ආසියානු පදක්කම් දිනූ යෞවනයෝ පැමිණෙති

126

උස්බෙකිස්තානයේ, ටෂ්කන්ට් නුවර පැවති 05 වන ආසියාතික වයස අවුරුදු 18 න් පහළ යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව්දෙනා ඊයේ (02 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ආසියාතික රටවල් 43 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනකු අතරින් 04 දෙනකුම පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර තේනුජ උස පැනීමේ ඉසව්වෙන් සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ තුෂේන් සිල්වා රිටි පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගෙන තිබුණි.

නාවලපිටිය, අඹගමුව මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් සහ ගම්පොළ වික්‍රමබාහු මහා විද්‍යාලයේ කසුනි වික්‍රමසිංහ මීටර් 800 බාලිකා ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් පාලිත ජයතිලක, උප සභාපති ලාල් චන්ද්‍රකුමාර, භාණ්ඩාගාරික එම්.කේ.ඩබ්ලිව්.එස්. ද සිල්වා, ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිත ගාමිණී කොස්තා යන මහත්වරු සහ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment