මැයි දිනය සහ ඩොල්ෆින් කොත්තු

590

අපි මැයි දිනය එළඹෙන්නට හරියටම දවසකට කලින් මේ කතුවැකිය පළකරමු. ලෝකය පසුගිය කාලයේදී කැලැන්ඩරය සමග ඉතා වේගයෙන් එකතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුද්දේ දින 365 න් සෑහෙන ප්‍රමාණයක් විවිධ දින වෙනුවෙන් වෙන් වී තිබේ. පියවරුන්ගේ දිනය, වැලන්ටයින් දිනය, මාධ්‍ය නිදහස සඳහා වූ දිනය, කට ඇර කතාකිරීමේ නිදහස සඳහා වූ දිනය ඇතුළු අලුත් අනුස්මරණ දවස් රාශියක් කැලැන්ඩර්වලට එකතු වී ඇත. මේ දවස් අතුරින් මැයි දිනය විශේෂය. එහි විශේෂත්වයට හේතු වන්නේ පසු කාලයේදී විශාල බිස්නස් එකක් බවට පත් වූ කම්කරු ව්‍යාපාරය නමැති සාධකය තවදුරටත් මාර්කට් කර, තවදුරටත් ප්‍රචාරය කර, තවදුරටත් මස් කොක්කේ එල්ලා තැබීම සඳහා මේ දිනය යොදාගත හැකි බැවිනි. මැයි දිනය යනු කම්කරු ප්‍රජාව නියෝජනය කරන දවසක් නම් එහි වර්තමාන ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුව තිබේ. දැනට මැයි දිනය ලෙස මේ රටේදී පවත්වනු ලබන්නේ කසිප්පු සහ ගංජාකාරයන් බහුලව සහභාගි වන කුණුහරුප කියන, අන්තිමේදී දේශපාලනය වෙනුවෙන් මිනීමරා ගන්නා බිලි පූජාවකි. ලෝකයට කම්කරු සටන් තවදුරටත් අවශ්‍යද යන ප්‍රශ්නය මතු වී තිබේ. වර්තමාන ලෝකය යනු තනිකරම සටන් භූමියකි. බෙදුම්වාදී සටන්, වාර්ගික යුද්ධ, ගෝත්‍රික මරාගැනීම්, ප්‍රචණ්ඩ කල්ලි අතර හටගන්නා සටන්, මත්ද්‍රව්‍ය වෙළෙඳුන් අතර සිදුකෙරෙන දාමරික ක්‍රියා ඇතුළු අටඅනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි සහ 230 අන්තරාවලින් පොළෝතලය වැසී ගොස් තිබේ. මෙසේ වැසී ගිය පොළෝතලය තුළ වෙනත් සටන්වලට ඉඩක් නැත. ඒ අනුව කම්කරු සටන් මෝඩ චූන් එකක් බවට පත් වී ධනය සහ බලය ඉදිරිපිට ඇඹරී හෙළුවෙන් නටන තත්ත්වයක් උද්ගත වී තිබේ. අප කම්කරු සටන් පිළිබඳ හෝ මැයි දිනය පිළිබඳ ද්වේෂයෙන් කතා කරන බවක්, පාඨකයා නොසිතිය යුතුය. මෙවැනි විෂයයන් මේ ආකාරයේ ස්වරයකින් කතා නොකළහොත් කාටවත් තේරෙන්නේ ද නැත. මිනිසුන්ගේ හම බෙහෙවින් ඝන වී තිබේ. සමහර මිනිසුන්ට පිහියකින් ඇන්නොත් මිස අල්පෙනිත්තකින් ඇන්නොත් තේරෙන්නේවත් නැත. ඇතැම් විටෙක ඒ අල්පෙනිත්ත දෙකඩ නැමෙන්නත් ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ කම්කරු සටන් පිළිබඳ අපේ අර්ථකථනයේ ඉතුරු ටික මෙතැන් සිට සාකච්ඡාවට ලක්කරනු ලැබේ.

ලංකාව යටත්විජිතවාදයෙන් නිදහස් වන කාලය එළඹෙද්දී නැගෙනහිර යුරෝපය කොමියුනිස්ට්වාදයෙන් වැසී ගියේය. මාක්ස්ටත් වඩා මාක්ස්වාදීන් බිහිවූ බැවින් මාක්ස්වාදය සමාජවාදය නමැති වෙනත් දේශපාලන ස්වරූපයක් දක්වා ගමන් කළේය. මාක්ස්ගේ ප්‍රතිපත්තියට අනුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය යන නිෂ්පාදන සාධක 4 නිර්ධන පංතිය සතුවිය යුතු නමුදු ඒ කිසිවිටෙකත් එසේ සිදු වූයේ නැත. මේ නිෂ්පාදන සාධක 4 ඉතාම කෙටි කාලයක් තුළදී කොමියුනිස්ට්වාදයේ නිලධාරි ගැන්සිය අතට පත් වූ අතර එතැන් සිට පජාත සමාජක්‍රමයක් බිහිවිය. මේ සඳහා ගත හැකි වූ හොඳම උදාහරණය එක්සත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව ය. රුසියාවේ වී. අයි. ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි ඇතුළු කොමියුනිස්ට් න්‍යායවාදීන් සමඟ රුසියාවේ පිහිටු වූ කොමියුනිස්ට් ආණ්ඩුව ඉතාම කෙටි කාලයක් තුළ මුළුමහත් නැගෙනහිර යුරෝපයම අල්ලාගෙන ඉතා දරුණු නිලධාරිවාදී රාජ්‍ය ක්‍රමයක් තහවුරු කළේය. මෙය පුල්ලි රහිත කොටියෙකි. ධනවාදයට පුල්ලි ඇති බැවින් ඒ සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය අපට ඈතදීම හඳුනාගත හැකිය. එහෙත් කොටියාගේ පුල්ලි රහිත වූ විට ඌ විශාල වල්බළලකු ලෙස පෙනී යන අවස්ථා තිබේ. එබැවින් අපට ඒ සමග ගනුදෙනු කළ නොහැක. ලෙනින්ගේ සෝවියට් සංගමය සමූහ ගොවිපළ සහ සමූහ කර්මාන්ත සංකල්පයක් යටතේ ඉතා සාර්ථක රාජ්‍යයක් ලෙස හිස ඔසවමින් සිටියදී එම ක්‍රමයට දායක වූ අය තුළ පොඩි පොඩි තණ්හා තත්ත්වයන් ඇති විය. සමූහ ගොවිපළ ක්‍රමය අනුව එහි අස්වැන්න එම ගොවිතැනට සහභාගි වන සියලුදෙනා අතර සමසේ බෙදා යා යුතු වේ. සෝවියට් සංගමයේ මුල් යුගයේදී එය එසේම සිදුවිය. ඒත් ටිකක් කල් යන විට සමූහ ගොවිපළේ පාලකයෝ වංචා කරන්නට පටන් ගත්හ. ඒ උන් පෘතග්ජනයන් වූ බැවිනි.

පෘතග්ජනයා සොරාකෑමට ලැදිය. පෘතග්ජනයා තුළ ස්ත්‍රී දූෂකයෙක් සිටී. පෘතග්ජනයා තුළ කෲරත්වය තිබේ. කිසියම් බලගතු දේශපාලන හෝ ආධ්‍යාත්මික ප්‍රයෝග මගින් මේ තත්ත්වයන් මැඬපැවැත්විය හැකි නමුදු සමහර විට ටැප්එක කැඩෙන අවස්ථා තිබේ. මෙතැනින් ලීක් වෙන ද්‍රව්‍ය සොරකම් කළ හැකිය. ආරම්භයේදී සෝවියට් නායකයෝ මෙබඳු චෞර පෘතග්ජනයන් ප්‍රතිවිප්ලවවාදීන් ලෙස සලකා සංහාරය කළහ. අවුරුදු කිහිපයක් ගත වී බලන විට ලෙඩේ තත්ත්වය හොඳටම නරක් වූ අතර එය සෝවියට් ජනාධිපති ස්ටාර්ලින්ට පවා බෝවිය. ස්ටාර්ලින් සොරකම් නොකළාට ලක්‍ෂ සංඛ්‍යාත ජනයා නිකරුනේ මැරවීය. මේ ක්‍රමයට විරුද්ධ වූ සෑම කම්කරුවෙක්ම ඝාතනය කරන ලදි. මැයි දිනය පහළවන්නේ වඩාත් දරුණු ධනවාදී රටක් වූ ඇමරිකාවේදී මිස කොමියුනිස්ට් සෝවියට් දේශයේදී නොවන බව අප මතක තබා ගත යුතුය. එතැන් සිට ඉතුරු ටික මෙසේ කියමු.

ශ්‍රී ලංකාවේ කම්කරු දිනය සැමරීමේදී අප ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුතු දෙයක් තිබේ. එනම් මේ රට තුළ කම්කරු පංතියක් තවදුරටත් සිටින්නේද යන්නය. දැනට මේ රටේ පංති වශයෙන් ඉතුරුව ඇත්තේ පාසල්වල පංති, ප්‍රයිවට් ටියුෂන් පංති, කුකරි පංති, මැහුම් පංති වැනි පංති ස්වල්පයක් පමණි. ඒ හැරෙන්නට තෝරා බේරා ගැනීමට බැරි තරමට කම්කරු පංතිය අවුල් වී සිටී. මෙයට අවුරුදු 75 කට පෙර මේ රටේ නාගරික කම්කරු පංතියේ ප්‍රධාන ආහාරය පරිප්පු සහ පාන් ය. ඊට අවුරුදු 25 කට පසු මේ රටේ කම්කරු පංතියේ ප්‍රධාන ආහාරය බත් ය. ඊට ස්වල්ප කලකට පසු මේ රටේ කම්කරු පංතියේ ප්‍රධාන ආහාරය කොත්තුරොටි බවට පත්විය. කොත්තු රොටිය යනු සකලාංග සම්පූර්ණ ආහාරයකි. චිකන් කොත්තු, හරක්මස් කොත්තු, මාළු කොත්තු, දැල්ලො කොත්තු, චීස් කොත්තු, මික්ස් කොත්තු, ඩොල්පින් කොත්තු යනාදී වශයෙන් කොත්තු වර්ග විශාල ගණනක් ඇත. එසේම සූප ශාස්ත්‍ර පිළිබඳ කිසිදු දැනුමක් නැති ඕනෑම කෙනෙකුට කටට හැපෙන ඕනෑම දෙයක් දමා කොත්තුවක් සෑදිය හැකිය. මැයි දිනයට අද සිදුවී ඇත්තේ ද මෙයමය. මැයි දිනයට පාදක වූ උතුම් අරමුණු කිසිවක් අද ඉතිරි වී නැත. ලෝකය දිනපතා වෙනස් වන බැවින් එම අරමුණු එසේ ඉතිරිවීමේ වුවමනාවක් ද නැත. සමහර විට ලෝකයේ හැඩය වෙනස් කරනු පිණිස ඉදිරියේදී වෙනත් දේශපාලන දර්ශන බොහොමයක් බිහිවීමට ඉඩ තිබේ. මේ නිසා තව අවුරුදු කිහිපයකට පසු මැයි දිනය යන සංකල්පය සම්පූර්ණයෙන් වෙනස් වී එතැනට වෙනත් අරමුණක් ආදේශ වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment