කරුවල මහ රෑ කෙලෙසද හිමියනි මල්වල හැඩරුව හඳුනාගන්නේ

554

මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බමරුණි ඔබ සැරසෙන්නේ
මා හිමි බමරුණි ඔබ සැරසෙන්නේ…
කරුවල මහ රෑ කෙලෙසද හිමියනි
මල්වල හැඩරුව හඳුනාගන්නේ
මල්වල හැඩරුව හඳුනාගන්නේ…

අළුත් මලක් යැයි අමතක වී ඔබ
පැණිබිව් මලටම වැරදී එන්නේ…
එ ආ විට මම පෙති හකුලාගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ…


ගායනය- – නන්දා මාලනී
ගේය පද – දයානන්ද ගුණවර්ධන
සංගීතය – සෝමදාස ඇල්විටිගල
චිත‍්‍රපටය – බක්මහ දීගේ (1969)


‘පබුලිනා. මුදලිතුමාගේ නිවසට එන්නේ පොඩි කෙල්ල කාලේ. ඒ මුදලිතුමාගේ බිරිඳ වූ ළමාතැනීගේ සහායිකාව, ආවතේවකාරිය සහ විශ්වාසවන්ත යෙහෙළිය ලෙසින්. මුදලිතුමාට භවභෝග සම්පත් වලින් අඩුවක් නොවුනට කීර්තිය සහ බලයෙන් අහල පහල ගම් දනව් වල ප‍්‍රසිද්ධ අයෙක් උනාට ඒ බලය ඉදිරියට ගෙනියන්න තමන්ට කියා දරුසම්පතක් සිටියේ නැහැ. ඒ නිසා මුදලි වලව්වේ සිටින පබුලිනා කෙල්ල, ළමාතැනී ට සහ මුදලිතුමාට දියණියක් වගෙයි දැනුනේ.

එහෙත් වැඩි විය පැමිණ පබිලිනා තරුණියක් වෙද්දි ඒ සිරියාව ළමාතැනීට දැනුන විදිහට නෙවෙයි මුදලිතුමාට දැනෙන්න පටන් ගත්තේ. තමන්ට කැමති පරිදි නිදහසේ ගම් දනව්වල සක්මන් රාජකාරියේ යෙදෙන මුදලිතුමාලගෙ පැටිකිරිය කවුරුත් පහේ දන්නවනේ.

කරුවල මහ  රෑ කෙලෙසද හිමියනි මල්වල හැඩරුව හඳුනාගන්නේ

ළමාතැනී සහ පබුලිනා ගේ සෙනෙහස තුළ කිසිම රහසක් තිබුණේ නැහැ. ඒ තරමට ළමාතැනී පබුලිනා වෙත දයාව කරුණාව පෑවේ ඇයට කිසිදා මෙවන් සුවච කීකරු සහායිකාවක්ගේ රැුකවරණය නොලැබෙන බව දන්නා නිසා.

දැන් ළමාතැනිත් ටික ටික මැදිවියට එළඹිලා. ඇගේ රූප සම්පත්තියත් කෙමෙන් කෙමෙන් වියපත්බව විසින් ගිල ගන්නා බවක් මුදලි තුමාට පෙනුනා. ඒ වගේම එදා ළමාතැනී කැන්දන් ආ දවස්වල ඇය තුළ තිබුණු රූ සපුව අද පෙනෙන්නේ පබුලිනා තුළින් කියා මුදලිතුමාට සිතුණා. මුදලිතුමාට මේ හැඟීම් යටපත් කරගන්නට අපහසු වුණා. එක්තරා දවසක ඔහුගේ සංයමය බිඳනවා. ඔහු පබුලිනා වෙත හොර රහසේම රහස් සබඳතාවයකට කුරුමානම් අල්ලනවා.

කරුවල මහ  රෑ කෙලෙසද හිමියනි මල්වල හැඩරුව හඳුනාගන්නේ

එහෙත් පබුලිනා ඔහුගේ මුදලිකමේ බලයට නතු වන්නේ නැහැ. ඇය මේ බව ළමාතැනී ට පවසනවා. ළමාතැනීගේ බුද්ධිමත් සිත මුදලිතුමා ඉදිරියේ ගෙනහැර පාන්නේ එයට එරෙහි වන පොදු භාර්යා ස්වරූපයකින් නෙවෙයි. ඕ පබුලිනාත් එක්කාසු කරගෙන යම් උපක‍්‍රමශීලී ක‍්‍රියාදාමයකට එළඹෙනවා. මුදලිතුමා ඉදිරියේ දී ඔහුගේ රහස් ඇරයුම් කෙරෙහි ව්‍යාජ එකඟතාවයක් පෙන්වන ලෙස පබුලිනාව දැනුවත් කරන්නේ ළමාතැනී.

පබුලිනාගේ කැමැත්තෙන් උද්දාමයට පත්වන මුදලි තුමා දිනෙක හැන්දෑයාමේ, හෙන්දිරික්කා මල් පිපෙන, තරු එළි දැල් වෙන වෙලාවක ළමාතැනීට හොරෙන් මුදලි වලව්වෙන් පිටත තෝරාගත් අඳුරු ඉසව්වක ඔහු හමුවෙන ලෙස ඇයට පවසනවා. පබුලිනා මේ සියලූ පුවත් එසැණින් ළමාතැනී වෙත දිගහරිනවා.

ළමාතැනීගේ උපක‍්‍රමය මෙයයි. පබුලිනා ලෙසින් ළමාතැනී ඇඳුම් ආයිත්තම් ඇඳ පැළඳ, වෙස් මාරු කර අඳුර ගලන යාමයේ කාටත් රහසේ මුදලිතුමා සොයාගෙන යෑමයි.

ඒ සඳහා මුදලිතුමා වෙත පබුලිනාගේ කැමැත්ත ප‍්‍රකාශ වෙනවා. මෙයින් යළිත් තරුණ ජවයෙන් පිබිදෙන මුදලි සිත කොඳුරන්නේ මංගල රාත‍්‍රියකට උචිත වදන්…

ආදර හැඟුම්… ආදර හැඟුම්…
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ..
කිතිකවයි හද කිති කවයි ඒ හැඟුම්…

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි…
මගේ හද තුළ කරයි විමසිලි….
නැගෙන ගණදුර වඩයි සිතුවිලි….
මේ මඟුල් රෑ බිෙ​ඳයි ඉවසිලි….

රාත‍්‍රිය උදා වෙනවා. ළමාතැනී පබුලිනා ලෙසින් වෙස් මාරු කරගෙන මුදලිතුමා රැුඳී සිටින අඳුර ඉසව්වට පියමනිනවා. මුදලිතුමා ඇයව පිළිගන්නේ මේ නොයිඳුල් යුවතිය පබුලිනාය කියා. එහෙත් ළමාතැනීගේ සූක්ෂම සිත ඔහු ළඟ මෙසේ කොඳුරනවා…

මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ..
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ….
කරුවල මහ රෑ කෙලෙසද හිමියනි…
මල් වල හැඩ රුව හඳුනාගන්නේ….

මේ වෙලාවේ මුදලි සිත මනාල සෙයියාවෙන් ආලිංගන සම්භෝගයට සැරසෙන්නේ බොහොම කඩිමුඩියේ සහ නොඉවසිල්ලෙන්.
ළමාතැනී සිත මුදලිතුමා ඉදිරියේ මෙසේ හැඬ වෙනවා…

අලූත් මලක් යැයි අමතක වී ඔබ…
පැණි බිව් මලටම වැරදී එන්නේ….
ඒ ආ විට මම පෙති හකුලාගෙන
නැවත නොයන ලෙස ඔබ රැකගන්නේ….

රාත‍්‍රියේ කළුවරේ කලබලකාරී වූ මුදලි සිත, උපක‍්‍රමශීලී ළමාතැනී ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා.

එක්තරා සංගීතමය වැඩසටහනකදී මා මෙම ගීතය තෝරන අවස්ථාවේ,
එහි සම්ප‍්‍රවේශක තුමා මගෙන් මෙහෙම අහනවා….

මුදලිතුමා ද ළමාතැනී ද හරි..?

මගේ පිළිතුර වන්නේ ‘පබුලිනා තමයි හරි.

ඒ මම. එතකොට ඔබ..! ඔබේ පිළිතුර කුමක්ද?

advertistmentadvertistment
advertistmentadvertistment