හර්තාලයෙන් රටම නවතී

719

කොළඹ ප්‍රධාන හර්තාලයේ, බොරැල්ලේ
මළ බතක් උයා බලු කපුටන්ට දෙති

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් ඊයේ (06 දා) ක්‍රියාත්මක කළ හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය හේතුවෙන් මුළු රටේම ක්ෂේත්‍ර රැසක කටයුතු ඇනහිටියේය.

1953 ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසු මෙරට ක්‍රියාත්මක වුණු දැවැන්තම හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය ලෙස ඊයේ (06 දා) ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය හැඳින්විය හැකිය.

වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය සඳහා විශාල ජන සහභාගිත්වයක් පැවතීම ද දක්නට ලැබිණි.

වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සහ එක්දින වැඩ වර්ජනය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු, ගුරු – විදුහල්පති, ඇඟලුම් ක්ෂේත්‍රය, බැංකු සේවා සංගමය, ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක සාමාජිකයන් සහභාගි වී සිටි බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.

හර්තාල් සහ වැඩ වර්ජනය හේතුවෙන් බැංකු සේවාවන් අඩාළ වීම, ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීම, නගර ඇතුළු විවිධ ප්‍රදේශවල කඩ සාප්පු වසා තැබීම, ආයෝජන කලාප සේවකයින් වැඩ වර්ජනයේ නිරතව විරෝධතා දැක්වීම, ඇතැම් ප්‍රදේශවල කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වැඩ වර්ජනයේ නිරත වීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකම පිරිස් වැඩ වර්ජනයට සහාය දීම නිසා වැඩ වර්ජනය ඉතා සාර්ථක බව ද කුමුදේශ් මහතා කීය.

මෙම වර්ජනයට ගුරු විදුහල්පති සේවාවල පිරිස් ද සහාය දැක්වීම නිසා පාසල්වලට දරුවන් නොපැමිණීම නිසා පාසල් වෑන් රථ සේවාවන් අඩාළ වුණි. පාසල් අධ්‍යයන කටයුතු සියල්ල අඩාළ වී තිබිණි.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවත් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 4500කට වැඩි ප්‍රමාණයක් සහ දුම්රිය ගමන් වාර 50ක් පමණ ධාවනය වූ බවට වාර්තා වී තිබිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා කියා සිටියේ වරාය අධිකාරියේ කටයුතු ද බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වූ බවය.

කොළඹ දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන හර්තාලය වෘත්තීය සමිති නායකයන්ගේ, සිවිල් සංවිධාන, වෙළඳ සංවිධානවල සහභාගිත්වයෙන් බොරැල්ල මංසන්ධියේදී පැවැත්විණි. එහිදී නගර මධ්‍යයේ ‘මළ බතක්’ උයමින් වත්මන් පාලනයට එරෙහිව කටයුතු කළ විරෝධතාකරුවෝ එම බත කපුටන් සහ සුනඛයින්ට ලබාදුන්හ.

අරගලයට සහාය දක්වමින් සිද්ධස්ථානවල ඝන්ඨාර නාද විය. අධිකරණ ශාලාවලින් ඉවතට පැමිණි නීතිඥවරු රෝහල්වලින් ඉවතට පැමිණි වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල ද විරෝධතාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.

චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment