ජනාධිපතිගේ ලෝක සවාරිවලට විපක්‍ෂ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කරලා

471

ජනතාව බදු බරින් දුක්විඳිද්දී ආණ්ඩුව මන්ත්‍රීවරු බිලි බාන්න හදනවා- විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුවේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා අයි.එම්.එෆ්. එක කිව්වා කියා වැට් බදු ඇතුළු බදු අධික ලෙස වැඩිකර පාසල්වල පරිගණක නොමැති තත්ත්වයක් උදාවී තිබියදී රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙන්ම පාර්ලිමේන්තු නිලධාරීන් පවා කතා කරමින් මෙවැනි ආරාධනා සිදුකරන බවත් පාසල් දූ දරුවන්ට හරිහැටි අධ්‍යාපන උපකරණ නොමැතිව දුක්විඳින මොහොතක ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් උපයෝගී කරගෙන විපක්‍ෂයේ මන්ත්‍රීවරු බිලි බා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එම ආරාධනාව ප්‍රතික්‍ෂේප කළ බවත් ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරය කරන විට විපක්‍ෂ නායකවරයා ලෙස තමා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට හැකිවීම තමා ලැබූ ලොකුම භාග්‍යයක් වන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (19 දා) සක්වල වැඩසටහනේ 70 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට රුපියල් ලක්‍ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. බස්නාහිර පළාතේ පිහිටි පාසලක් වුවත් මේ පාසලේ සිසු දරුවන්ට ඉගෙන ගැනීම සඳහා පරිගණකයක් හෝ නොමැති වීම සුවිශේෂී වේ.

අද වන විට ලෝකයේ දියුණු රටවල් තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ලබාගෙන ඇතත් අප රටේ පාසල්වල සිසු දරුවන් කී දෙනකු එවැනි තාක්‍ෂණයෙන් සවිබල ගැන්වී ඇත්ද කියා ගැටලුවක් පවතින බවත් පවතින දුර්වල අධ්‍යාපන ක්‍රමය තුළ යුගයට නොගැලපෙන යල් පැනගිය පැරණි අධ්‍යාපන වැඩපිළිවෙළක් හරහා රටේ දරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.

එක්සත් විකල්ප යැයි කියා ගන්නා දේශපාලන පක්‍ෂයක සාමාජිකයකුගේ බිරිඳක් වන කාන්තාවක් විසින් වෙනත් වෘත්තියක් නීතිගත කළ පසු විදේශ විනිමය ලබාගත හැකි යැයි පවසා ඇති බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කරන විට සුද්දියන්ට යට ඇඳුම් මහන්න ගමේ කොල්ලන් කෙල්ලන් යොදා ගන්නවා යැයි මතවාද පතුරවමින් එම කර්මාන්ත ශාලා ගිනි තැබූ පුද්ගලයන්ම තොරතුරු තාක්‍ෂණ අපනයන, නිෂ්පාදන කර්මාන්ත අපනයන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදන අපනයනවලට වඩා වෙනත් වෘත්තීන් උපයෝගී කරගෙන ඩොලර් සෙවිය හැකි බව පවසන බවත් මෙවැනි අයුතු යෝජනාවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බවත් ආගම ධර්මය සංස්කෘතියට සදාචාරයට පිටුපා මෙවැනි වෘත්තීන් නීතිගත කර ඩොලර් සෙවීම කිසිසේත්ම අනුමත නොකරන බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment