අයර්ලන්තය – ඕමානය – ස්කොට්ලන්තය සහ එමීරය ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වේ

254

2023 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වැදීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (23 වැනිදා) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම රටවල් ‘බී’ කාණ්ඩය යටතේ තරග වදී.

දෙවතාවක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් එම කාණ්ඩය නියෝජනය කරන සෙසු රටවල් වේ.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ මෙම තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හි දී පැවැත්වීමට නියමිතය.

සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, කාණ්ඩ දෙකේම පළමු ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් 6 සුපිරි හය වටය සදහා සුදුසුකම් ලබා ගනී. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ජුනි 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ද, 23 වැනිදා ඕමානය සමග ද, 25 වැනිදා අයර්ලන්තය සමග ද 27 වැනිදා ස්කොට්ලන්තය සමග ද තරග වදිනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment