රතු බිල

1170

කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේ ලයිට් කපා ඇති බව දැන ගන්නට තිබේ. එයට හේතුව රුපියල් ලක්‍ෂ 6 ක විදුලි බිලක හිඟයක් තිබීමය. පසුව එම මුදල ගෙවා විදුලිය සන්ධි කරගත් බව ද දැන ගන්නට තිබේ. ඒත් මේ රටේ මධ්‍යම පාන්තික හෝ පහළ මධ්‍යම පාන්තික වැසියෙකුගේ ගෙදර ලයිට් කැපූ විට ඒ තරම් ලෙහෙසියෙන් සල්ලි හොයා ගන්නට බැරිය. සාමාන්‍යයෙන් විදුලිබල මණ්ඩලය ගෙදරක ලයිට් කපන්නේ විදුලි බිල් 3 ක් එක පිට එක නොගෙවා හිඟ හිටවන ලද අවස්ථාවේදී ය. එහිදී හතරවන බිලත් සමඟ ‘ඩිස්කනෙක්ෂන් ඕඩර්’ එකක් හෙවත් විදුලිය සිඳලීමේ නියෝගයක් නිකුත් කරනු ලැබේ. එම නියෝගය ලැබී දින 7 ක් ඇතුළත ලයිට් බිල සම්පූර්ණයෙන් ම ගෙවිය යුතුය. හැබැයි විදුලිබල මණ්ඩලය මේ කිව්වාට දවස් 7 කින් ලයිට් කපන්නට තරම් අමානුෂික වන්නේ නැත. ඔවුහු තවත් සති 2 ක් පමණ පසුකර ලයිට් කැපීමට එති. ඇතැම් විදුලිබල ඩිපෝවල තත්ත්වය කොතරම් මානුෂික ද යත් උදෙන්ම ඇවිත් ලයිට් කපන අතර තමන් සවස 5 වන තුරු ඒ අහල පහල ප්‍රදේශයේ සිටින බවත් හැකිනම් විදුලිබිල ගෙවා දුරකථන ඇමතුමක් දුන්නොත් වහාම විදුලිය යළි සන්ධි කරන බවත් කියති. මේ ආකාරයෙන් විදුලිබල මණ්ඩලය සහ මේ රටේ ජනතාව අතර කිසියම් ආකාරයක මානුෂීය සහසම්බන්ධතාවක් පැවතිණ. එහෙත් මේ වන විට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පරම සතුරා බවට විදුලිබල මණ්ඩලය පත්ව තිබේ. දවසට පැය කීපයක් ලයිට් නැතිව අප ගතකළ ජීවිතය අවසන් කරමින් මේ පරම සතුරා විදුලිබිල වැඩිකර අඛණ්ඩව විදුලිය සැපයීමට පටන් ගෙන තිබේ. විදුලිබල මණ්ඩලය යනු ණය ගුහාවකි. ඔවුහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය කියා නිමකළ නොහැක. ශ්‍රී ලංකාවේ නිපදවන ජල විදුලිය රටේ විදුලි අවශ්‍යතාවට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත. මේ නිසා ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීම සඳහා විදුලි බලාගාරවලට සැපයීම පිණිස විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ගත්තේය. අන්තිමේදී විදුලිබල මණ්ඩලයේ සභාපති දුටු තැන ණය අයකර ගැනීම සඳහා කඩු පොලු රැගෙන ඔහු පසුපස පන්නාගෙන ඒමේ තත්ත්වයක් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිට ඇති විය. මේ ණය ගොඩ අස්සේ රටේ ආර්ථිකය ද නරක් විය. ප්‍රශ්නය කෙළවර වන්නේ පසුගිය මාස දෙක තුනක කාලය තුළ අවස්ථා දෙකකදී විදුලි බිල 250% කින් පමණ වැඩි කිරීමෙනි. මේ අතර මින් පසු අත්පිට මුදලට මිස ණයට ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකි වන්නේ නැත. එසේම කෑෂ්වලට මිස ණයට විදුලි බලය සැපයීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන්නේ ද නැත. මේ කතන්දරයේ අවසානය විදුලිබල මණ්ඩලය පැත්තෙන් සතුටුදායක අවසානයකි. ජනතාවගේ පැත්තෙන් මළගෙයක් හා සමාන සිද්ධියකි.

මෙවර විදුලිබිල වැඩි කිරීමේදී විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන් ම නෙළා ඇත්තේ අඩු විදුලි බිලක් ලැබෙන ජනතාවට ය. එය මේ රටේ පහළම ස්ථරය වන දිළිඳු ජනතාව සහ පහළ මධ්‍යම පන්තිය යන සමාජ කොටස් නියෝජනය කරයි. විදුලිබිල වැඩි වී ඇති ආකාරය මේ වන විට මුළු රටම දන්නා බැවින් ඒ ගැන විස්තර කිරීමට වචන වැය කරනු නො ලැබේ. හැබැයි රුපියල් හතළිස්දහසක මාසික ආදායමක් ඇති පවුලකට රාත්‍රි කාලයේදී ඉන්නට සිදුවන්නේ එකම එක ලයිට් එකක් දමාගෙනය. අවශ්‍ය නම් ලයිට් එක ඕෆ් කර ඒ වෙනුවට ටී. වී. එක ඔන් කරගෙන එහි ආලෝකයෙන් රාත්‍රි කාලයේ ඇහැරගෙන සිටින කොටස ගත කිරීමට ජනතාවට හැකියාව ලැබේ. යම් හෙයකින් මේ පවුලේ අයට ගෙවල් කුලියක් ගෙවීමට සිදුවන්නේ නම් ලයිට් පත්තුකිරීමට තබා කෑම බීම මිලට ගැනීම හෝ බස්වලින් ගමන් යෑමට හෝ අවකාශයක් ලැබෙන්නේ නැත. පස්දෙනකු සිටින පවුලකට මාසික ආහාර සඳහා අවම වශයෙන් රුපියල් පනස්දහසක් වැය වේ. නිකම්වත් උදයට පාන් රාත්තල් දෙක බැගින් ගෙනාවොත් මේ පවුලට සිදුවන්නේ හිඟාකෑමට ය. විදුලිබිල වැඩි කිරීමේ ක්‍රියාවලිය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සහ ආණ්ඩුව ගැටුණු අවස්ථාවේදී අපි යෝජනාවක් කළෙමු. ඒ වූ කලී මේ ප්‍රශ්නය විසඳීමට නම් එක්කෝ ජනක රත්නායක වෝල්ටේජ් තිස්තුන්දාහේ කණුවකට නැඟ කම්බිය ඇල්ලිය යුතු බවය. එවිට ජනක රත්නායකගෙන් නිදහස් වීමට ආණ්ඩුවට පුළුවන. නැත්නම් එම විදුලි කණුවට නැඟ ආණ්ඩුව විසින් විදුලි කම්බිය ඇල්ලිය යුතු බව අපි යෝජනා කළෙමු. එවිට ආණ්ඩුවෙන් නිදහස් වීමට ජනක රත්නායකට පුළුවන. එහෙත් මේ දෙකම පැත්තක තබා එකී වෝල්ටේජ් තිස්තුන්දාහේ කම්බිය ඇල්ලීමට සිද්ධ වන තැනට ජනතාව පත්කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. මේ සිද්ධියෙන් නියම ගින්න පත්තුවනු ඇත්තේ වැඩිකළ ලයිට් බිල ගෙදරට එන දවසට ය. මීට දෙමසකට පමණ පෙර ලයිට් බිල වැඩිකළ අවස්ථාවේදී පාරිභෝගිකයන් අතින් මනු කියවන්නන් කිහිපදෙනකු ගුටිකෑහ. මනු කියවන්නා යනු අසරණයෙකි. ඔහු පණිවිඩකරු පමණි. පණිවිඩකරුට වෙඩි තැබීම ඉතාම පහත් ගොන් ක්‍රියාවකි.

විදුලි බිල ඉහළ යෑමත් සමඟම සියලු භාණ්ඩවල, විශේෂයෙන් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යවන බව වෙළෙඳ සංගම් කියා ඇත. බේකරිකරුවන්ගේ සංගමය කියන පරිදිත් කැන්ටින් සහ හෝටල් හිමියන්ගේ සංගමය කියන පරිදිත් පසුගිය සිකුරාදා සිට බත්පතේ සිට කට්ලට් එක දක්වා වූ සියලුම ආහාරපානවල මිල ඉහළ යෑම සිදුවනු ඇත. එසේම පාන් සහ පිටි කෑම සියල්ල ද ඉහළ යනවා ඇත. දැනට මේ රටේ දර පෝරණු ඇත්තේ 5% අඩු ප්‍රමාණයකි. ඉතිරි 95% ම විදුලි පෝරණු ය. පාන් පුළුස්සනු ලබන්නේ මේ විදුලි පෝරණුවල දමා ය. එබැවින් කිසිදු සැකයක් නැතිව ස්ථිර වශයෙන් ම පාන් මිල ඉහළ නැඟීම සිදුවෙයි. මෙය පහළ මට්ටමක පවත්වාගෙන යා හැක්කේ පිටි සහ පාන්වලට යොදන සෙසු අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමෙන් පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන තිරිඟු පිටි සමාගම් දෙක කිසි විටෙකත් පිටි මිල අඩු නොකරන බවත් පාන්වලට අමුද්‍රව්‍ය සපයන සෙසු සමාගම් පාන්වලට යොදන මාගරින්, සීනි, ලුණු, ඊස්ට් යන ද්‍රව්‍යවල මිල අඩු කිරීමටත් සූදානම් නැත. පාන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වතුර සහ ලුණු හැර සෙසු සියලු අමුද්‍රව්‍ය ගෙන්වන්නේ පිටරටිනි. ඒ සඳහා අමුද්‍රව්‍ය ගෙන්වන සමාගම් ඩොලර් හොයාගන්නේ ඉතා අමාරුවෙනි. අපි විශාල රතු බිලක් ඉදිරිපිට සිටගෙන සිටිමු. මේ රතු බිල ඇවිත් ඇත්තේ අප විසන්ධි කිරීමටය. මේ රතු බිල මඳ කලකට හෝ හකුලා තබන ලෙස අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment