුල් ටයිම් වැඩ කරන්න පටන් ගත්තා. මම මේ දවස්වල නාට්‍ය දෙකකට වගේ සම්බන්ධ වුණා.

වසර 5කට පසුත් තවමත් සුපුරුදු රිද්මයේ

● මොනවද ඒ නාට්‍ය කිව්වොත්?

ස්වර්ණවාහිනියේ අලුතෙන්ම විකාශනය වන ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. මේ මාසේ 20 වැනිදා ඒකේ ෂූටින් පටන් ගන්නවා. ඊට පස්සේ මේ දිනවල විකාශනය වන කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.

● ඊට අමතරව අසංක සායක්කාරගේ උඩතට්ටුව ටෙලි නාට්‍යයෙන් ද දකින්න ලැබෙනවා?

ඒක ටිකක් කාලයකට කලින් කරපු ටෙලි නාට්‍යයක්. දැන් තමයි ඒ ටෙලි නාට්‍යය විකාශනය වෙන්නෙ. මුලින් කතා කරපු ටෙලිනාට්‍ය දෙක හින්දයි ඉස්සරහට කාර්යබහුල වෙන්නේ.

වසර 5කට පසුත් තවමත් සුපුරුදු රිද්මයේ

● කොච්චර කාලෙකට පස්සෙද වත්සලා වැඩ පටන් ගත්තේ?

මම හිතන්නේ අවුරුදු පහකින් තමයි වැඩ පටන් ගත්තේ.

● අවුරුදු පහක්, මොකද හිතෙන්නේ?

පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. හැබැයි ඒක මට ලොකුවට දැනෙන්නේ නැහැ. ආපහු ඇක්ට් කරන කොට පරණ දේවල් මතක් වෙනවා. ඇක්ටින් කියන දෙය කොහොමත් පුරුදු දෙයක්නේ. ආපහු ටිකක් වැඩ කරන්නත් ආසයි. ඒක හින්දම මට මේ ටිකේ ගොඩක් ආරාධනා ලැබෙනවා.

● නිහඬව හිටපු කාලය අපරාධයක් කියලා හිතනවා ද?

අපරාදේ… අපරාදේ… මම ක්‍ෂේත්‍රයට එන්නේ 2007 වසරේ. ඒ කාලයත් එක්ක ඉතිං ජීවිතේ විවිධ වෙනස්කම් සිද්ධ වුණා. ඒවත් එක්ක තමයි මට ක්‍ෂේත්‍රයෙන් අයින් වෙලා ආපහු එන්න සිද්ධ වුණේ. කඩ කඩ තමයි මම මේ ගමන ආවේ. ඉතිං පෞද්ගලික ජීවිතයේ විවිධ හේතු නිසත් ඉවත් වුණා. දැන් බබාට අවුරුදු 10ක්. ඒ හින්ද මම පොඩ්ඩක් නිදහස්. ගෙවුණ කාලය ගැන හිතන්නේ නැහැ. මොකද ගෙවිලා ඉවරනේ. ඉස්සරහට තමයි හිතන්නේ.

● වත්සලා ආපහු ෆුල් ටයිම් වැඩ?

ඔව්… ඔව්… මම ආපහු ෆුල් ටයිම් වැඩ.

● කෝලම් කුට්ටමට ආරාධනාව ලැබුණේ කොහොමද?

ඒකට මට ඇත්තටම කතා කළේ එහි අධ්‍යක්‍ෂ ශිවා අයියා. මොකද මම හරි ආසාවෙන් හිටයා ශිවා අයියත් එක්ක වැඩ කරන්න. එයාගේ නිර්මාණ මම බලල තියෙනවා. හැබැයි මට මෙච්චර කාලයකට එයත් එක්ක වැඩ කරන්න හම්බ වුණේ නැහැ. ඉතිං ඔහු කතා කළහම හරි ආසාවෙන් ඒ වැඩේට සම්බන්ධ වුණා. පිටපත ලියන්නේ සද්ධා අයියා. එයාවත් මම සෑහෙන කාලයක ඉඳලා දන්නවා. චේතනී අක්කවත් දන්නවා. ඒ ගොල්ලොත් එක්ක වැඩක් කරන්න ආසාවෙන් හිටියේ. ඉතිං මට අවස්ථාවක් හම්බ වුණා. මම හිතුවා ආපහු ක්‍ෂේත්‍රයට එන්නත් ඒක හොඳ අවස්ථාවක් කියලත්.

අද වෙනකොට ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

ඉස්සරහට වැඩිය ලොකු ලොකු වෙනස්කම් සිද්ධ වෙලා තිබෙනවා. හරි අධ්‍යක්‍ෂවරයෙක් යටතේ හොඳ තිරපිටතකට වැඩ කරගෙන යන්න පුළුවන් අලුත් මුහුණුත් ඇවිල්ලා තිබෙනවා.

● ඇත්තටම ජනප්‍රියත්වය අඩුවෙලා නැතිද?

නැහැ. ඇත්තටම ඒක මට දෙවියන්ගෙන් ලැබුණ ආශිර්වාදයක් වගේ. මට ලැබුණු ජනප්‍රියත්වය එදා වගේම අදටත් එක විදිහට ලැබෙනවා. ඒක ලෙහෙසියෙන් කෙනෙකුට ගන්න බැරි දෙයක්. ඒකෙන් මම ඇත්තටම ලොකු තෘප්තියක් ලබනවා. ජීවිතයේ සල්ලිවලට ගන්න බැරි මානසික තෘප්තියක් ඒ තුළින් ලැබෙනවා. ඒක හින්දා මම මේ ක්‍ෂේත්‍රයට හරි ආදරෙයි. අනික මම එක පාරට ම ආපු කෙනෙක් නෙමෙයි. පොඩි තැනකින් පටන් ගත්තේ. අනික මම මේ ක්‍ෂේත්‍රයට උඩින් වැටුණේ නැහැ.

● ආපු ගමන දෙස ආපසු හැරී බැලුවොත්?

සතුටුයි. ජීවිතයේ ගොඩක් දේවල්වලට මුහුණ දීලා අත්දැකීම් එක්ක දුක, සතුට, සැප එක්ක ආපු ගමනක්. අනික මම කැමතියි ආපස්ස ගැන හිතනවාට වැඩිය ඉස්සර ගැන හිතන්න.

● මුතු කිරිල්ලී අතීතයට ගියොත්?

මගේ ජීවිතයේ ලස්සනම කාලය කියලා මම හිතනවා. ඒකෙන් ලැබුණු ප්‍රතිචාර නිසයි මිනිස්සු මට අදටත් ආදරය කරන්නේ.

● තවමත් කට්ටිය නිරාෂා කියලා කතා කරනවා ද?

අපොයි ඔව්. ගොඩක් ගම්වල, පිට පළාත්වල මිනිස්සු අදටත් නිරාෂාට ආදරෙයි. ඉතිං ඒ ආදරය මට වටිනවා.

● නිරාෂා ජීවිතයේ ලොකු වෙනසක් කළා කියලා හිතනවාද?

අනිවාර්යයෙන් ම මගේ ජීවිතයේ ලොකු වෙනස කළේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ නිරාෂා.

● තවමත් පෙනුම නිරාෂගේ වගේමයිනේ. මොකක්ද ඒකේ රහස?

ඒක හැමෝම කියනවා. ඒ කාලේ හිටියා වගේමලු. මම හිතන්නේ ඒකත් මට ලැබිච්ච ආශිර්වාදයක්. මගේ පෙනුම මේ විදිහට තියාගෙන යන්න මම මහන්සි වෙනවා. එක එක දේවල් කරනවා. තරුණකම තියාගන්න. කොහොමටත් මම ගෙදර හිටියත් වැඩ කළේ නැති වුණත් මගේ වැඩ අතපසු කරගෙන නැහැ. මම මාවත් ලස්සනට තියාගෙන හැමදේම බැලන්ස් එකේ යනවා.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment