මිනිස්සු රිස්සේ මිරිස්සේ කරන සෙල්ලං මහතුනේ තල්මසුන්ට ගෙනේ ලෙල්ලං

799

තල්මසුන් මිරිස්ස මුහුදු තීරය අතහැර යයි!

මීට දින කිහිපයකට පමණ ඉහතදී තල්මසුන් පැටව් 14 දෙනෙකු කල්පිටිය වෙරළ තීරයට ගොඩගසා තිබුණි. ඉන් තල්මසුන් පැටව් තිදෙනෙකු මියගොස් තිබූ අතර අනික් තල්මසුන් පැටව් 11 දෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා මහ මුහුද වෙත පිටත්කර යැවීමට වනජීවි නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබීය. මෙම තල්මසුන් පයිගලාට් ගව්ල්පස් නම් තල්මස් විශේෂයට අයත් බවට හඳුනාගෙන තිබුණි. මෙරට තල්මසුන් නැරඹීමේ ස්ථාන අතුරින් කල්පිටියට හිමිවන්නේ ද ප්‍රධාන ස්ථානයකි. ත්‍රිකුණාමලය සහ මිරිස්ස මෙරට අනික් තල්මසුන් නැරඹීමේ ප්‍රධාන ස්ථානයන්ය. මෙම තල්මසුන් නැරඹුම් ස්ථාන අතුරින් නිල්, ස්පර්ම් හා මිනීමරු තල්මසුන් නැරඹීම සඳහා ලොව ප්‍රධාන ස්ථානයක් ලෙස මිරිස්ස මුහුදු තීරය සැලකේ.

නිල් තල්මසුන් ඉතා සමීපව නැරඹිය හැකි මුහුදු තීරයක් ලෙස මිරිස්ස දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය. දර්ශනීය මුහුදු තිරය සහ තල්මසුන් නැරඹීමේ කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉතා සංවිධානාත්මක අයුරින් ක්‍රියාත්මකවීම හේතුවෙන් මිරිස්ස විදෙස් සංචාරකයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත. ඒ විතරක් නොව මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන් දැකීමේ සම්භාවිතාව සියයට අනූවකටත් වඩා වැඩිය. ඒ නිසා මිරිස්ස මුහුදු තීරය නිල් තල්මසුන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත්තේය. ඒ මීට වසර දෙක තුනකට පමණ ඉහතදීය. තල්මසුන් ගැන සඳහන් කරන විට මිරිස්ස තල්මසුන් පිළිබඳ සන්නාමයකි. එහෙත් මේ වනවිට මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන්ගේ ගහනය අඩුවී ඇති අතර නිල් තල්මසුන් මිරිස්ස මුහුදු තීරය හැරයමින් ඇත්තේය. ඇතැම් පුද්ගලයන් නිත්‍යානුකුල නොවන අයුරින් කුඩා බෝට්ටුවලින් විදේශිකයන් රැගෙන ගොස් තල්මසුන්ට හිංසාවන අයුරින් කිමිදීම් කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ඇතැමුන් තල්මසුන් සමග පිහිනමින් ඔවුන් අතපත ගාමින්, කටයුතු කිරීම නිසා තල්මසුන් භියවී මිරිස්ස මුහුදු තීරය හැරයෑමේ තත්ත්වයක් උදාවී තිබේ.

මිරිස්සේ තල්මසුන් නැරඹීමේ සමය ආරම්භ වන්නේ නොවැම්බර් මාසයේ දීය. අප්‍රේල් මාසය දක්වා තල්මසුන් නැරඹීමේ සමය පවතින අතර මෙකී කාලය තුළ තල්මසුන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙති. මෙවර සංචාරක සමය ආරම්භ වී මාස දෙකකටත් වඩා වැඩි කාලයක් ගතවී තිබුණද දෙස් විදෙස් සංචාරකයන්ට නිල් තල්මසෙකු දැකබලා ගැනීමට හැකිවී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරැකීමේ සංගමය පෙන්වා දෙන ආකාරයට මීට පෙර සංචාරක සමයන් වලදී දින 150ක් තල්මසුන් නැරඹීමට ගියහොත් අඩුම තරමේ ඉන් දින 140 කදිවත් නිල් තල්මසුන් දැක බලාගැනීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. සැබැවින්ම මේ සඳහා හේතුවී ඇත්තේ සතුන්ට හිංසාවන පරිදි සිදුවන මිනිස් ක්‍රියාකාරකම්ද නැතහොත් වෙනයම් හේතුන්ද යන්න පිළිබඳ සොයාබැලීම සමුද්‍රජීවි විශේෂඥයන්ගේ වගකීමකි.

මක්නිසාදයත් මෙය රටට ඩොලර් උපයාදෙන ප්‍රධාන මාර්ගයකි. මිරිස්සට විදේශිකයන් පැමිණෙන්නේ නිල් තල්මසෙකු දැක බලා ගැනීම සඳහාය. විදේශිකයන් මිරිස්ස මුහුදු තීරයට පැමිණ නිල් තල්මසෙකු දැක බලාගැනීමට නොහැකි වුවහොත් ඔවුන් ආපසු තල්මසුන් බැලීමට මිරිස්සට පැමිණෙන්නේ නැත. එසේ වුවහොත් එය බරපතළ තත්ත්වයකි. රටට අහිමිවන්නේ ඩොලර්ය. අනික් කාරණය වන්නේ තල්මසුන් නැරඹීම සඳහා විදේශිකයන් රැගෙන යෑමේදී යාත්‍රා හිමියා විසින් එක් විදේශිකයෙකු සඳහා රුපියල් 7000ක මුදලක් වනජීවි දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය. තල්මසුන් නැරඹීමට නොහැකි වුවද එම මුදල යාත්‍රා හිමියා විසින් දැරිය යුතුවේ. මෙයද බරපතළ ගැටලුවකි.

අප පසුගිය දිනක තල්මසුන් බැලීම සඳහා මිරිස්ස මුහුදු තීරයේ සංචාරයක නිරත වූහ. අප ගමන්ගත් බෝට්ටුවේ විදේශීය සංචාරකයන් පිරිසක් ද ගමන් ගත්හ. පැය තුන හතරක් මිරිස්ස අවට මුහුදු තීරයේ කරක්ගැසුවද නිල් තල්මසෙකු දැක බලා ගැනීමට හැකි වූයේ නැත. එහෙත් මිනීමරු තල්මසෙකු නම් දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය.

මීට පෙර තල්මසුන් බැලීම සඳහා මිරිස්සට පැමිණි අවස්ථාවේදී නිල් තල්මසුන් රෑනක් දැක බලාගැනීමට හැකි වුණා. ඇත්තටම මිරිස්ස සුන්දර මුහුදු තීරයක්. නමුත් මේ වතාවේ අපිට එකදු නිල් තල්මසෙකු දැකබලා ගැනීමට බැරිවුණා. ඩොල්පින්, මිනීමරු තල්මසෙකු පමණයි නැරඹීමට හැකිවුණේ. නිල් තල්මසුන්ගේ ගහනය අඩුවීම පිළිබඳ සොයා බැලීම සමුද්‍රජීවි විද්‍යාඥයන්ගේ වගකීමක්. ඇත්තටම ලංකාව සංචාරය කිරීමට සුදුසු සුන්දර රටක් පුවත්පත් කලාවේදියකු වන ස්විඩන් ජාතික ලාස් ස්වානෝ අප සමග කීවේය.

පාරිසරික සංචාරක කර්මාන්තයේ නිරත සංචාරක මගපෙන්වන්නෙකු වන සුපුර්ණ හෙට්ටිආරච්චි මහතාද නිල් තල්මසුන් පිළිබඳ සඳහන් කරමින් අප සමග කථාබහට වැටුණේය.

නිල් තල්මසා තමයි මුහුදේ ඉන්න විශාලතම ක්ෂිරපායි සතා. ලංකාවේදී තමයි එකම දිනයකදි මුහුදේ ඉන්න විශාලතම ක්ෂිරපායි සතා සහ ගොඩබිම ඉන්න ක්ෂිරපායි සතා බලන්න පුළුවන්. මිරිස්සට සහ උඩවලවට ගියවිට මේ සතුන් දෙන්නා බලන්න පුළුවන්. ඇත්තටම නිල් තල්මසුන් නැරඹිය හැකි ස්ථාන තුන අතුරින් මිරිස්ස තමයි ගැඹුරු මුහුද ළඟින්ම පිහිටන්නේ දිවයිනට. මිරිස්සේ සිට නාවික සැතපුම් 05ක් පමණ දුරින් ගැඹුරු මුහුද පිහිටනවා. නිල් තල්මසෙකුට ආහාර ගැනීමට ගැඹුරට කිමිදෙන්න ඕන. මේ නිසා නිල් තල්මසුන්ට සුදුසු ස්ථානයක් තමයි මිරිස්ස මුහුදු තීරය. නිල් තල්මසුන් වසර පුරාම මෙම මුහුදු තීරයේ ඉන්නවා. 2006 තමයි මිරිස්සේ තල්මසුන් නැරඹීමේ කටයුතු පටන් ගන්නේ මම. 2007 දි තමයි පළමුවරට නිල් තල්මසුන් නැරඹීමට ගියේ. එදා නිල් තල්මසුන් 15ක් විතර දැක්කා. සෑම වසරකම පාහේ නිල් තල්මසුන් දක්නට ලැබුණා. මේ වතාවේ තමයි නිල් තල්මසුන් දැක ගැනීමට බැරිවුණේ. මේ ගැන යාත්‍රාහිමියන් සහ ධීවරයන් සඳහන් කරන්නේ නිල් තල්මසුන් සමග පිහිනන කොටසක් ඉන්නවා. ඒ නිසා මෙම තත්ත්වය උදාවුණා කියලා. පසුගිය වර්ෂයේදී වර්ෂාව නියමිත කාලයට ලැබුණේ නැහැ. ගංගාවලින් ඇවිත් මුහුදට වැටෙන පාසි වගේ දේවල් තමයි තල් මසුන් ආහාරයට ගන්නේ. මෙයත් එක් හේතුවක් වෙන්න ඇති. අපිටත් අවශ්‍ය මේක රැක ගන්න. මේ පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන අය මේ ගැන ඉක්මනින් සොයා බැලිය යුතුයි. හෙට්ටිආරච්චි මහතා කිවේය.

මිරිස්ස තල්මසුන් නැරඹීමේ සහ සුරැකීමේ සංගමයේ සභාපති රංගන මනෝජ් මහතා කීවේ මෙවැනි කථාවකි.

දැනට වසර තුනක පමණ සිට මිරිස්ස අවට මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගැවසීම අඩුවෙලා තියෙනවා. නිත්‍යානුකුල නොවන අයුරින් ඇතැම් පුද්ගලයන් කුඩා බෝට්ටුවලින් විදේශිකයන් රැගෙන ගොස් තල්මසුන් සමග කිමිඳීමට පටන් අරගෙන තියෙනවා. මේ නිසා මෙම ව්‍යාපාරය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. තල්මසුන්ට හිංසාවන අයුරින් කටයුතු කිරීම නිසා තල්මසුන් භිය වෙලා මිරිස්ස අවට මුහුදු තීරය අත්හැර ගිහින් තියෙනවා. දැන් විදේශිකයන්ට පෙන්වන්න තල්මසුන් නැහැ. ඩොල්පින් පමණයි පෙන්වීමට හැකිවෙලා තියෙන්නේ. මුහුදේ නැති තල්මසුන් වෙනුවෙන් රුපියල් 7000ක මුදලක් විදේශිකයකුගෙන් අය කිරීම හරිම අසාධාරණයි. එම මුදල අඩු කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දියවැල් රටාව අනුව තමයි තල්මසුන් අපේ මුහුදට එන්නේ උණුසුම් වතුර, කෑම සහ ගැඹුර නිසා තමයි තල් මසුන් මිරිස්ස අවට මුහුදු තීරයට එන්නේ. නමුත් ඒ සතුන්ට කරදර වෙන නිසා එම සතුන් මිරිස්ස අවට මුහුදු තීරය අත්හැරලා යනවා. තල්මසුන් බැලීමට මිරිස්ස ධීවර වරායෙන් යන බෝට්ටු සඳහා රක්ෂණ සහතිකය, නාවික ඉංජිනේරු සහතිකය ආදී සුදුසුකම් සපුරාගෙන තමයි මුහුදට යන්නේ.

මිනිස්සු රිස්සේ මිරිස්සේ කරන සෙල්ලං මහතුනේ තල්මසුන්ට ගෙනේ ලෙල්ලං

උණවටුණ, තල්අරඹ, බණ්ඩරමුල්ල, මාතර යන ප්‍රදේශවලින් ද කුඩා බෝට්ටු වලින් තල්මසුන් බැලීමට විදේශිකයන් රැගෙන යනවා. ඒ අයට වනජිවි දෙපාර්තමේන්තුවට කිසිදු මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබඳ කිසිදු නියාමනයක් නැහැ. මිරිස්ස ධීවර වරාය තුළ පමණයි මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. විදේශීය සංචාරකයකු රැගෙන නාවික සැතපුම් 30 – 40 ගිහින් තල්මසුන් සමග කිමිදෙන බෝට්ටුවක් අල්ලන්න වෙරළ ආරක්ෂක බළකායට පුළුවන් කමක් නැහැ. වන ජීවියෙන් තල්මසුන් බැලීම සඳහා රැගෙන යන විදේශිකයන්ගෙන් මුදලක් අය කරනවා. මේ මුදල් වලට වෙන්නේ මොනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මාසයකට එක් දිනයකදිවත් නිල් තල්මසෙක් දකින්න නැහැ. මේ නිසා තල්මසුන් බැලීම සඳහා එන විදේශීය සංචාරකයන් අඩුවෙලා. මිරිස්ස ධීවර වරායෙන් තල්මසුන් බැලීම සඳහා දෙස් විදෙස් විදේශිකයන් රැගෙන යන බෝට්ටු 60ක් විතර තියෙනවා. නමුත් දැනට මෙම ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ බෝට්ටු පහක් හයක් පමණයි. තල්මසුන් දකින්න නැති දිනවලදී මුදල් අයකරන්න එපා කියලා අපි වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. අපිට සහනයක් දෙන්න කියලා කීවා. නමුත් ඒ අයගෙන් සුභවාදී ප්‍රතිචාරයක් නැහැ. මෙම ව්‍යාපාරය රැකගෙන ඉදිරියට කරගෙන යන්න.

තල්මසුන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැගෙන යන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මිරිස්සේ චන්දි අබේවර්ධන මහත්මිය ද අප සමග මේ ගැන කථා කළාය. මිරිස්සේ පළමු වරට තල්මසුන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැගෙන යන ව්‍යාපාරයක් ආරම්භකරනු ලැබුවේ ද ඇය විසිනි. ඒ 2006 වර්ෂයේදීය.

නිල් තල්මසුන් ඉතා සමීපව නැරඹීමට පුළුවන් මිරිස්ස අවට මුහුදු තීරයේදී පමණයි. දැනට වසර 16ක් තිස්සේ මෙම ව්‍යාපාරය අපි කරගෙන යනවා. තල්මසුන් බැලීම සඳහා රැගෙන යන විදේශීය සංචාරකයන්ගෙන් අය කරන මුදලින් කොටසක් අපි වනජීවි දෙපාර්තමේන්තුවට ගෙවනවා. මේ තුළින් විදේශිකයාට, යාත්‍රාහිමිකරුට රටට ප්‍රතිලාභයක් හිමිවිය යුතුයි. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. විශාල මුදල් අරගෙන සංචාරකයන් 10 දෙනෙකු රැගෙන යනවාට වඩා සාමාන්‍ය මුදලක් අරගෙන සංචාරකයන් 100 දෙනෙකු රැගෙන ගියොත් රජයට මෙන්ම අපිටත් ප්‍රතිලාභයක් හිමිවෙනවා. 2011 වර්ෂයේ ඉඳලා මිරිස්ස අවට මුහුදු තීරයේදී දක්නට ලැබුණු තල් මසුන් පිළිබඳ තොරතුරු අපි සටහන් කරගන්නවා. සතුන් කීදෙනෙක් දැක්කාද ආදී කරුණු අපි දිනපතා සටහන් කරගන්නවා. මෙම වර්තා දිහා බැලූවිට නිල් තල්මසුන්ගේ ගහනය විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. මෙම සංචාරක සමයේදී නිල් තල්මසුන් දකින්නට ලැබුණේ ඉතා කලාතුරකින්. නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා තමයි තල්මසුන් බැලීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැගෙන යන්නේ. දෙසැම්බර් 21 නිල් තල්මසුන් දෙදෙනෙකු දැක්කා. ඊට පස්සේ නිල් තල්මසෙකු දැක්කේ හරියටම මාසයකට පස්සේ ජනවාරි 21 දින. මීට පෙර සීසන්වලදී දින 150ක් තල්මසුන් බැලීමට ගියහොත් දින 140 කදිවත් නිල් තල්මසෙකු දක්නට පුළුවන්. නමුත් දැන් නිල් තල්මසෙකු දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් යැයි ඇය කිවාය. මේ සඳහා හේතුවූ කරුණු කාරණා ගැන සමුද්‍රජීවි විද්‍යාඥයන් විසින් ගවේෂණය කළ යුතුයි.

මිරිස්ස ධීවර වරායේ තල්මසුන් බැලීම සඳහා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන බෝට්ටුහිමියකු වන ආර්. රාජසිංහ මහතා මෙසේ කීවේය.

තල්මසුන් බැලීම සඳහා රැගෙන යන බෝට්ටු 02ක් මටත් තියෙනවා. තල්මසුන් බැලීමට යන එක් විදේශිකයෙකු වෙනුවෙන් රුපියල් 7000 ක මුදලක් වනජීවියට ගෙවන්න ඕන. නමුත් ඒ අයගෙන් වෙන සේවාවක් නැහැ. වනජීවය මගින් තල්මසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ අපිට සොයාදිය යුතුය. නමුත් ඒ අයගේ එහෙම වැඩපිළිවෙළක් නැහැ. නැතිනම් ලබා ගන්න මුදල අඩුකරන්න ඕන. මුලදි කීවේ විදේශිකයකුගෙන් අය කරන්නේ ඩොලර් 08ක් කියලා. නමුත් ඩොලර් දහඅටහමාරක් අය කරනවා. මේ මුදල් සැර වැඩියි. ඉන්ධන සඳහා යන වියදම් එක්ක අපි විදේශිකයකුගෙන් ඩොලර් 60ක් අයකළ යුතු වෙනවා. නමුත් විදේශිකයන් කියනවා මුදල වැඩියි කියලා. වනජීවියෙන් අය කරන මුදල වැඩියි. පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා තල්මසුන් විශාල ප්‍රමාණයක් මැරිලා ගියා. නිත්‍යානුකුල නොවන අයුරින් විදේශිකයන් රැගෙන මිරිස්ස අවට මුහුදු තීරයට තල්මසුන් බැලීම සඳහා යන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් විදේශිකයන් සමග දියට බැහැලා තල්මසුන් සමග පිහිනනවා. මේ නිසා තල්මසුන් භිය වෙනවා. මිරිස්ස වරාය අවට සිටි නිල් තල්මසුන් සොයා ගැනීම ඉතා අපහසු තත්වයට පත්වෙලා තියෙනවා. විදේශිකයන්ට තල්මසුන් පෙන්වීමට නොහැකිවෙලා තියෙනවා. විදේශිකයන් කියනවා මිරිස්ස අවට තල්මසුන් නැහැ. බොරු කියනවා කියලා ඔවුන් අපිට කියනවා. තල්මසුන් බැලිම සදහා යන බෝට්ටු වලින් කෝටි ගණනක මුදලක් වනජීවි දෙපාර්තමේන්තුවෙන් එකතුකරලා . ඇති. නමුත් ඔවුන්ගෙන් කිසිදු සේවාවක් වෙන්නේ නැති බවද හෙතෙම පවසයි..

තල්මසුන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැගෙන යන යාත්‍රාහිමියකු වන මිරිස්සේ එම්. චමින්ද මහතා කීවේ මෙවැනි කථාවකි.

මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගැවසීම අඩුවීම තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලුව. නිත්‍යානුකුල නොවන අයුරින් ඇතමුන් ඩිංගි බෝට්ටු වලින් ගිහින් තල්මසුන් සමග පිහිනනවා. අපි ගිහින් ආවාට පසු තමයි මේ දේවල් සිදුවන්නේ. මිරිස්ස ධීවර වරායෙන් යාත්‍රාවලට පමණයි වනජිවියෙන් මුදල් ගන්නේ. පිටින් යන යාත්‍රාවලින් මුදල් අයකරන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ රජයටත් එක්ක මුදල් හම්බකරලා දෙන්න. 2019 වර්ෂයේදී තමයි මුදල් අයකරන්න පටන් ගත්තේ. වනජීවියෙන් මුදල් අය කිරීමට පෙර දෙස්, විදේශීය සංචාරකයන් දිනකට දහසක් එක්දහස් පන්සියයක් පමණ තල්මසුන් නැරඹීම සඳහා පැමිණියා. දැන්නම් සංචාරකයන් දිනකට 200ක් වත් එන්නේ නැහැ. එක් ගමනක් යන්න තල්මසුන් හිටියත් නැතත් ලක්ෂ එකහමාරක පමණ වියදමක් යාත්‍රා හිමියාට දැරීමට සිදුවෙලා තියෙනවා. තල්මසුන් ඉන්නවානම් ඒත් ගැටලුවක් නැහැ. විදේශිකයන්ගෙන් අය කරන මුදල සංශෝධන කරලා දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලනවා.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment