ක්‍රීඩක වෙන්දේසියට සැරසෙන ලොව දෙවැනි රට වෙමින් එල්පීඑල් අයිපීඑල් පාරේ- තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල

501

ලෝක ලීග් ක්‍රිකට් පිටිය තුළ ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙස ඉතිහාසයට එක්වෙමින් සිය සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන මස 11 වැනිදා පැවැත්වීමට සැලසුම් යොදා තිබෙන බව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂවරයා වන සමන්ත දොඩන්වෙල මහතා ඊයේ (23 වැනිදා) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදය වූ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා ඒ අනුව සිදු කෙරේ.

“මා දන්නා පරිදි ශ්‍රී ලංකාව තමයි ලෝකයෙන්ම මේ ෆ්‍රැන්චයිස් ලීගවල දෙවැනියට ප්ලේයර් ඔක්ෂන් (ක්‍රීඩක වෙන්දේසියක්) එකක් තියන්නේ. අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි” යැයි දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, කණ්ඩායම් 2 ක් හැරුණු කොට අනෙක් සියල්ලම පෙර වසරේ හිමිකරුවෝ අයිතිය හොබවති. කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් මෙවර තරගාවලියේ නව හිමිකරුවන්ගෙන් සමන්විතව අවතීර්ණ වන කණ්ඩායම් වෙයි. ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, අවුරා දඹුල්ල, කැන්ඩි ෆෝල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් මෙවර තරගාවලියේදී තරග වදින කණ්ඩායම් වෙයි.

අයි.පී.ජී. සමූහය සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙවර තරගාවලිය සංවිධානය කරයි.

“අපි වෙන්දේසිය කාණ්ඩගත කිරීමක් අනුව තමයි පවත්වන්නේ. අපි ලියාපදිංචි වෙලා ඉන්න ඔක්කොම ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් කරනවා. එම වෙන්දේසිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියනයක් ලබාදීලා තියෙනවා ක්‍රීඩකයින් මිලදී ගන්න. ඒ වගේම වෙන්දේසියට කලින් තමන්ට කැමැති ක්‍රීඩකයින්ව ලබා ගන්න ඩොලර් ලක්ෂ 5 ක මුදලක් දීලා තියෙනවා. ඊට පස්සේ වෙන්දේසි එකේ තවත් ලක්ෂ 5 ක් වෙනම දීලා තියෙනවා අනික් ක්‍රීඩකයින්ව ලබා ගන්න.”

පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්, ඔස්ටේ්‍රලියාවේ මැතිව් වේඩ්, දකුණු අප්‍රිකාවේ ටබ්‍රේෂ් ශම්සි මෙන්ම බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් මෙවර තරගාවලිය නියෝජන සඳහා මේ වන විටත් ගිවිසුම්ගතව සිටින බව දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගන පරිශ්‍රයේ පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි සංවිධාන කටයුතු සිදුකරනු ලබන අයි.පී.ජී. සමූහයේ නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment