මන්දාකන්ඩාල් පුරාවිද්‍යා ස්ථානයක්  ඩෝසර් කර නිධන් සෙවූ  සැකකරුවෝ 24 දා තෙක් රිමාන්ඩ්

82

මුලතිව්, වසන්තපුරම්, මන්දාකන්ඩාල් ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක නටබුන් ඩෝසර් කර නිධානයක් ගොඩ ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු මැයි මස 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ස්වර්ණරාජා මහතා නියෝග කළේය.

මන්දාකන්ඩාල් පුරාවිද්‍යා ස්ථානයක්  ඩෝසර් කර නිධන් සෙවූ  සැකකරුවෝ 24 දා තෙක් රිමාන්ඩ්

මේ දෙදෙනා අත්අඩංගුවට ගත් පුදුකුඩිඉරිප්පු පොලිසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය පැනවීය.

පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් සිදු කිරීමට භාවිත කරන ලද බැකෝ යන්ත්‍රයක් හා තවත් උපකරණ කීපයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු වසන්තපුරම් ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයාය. ඔවුන් විසින් සිදු කරන ලද කැණීම්වලදී ඉපැරණි ගඩොල් බිත්ති කීපයක ගඩොල් ගැල වී පුරා විද්‍යා ස්ථානයට දැඩි ලෙස හානි සිදුව තිබේ.

කළුගලින් නෙළන ලද සිරිපතුල් ගලක් හා තවත් වටිනා පුරා වස්තු රැසක් මෙම කැණීම් නිසා ස්ථාපිත කොට තිබූ ස්ථානවලින් පහළට තල්ලු වී ගොස් තිබේ.

පිරිසක් මේ ස්ථානයේ කැණීම් කරන බව දුටු වසන්තපුරම් ගොවි සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඒ බව ඔට්ටිසුඩාන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දීමෙන් පසුව ඔහු පොලිසිය දැනුවත් කර ඇත. පොලිසිය සැකකරුවන් අත්ඩංගුවට ගෙන තිබේ.

පසුව මේ පුරාවිද්‍යා ස්ථානය වෙත රාජ්‍ය නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment