අපි ගැන කලබලයි; අපි කලබල වෙන්නේ නෑ

138

‘ඇයි මේ කලබලේ’ දී අනුර කුමාර දිසානායක කියයි

සතුරන්ගේ කලබලය ගැන අපි ඉතා හොඳ අවබෝධයක ඉන්නවා. නමුත් අපි කලබල වෙන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ කරුණු පැවසුවේ කොළඹදී පැවති “ඇයි මේ කලබලේ ?”‍ සම්මන්ත්‍රණය අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය.

එක පැත්තකින් ඡන්දය පැවැත්වීම වැළැක්වීම සඳහා විශාල කලබලයකින් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. අනික් පැත්තෙන් ඡන්ද වේදිකාවේ ජාතික ජන බලවේගයේ ඇඳිවත ගලවන, කලිසම ගලවන පන්නයේ සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙනවා. මෑතකදී විපක්ෂ නායකවරයා හඬ අනුකරණය කරනවා අපි දුටුවා. මේ සියල්ලගෙන්ම පෙන්නුම් කරන්නේ ඔවුන්ට ශක්තිමත් දේශපාලන විවේචනයක් අප පිළිබඳව ඉදිරිපත් කිරීමට නොහැකිවීමයි. ඒනිසා ඔවුන් අපට එරෙහිව ගොඩනඟා තිබෙන්නේ මඩ, අවලාද, අසත්‍ය තොරතුරු, ප්‍රබන්ධ පමණයි. ආණ්ඩුව, විපක්ෂ නායකයාගේ කණ්ඩායම, මෛත්‍රීපාල සිරිසේනගේ හා දයාසිරිගේ කඳවුරු ඇතුළු මේ විවිධ කඳවුරු ඇවිස්සිලා තිබෙනවා. මේ සිදුවෙමින් තිබෙන්නේ මොකක්ද? ඇයි එහෙම වෙන්නේ?

අපේ රටේ ඉතිහාසයේ දේශපාලනය බැලු‍වොත් දූෂිත ප්‍රභූ පවුල් කණ්ඩායමක් මත ගොඩනැගිලා තිබෙනවා. රට පාලනය කළේ කවුද? සේනානායකලා, ජයවර්ධනලා, දැන් වික්‍රමසිංහලා. ඒක පවුල් සංස්ථාවක්. ඊළඟ බණ්ඩාරනායකලා, එස්.ඩබ්.ආර්.ඩී., සිරිමාවෝ,චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රභූ පැලැන්තිය. ඊළඟට රාජපක්ෂ පරම්පරාව. මේ ගොල්ලෝ දිගු ඉතිහාසයක් අපේ රට පාලනය උරුමකරගෙන හිටියා. පළමු අගමැතිනිය, පළමු ජනාධිපතිනිය බණ්ඩාරනායකලා. පළමු අග්‍රාමාත්‍ය ධූරය සේනානායකලා. මේ විදිහේ පෙළගැස්මක් තිබෙනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළා ඩී.ඒ. රාජපක්ෂලා, දැන් දරුවෝ රට පාලනයට ඇවිත්. කුඩා පවුල් සංස්ථාවක් අත අපේ රටේ දේශපාලනය කේන්ද්‍රගත වෙලා තිබුණා. ඉහළ පමණක් නොවේ ප්‍රාදේශීයව ගත්තත් එහෙම තමයි. මේ පාර්ලිමේන්තුව බැලු‍වොත් සාතිශය බහුතරයක් සීයගේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අලු‍තින් කෙනෙක් පාර්ලිමේන්තුවට ආවා නම් ඒ ඔවුන්ගේ අනුහස්වලට යටත්වූ කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට දේශපාලනයට ප්‍රවේශවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඩී.වී. උපුල්ගේ පුතෙක් නාමල්ගේ අණසකට යටත්ව ඇවිත් ඉන්නවා. ඔවුන්ගේ බෑග්, ෆයිල් උස්සන් යන අතළොස්සකුත් ගෙනත් තිබෙනවා. නමුත් මුළු දේශපාලන ධාරාවේ උරුමය පවතින්නේ ඒ ප්‍රභූ පවුල් කිහිපයක් අතේ පමණයි. අනාගතයත් ඔවුන් පෙළගස්වමින් තිබෙනවා. මේ දේශපාලනයේ ඉත්තෝ අතීතය, වර්තමානය, අනාගතය දක්වා එළලා තිබෙනවා. ප්‍රේමදාස ජනාධිපති, ඔහුගෙන් පසු තම පුතාට. මහින්දගෙන් පසු ඔහුගේ පුත් නාමල්ට.

අද ප්‍රභූ දේශපාලනයට එරෙහිව නිර්ප්‍රභූ දේශපාලනයක් උඩට ඇවිත් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ගුවන් තොටිල්ල ගැස්සෙමින් තිබෙනවා. එහෙට මෙහෙට ඉතාමත් පහසුවෙන් බලය හුවමාරුවෙමින් තිබුණු, සඳලු‍ තලාවේ ඉඳිමින් දේශපාලනය කරපු, දේශපාලනය තමන්ගේ පරවේණි බුක්තිය හැටියට ලියාගත්තු, පිරිස් අද බයවෙලා කලබලවෙලා තිබෙනවා.

මේ රටේ දීර්ඝ කාලයක් ක්ෂුද්‍ර දේශපාලනයකුයි, මහේශාක්‍ය දේශපාලනයකුයි තිබුණා. මහේශාක්‍ය දේශපාලනඥයෝ තමයි ආණ්ඩු හදන්නේ. ප්‍රතිපත්ති හදන්නේ. රට හදනවයි කියලා පෙන්වමින් හිටියේ. ඒ දේශපාලන පිට්ටනියේ ඒ ගොල්ලෝ ඇති තරම් බඩ පිනුම් ගහමින් හිටියා. අපේ දේශපාලනය පොතක් ලියමින්, සම්මන්ත්‍රණයක් කරමින්, මතවාදයක් ඉදිරිපත් කරමින් ක්ෂුද්‍ර දේශපාලනක තිබුණා. බලපොරය පිළිබඳ දේශපාලනය අපට අදාළ නැහැ. දැන් ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා ඒගොල්ලෝ මෙතෙක් සෙල්ලම් කරපු පිටියට අවතීර්ණ වෙන්න. දැන් පාලකයෝ මෙතෙක් අත්පත් කරගෙන, පරවේණියට අරන් හිටපු පිටියට අලු‍ත් ව්‍යාපාරයක් කඩාගෙන වැදිලා. කලබල වෙන්න ඕන නේද? අපේ ව්‍යාපාරය රටේ ඉතා කුඩා සමාජ තලයක් නියෝජනය කරමින් හිටියා නම් ඒක එයාලට ප්‍රශ්නයක් නොවෙයි. ඒ ගොල්ලන්ගේ ආරක්ෂක වළලල්ට, කිසිදා නොසෙල්වෙනවා යයි සිතූ තන්ත්‍රයට අද ජාතික ජන බලවේගය කඩා වැදිලා තිබෙනවා. ඒ නිසා තමයි අපි ව්‍යාපාරික සමුළුවක් කරන කොට ඒ ගොල්ලෝ පාට් ටූ කරන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment