මූස් සිව් වසරක් ශ්‍රී ලංකා ක්‍රිකට් හැඩ කරයි

288

ඉදිරි වසර 4 ක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු ලෙස මූස් ක්ලෝතින්ග් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වූයේය. අදාළ හවුල්කාරීත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන තරග ඇතුළුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු තරග සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සහකරුවා ලෙස එම සමාගම කටයුතු කරයි.

දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය සනිටුහන් කිරීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින ටීෂර්ටය පසුගිය දා කොළඹදී පවත්වන ලද විශේෂ උත්සවයකදී එළිදැක්වීමට පියවර ගැනුණි. මෙහිදී මූස් ක්ලෝතින්ග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඔමාර් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න වෙත එම ටීෂර්ටය සංකේතාත්මක පිරිනමන ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට අමතරව මූස් ක්ලෝතින්ග් සමාගමේ අලෙවි ප්‍රධානී කිත්මිණී ද සිල්වා සහ ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු ද එක්ව සිටියහ.

මෙම ගිවිසුගතවීම පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා, ප්‍රකාශ කළේ 2023 වසරේ සිට 2027 දක්වා වූ වසර 4 ක කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවා ලෙස මූස් ක්ලෝතින්ග් සමාගම තෝරාගනු ලැබුවේ ලංසු තැබීමේ ක්‍රියාවලියකින් පසුව බවයි. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්ෂේත්‍ර ද්විත්වයක් වන ඇඟලුම් කර්මාන්තය සහ ක්‍රිකට් ක්‍රීඩාව ඒකාබද්ධ කිරීම බව මූස් ක්ලෝතින්ග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා සඳහන් කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment