කටා සංස්කෘතිය

908

2023 සැප්තැම්බර් මස 17 වැනිදා ඉරිදා

මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීමෙන් පසු ලංකාවේ පාතාල දුරාවලියේ ප්‍රධානියා බවට පත්වන්නේ හරක් කටාය. හරක් කටාගේ සැබෑ නම නඳුන් චින්තක වික්‍රමරත්න බව හැමෝම පාහේ දනිති. එහෙත් සමාජය කැමති වන්නේ හරක් කටා නමැති අපහාසාත්මක නාමයෙන් ඔහු හැඳින්වීමටය. අපේ පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට අත්‍යවශ්‍යව සිටි අපරාධකාරයා හරක් කටාය. ඔහුගේ ප්‍රධාන ගෝලයා වන්නේ සලිඳු මල්ෂිත ගුණරත්න නමැති තරුණයෙකි. පානදුරේ ජීවත් වන මේ තරුණයා කුඩු සලිඳුය. හරක් කටාගේ කොන්ත්‍රාත් මිනීමැරුම් ජාවාරම සහ කුඩු බිස්නස් එක ලංකාවේ කරගෙන යෑමේදී ඇතැම් පොලිස් නිලධාරීන් සමග සම්බන්ධීකරණ කටයුතු කරමින් ජරාව බෙදාහරිමින් කුඩු සලිඳු කටයුතු කරන බව දැනගන්නට තිබේ. අප දන්නා පරිදි හරක් කටා මෙන්ම කුඩු සලිඳු ද කෝටිපතියෝ වෙති. ඔවුන්ගේ අත්වල ලේ තැවරී ඇති වුවද ඔවුන්ගේ සල්ලිවල ලේ තැවරී නැත. එයට හේතුව එම සල්ලි ගනුදෙනු සියල්ලම තෙවන පාර්ශ්ව විසින් සිදුකිරීමය. ගිය අවුරුද්දේ අගෝස්තු 11 වැනිදා ඩුබායි පොලිසිය මගින් එරට ගුවන්තොටුපළේදී හරක් කටා අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු අතේ හොර පාස්පෝට් එකක් තිබිණ. එසැණින්ම හරක් කටා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ලංකාවේ ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමකට විශාල මුදල් ගෙවා ඔවුන් ඩුබායි වෙත යැවීමට කුඩු සලිඳුට හැකි විය. මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා ගොස් එම ගෙවල්වල ස්වාමියා අතින් දූෂණය වෙමින් ද එම වරදට ඔහුගේ බිරිඳගෙන් ගුටි කමින් ද අපා ජීවිත ගතකරන ලාංකික කාන්තාවෝ මහපාරවල්වල අතරමං වූ විට සහ පොලිස් කූඩුවල සිරවූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයකු තබා බලු සතකුවත් යන්නේ නැත. එහෙත් හරක් කටා නමැති මිනී මරු කුඩ්ඩා වෙනුවෙන් ජනාධිපති නීතිඥයකුත් ඩුබායි ගියේ නම් එයින් හැඟෙන්නේ පාතාල සල්ලිවලට ඇති බලය වේ. ගිය වසරේ ඔක්තෝබර් මාසය වන විට හරක් කටා නිදහස් විය. එය තනිකරම කුඩු සලිඳුගේ ව්‍යායාමයේ ඵලයකි. හරක් කටා මෙරටට ගෙන්වීම සඳහා මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව සෑහෙන පරිශ්‍රමයක් ගත්තේය. එහෙත් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එම ව්‍යායාමය ව්‍යර්ථ කරන ලද බව දැනගන්නට තිබේ. මේ සියලු දේ සම්බන්ධීකරණය කළේ කුඩු සලිඳුය. ඉන්පසු මේ අවුරුද්දේ මාර්තු 1 වැනිදා මැඩගස්කරයේදී හරක් කටා නැවත වරක් අත්අඩංගුවට ගන්නා ලදී. හරක් කටා මෙරටට ගෙන ඒමට රුපියල් මිලියන සියයක් පමණ වැය වූ බව කියනු ලැබේ. මෙය එක චෙක් එකකින් ගෙවා දැමීමට වත්කමක් හරක් කටාට ඇත. ඔහු මෙරටට ගෙන ඒම සඳහා සීඅයිඩීයේ සහ එස්ටීඑෆ් එකේ පිරිසක්ම මැඩගස්කරය බලා ගියහ. ඩුබායි සිරගෙදරින් නිදහස් වූ හරක් කටා මැඩගස්කරයට පැමිණ තිබුණේ කුලියට ගත් සුඛෝපභෝගී ජෙට් යානයකිනි. හරක් කටාට අමතරව කුඩු සලිඳු ද තවත් හතරදෙනකු ද හරක් කටාගේ පියා ද මේ ගමනට සහභාගි වූ බව මැඩගස්කරයේ එක්ස්ප්‍රස් පුවත්පත කියා තිබිණ. හරක් කටා යනු ඉන්ටර්පෝල් පොලිසියේ පසු වරෙන්තුකාරයෙකි. එවැනි කෙනකු පුද්ගලික ගුවන් යානයකින් ප්‍රවාහනය කළ නොහැක. මේ ගමනට හරක් කටා විසින් ඩොලර් මිලියන ගණනක් වැය කළ බව දැනගන්නට තිබේ.

සාපරාධී කුඩු වෙළෙන්දකු බවට පත්වීමෙන් පසු හරක් කටා වැඩි වශයෙන්ම ජීවත් වූයේ පිටරටය. එහෙත් ඔහු වෙනුවෙන් ඔහුගේ කට්ටිය ලංකාවේදී දුන් ගේම් එක්කෝ වීඩියෝ කර හරක් කටා වෙත යවන ලදී. නැතිනම් ඒ මොහොතේදීම වීඩියෝ කෝල් මාර්ගයෙන් පිටරට සිටින හරක් කටාට පෙන්වන ලදී. මේ සාමාන්‍යයෙන් පිටරට සිටින මෙරට අපරාධකරුවන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් වේ. මාකඳුරේ මධුෂ් ද මෙයම කළේය. ඔහු සිය සහචරයන් විසින් ලංකාවේ සිටින විරුද්ධවාදීන්ගේ ගෙල කඳින් වෙන් කරන අයුරු සිය දුරකථනය ඔස්සේ සජීවීව බලා සිටි කෙනෙකි. ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදීම ඉතාම හොඳ දෙයකි. හරක් කටා කුඩු සලිඳු යන අය ද එවැනි ආයුධ ප්‍රදර්ශනවලට සහභාගි කළ යුතුමය. එහෙත් මානව හිමිකම්වල චූන් එක සහ නීතියේ බලපෑම නිසා එබඳු ආයුධ ප්‍රදර්ශන මේ දවස්වල පෙන්වන්නේ නැත.

මීට අවුරුදු ගණනකට පෙර මේ රටේ සිටි පොලිස්පතිතුමා ප්‍රකෝටිපති කුඩුකාරයකුගේ ගෙදර පැවති උපන්දින සාදයකට සහභාගි විය. පොලිස්පතිතුමා නොදැන සිටියාට මේ පාටියේ සියලු විස්තර ද පොලිස්පතිතුමා සහ කුඩු මුදලාලි එකට සිටින අයුරු දැක්වෙන විස්තර සහ ඡායාරූප මේ රටේ පුවත්පත්වල පළවිය. පොලිස්පතිගේ ක්‍රියාමාර්ගයට එරෙහිව අප පුවත්පතේ කතුවැකි දෙකක් පළවිය. ඉන්පසු අප තුන්වැනි කතුවැකිය ද ලියමින් සිටිද්දී පොලිස්පතිතුමාට සේවයන් ඉවත් වී ගෙදර යන්නට සිදුවිය. හරක් කටා සහ කුඩු සලිඳු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සෑහෙන පිරිසක් භාගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන් ළඟ ඕනෑ තරම් තිබේ. එහෙත් රජයේ ප්‍රමුඛ ආරක්‍ෂක අංශයක් මෙන්ම ලංකාවේ ලොකුම සිවිල් ආයතනය වූ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින අය කුඩුකාරයන් විසින් මිලට ගනු ලැබීම ඉතාම භයානයකය. පසුගියදා කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී හරක් කටා මූලික කරගෙන ඇතිවූ සිද්ධියෙන් එය පැහැදිලි වෙයි. මෙහි වරද පොලිසියේ නොව, පොලිසිය යනු සාමාන්‍ය ජනතාව සේවය කරන තැනක් වීමය. පොලිසිය සහ මහජනතාව අතර ඇති වෙනස මෙසේ තක්සේරු කළ හැක. පොලිසියට නිල ඇඳුමක් තිබේ. මහජනතාවට නිල ඇඳුමක් නැත. පොලිසිය අත බැටන් පොල්ලක් සහ පිස්තෝලයක් තිබේ. මහජනතාවට පිස්තෝල ගෙන යෑම තහනම්ය. පොලිසියට පොලිස් බලය තිබේ. මහජනතාවට වැඩි බලයක් නැත. පොලිසියේ සාමාන්‍ය ශ්‍රේණිවල වැටුප හිඟන වැටුපකි. ඒ නිසා ඔවුහු සිය පොලිස් බලය පාවිච්චි කර පගා ගසති. මහජනතාවගේ වැටුප ද හිඟන වැටුපකි. එහෙත් ඔවුන්ට පගා ගැසීමට බලයක් නැත. නිල ඇඳුම ගලවා සිවිල් ඇඳුම ඇන්ද විට පොලිසිය සහ ජනතාව යන දෙගොල්ලන්ම එකය. හරක් කටාගේ පැන යෑමට තැත් කිරීමේ ක්‍රියාවලියට උදව් කළ පොලිස් රාළහාමි හරක් කටා පැන ගියත් නැතත් පැන යෑමට සූදානමින් සිටියේය. මන්ද හරක් කටා පැන්නත් නැතත් තේවලට මත්ද්‍රව්‍ය දමා පොලිස් නිලධාරීන්ට දීම සම්බන්ධයෙන් ඔහුට ලෙඩක් වැටීම ස්ථිරය. මේ කියන රාළහාමි මේ මොහොතේදී පිටරටකට පැන ගොස් ඇති බව දැනගැනීමට තිබේ. ඇප ලැබූ වහාම කන්ජිපානි ඉම්රාන් ද ඉන්දියාවට පැන්නේය. හරක් කටාගේ රාජ්‍ය බලය මිලට ගැනීමේ සංස්කෘතිය මෙයට අවුරුදු 50කට පෙරත් මේ රටේ පැවතුණු නමුත් අද තරම් ප්‍රසාරණය වී නැත. ඉන්දියාවේත් මේ හා සමානම සංස්කෘතියක් තිබේ. අපි මෙය ‘කටා’ සංස්කෘතිය ලෙස හඳුන්වමු.

advertistmentadvertistment
advertistmentadvertistment