2024 වසරේ අභියෝගය සහ ජනතාවට පැවරෙන වගකීම

353

2024 නව වසර උදාවීමට තවත් ඉතිරිව ඇත්තේ දින තුන හතරක් වැනි සුළු කාලයක් වුවත් අප බොහෝ දෙනෙකු තුළ අලුත් අදිටනක් හෝ අලුත් බලාපොරොත්තුවක් ඇතැයි කිව හැකිද? මේ අපේක්‍ෂා භංගත්වය වසර දෙකක් පමණ ඈතට ඇදී යන්නකි. අතිශය සංකීර්ණ සිදුවීම් හා සමාජ දේශපාලන කැළඹීම් ද සමඟ උණුසුම් වූ කාලයක අඳුරු මතක සටහන් රැසක් ම අපට ඉතිරිව තිබේ. ඒ සියල්ල මූලික වශයෙන් අවිචාරශිලී දේශපාලනයක් විසින් රටට උරුම කරන ලද ඒවා බව ද නිසැකවම සඳහන් කළ යුතුය. අප කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකි වුවද මෙරටේ ජනතාවගේ දෑස් අබියස දැක ගත හැකි වූද දැවැන්ත ඓතිහාසික අරගලයකින් පාලකයන් බලයෙන් පහකළා වූ ද, දේශපාලන පෙරළියක් මේ කාලය තුළ උද්ගත විය. ඒ පිළිබඳ කෙබඳු විවේචන, අර්ථ දැක්වීම් තිබුණත් එදා පැවති පාලනය නිෂ්ක්‍රීය කිරීමට තරම් ඒ සමාජ දේශපාලන ප්‍රතිචාරය ප්‍රබල වූ බව ද අප පිළිගත යුතුය. ජනතාව පීඩාවට පත් කළ ඉන්ධන, ගෑස්, පෝලම් මෙන්ම විදුලිය සිඳලීම් වැනි පීඩාකාරී අත්දැකීම් සමඟ රට බංකොලොත් භාවය කරා ගමන් කළ ආකාරය ද රහසක් නොවේ.

හැට නව ලක්‍ෂයක ජනවරමක උණුසමින් අනුප්‍රාණය ලද රාජපක්‍ෂවරුන් එළවා දමා මහජන වරමක් නොලත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්ව රට මෙහෙය වූ ආකාරය පිළිබඳව වුවද විවිද සමාජ දේශපාලන කියැවීම් තිබේ. එහෙත් රනිල් ජනාධිපති ලෙස පත්ව ඇරඹුණු අලුත් දේශපාලන පරිච්ඡේදය එදා යම් ප්‍රමාණයක අස්වැසිල්ලක් විය. උඩුදුවමින් තිබුණු ආර්ථික අර්බුදයට නිශ්චිත විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් අසමත් වුවද සමාජ උද්ඝෝෂණ මර්දනය සම්බන්ධයෙන් ඔහුට හැකියාවක් තිබුණු බව පැහැදිලි විය. කුමක් වුවද, රට හිර වී තිබෙන සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුදය විසින් 2023 වසරේ නත්තලද වසා ගන්නා ලද ආකාරය මනාව පැහැදිලි විය. එය ජාත්‍යන්තර වශයෙන් ද පිළිබිඹු වූ බව මැල්කම් රංජිත් කාදිල්තුමා අවධාරණය කර තිබුණි.

මෙවර ජේසුස්වහන්සේ උපත ලද බෙත්ලෙහෙමේ ද සාම්ප්‍රදායික නත්තල් ‘උත්සවය නොපැවැත්විණි. මේ වනවිටත් ගාසා තීරයේ සිදුවන යුද ගැටුම් එයට හේතු විය. මෑත ඉතිහාසය තුළ බෙත්ලෙහෙමේ නත්තල් උළෙලක් නොපැවැත්වූ පළමු වතාව එය බව ද සඳහන් විය. යුක්රේනය හා රුසියාව අතර මෙන්ම ඊශ්‍රායලය හා පලස්තීනය ද මැදි වී සිටින කුරිරු යුද ගැටුම් නිසා ලෝක සිතියම කිළිටි වී තිබෙන බව පවසන මැල්කම් රංජිත් කාදිනල්තුමා ලංකාවේ නත්තල දුටුවේ ද අපිරිසිදු මෙන්ම පීඩාකාරී වටපිටාවක් තුළ උදා වූවක් ලෙසය. කාදිනල්තුමා සෘජුවම චෝදනා කරන්නේ මෙරටේ උද්ගතව තිබෙන දූෂිත දේශපාලන ක්‍රමයටත්, එය හසුරුවනු ලබන දේශපාලනඥයන්ටත් ය. මේ කාදිනල්තුමාගේ වදන්ය.

“ශ්‍රී ලංකාව ගත් කල එය ද සම්පූර්ණයෙන් වාගේ කඩා වැටී, ආත්මාර්ථකාමී සමාජ ක්‍රමයක් තුළ පාලනය කරන පිරිස් ගෙන යන්නා වූ කරදරකාරී පැවැත්මක් සහ ඔවුන්ගේ ගතිගුණ මත ඇති කරනු ලැබූ පීඩාකාරී වටපිටාවක් තුළ මේ නත්තල ගත කිරීමට සිදුව ඇත.”

කාදිනල්තුමා ජනතාවට ආරාධනා කරන්නේ පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්නට, නීති ගරුක, යුක්තිගරුක, සාධාරණත්වයක් සහිත සමාජයක් වර්ධනය කරන්නට ය. මෙම ක්‍රමය වෙනුවට ආදාරය කරුණාව පිරුණු සමාජයක් ස්ථාපිත කරන්නට ය. කාදිනල් හිමියන් මෙම පවතින ක්‍රමය දැඩිව ප්‍රතික්‍ෂේප කරයි. මෙයින් මිදෙන තෙක් ජනතාවට සෙතක් ශාන්තියක් අත්නොවන බව ද උන්වහන්සේ දැඩිව අවධාරණය කරයි.

“දූෂිත, පාපිෂ්ට, මනුෂ්‍යත්වය තුට්ටු දෙකකටවත් මායිම් නොකරන ප්‍රතිපත්තිය අනුව රට පාලනය කරන පාලනයෙන් මේ රට නිදහස් කර ගැනීමට ද අධිෂ්ඨාන කර ගත යුතුය. ඒ සඳහා සමාජය තුළ විශාල පරිවර්තනයක් සිදුවිය යුතුය. කාදිනල් හිමියෝ මේ නිවේදනය රූපවාහිනි නාලිකා ඔස්සේ ද සිදු කළහ. මෙය හුදු නත්තල් උළෙලට සීමා වූ ප්‍රකාශයක් ම නොවේ. එහි දිදුලන්නේ පාලකයන්ගේ ග්‍රාම්‍ය, දුෂ්ට ක්‍රියාකාරකම් නිසා විපතට වැටුණු රට නිදහස් කර ගැනීමේ අධිෂ්ඨානය සෑම පුරවැසියෙකු තුළම තිබිය යුතුය යන පණිවිඩයයි. මෙවර නත්තල උදාවන්නේ ම දරුණු මානව සංහාර සිදුවන වියරු සමාජ දේශපාලන අවකාශයකය. එය ආගමික සංහිඳියාව විනාශ වී ගිය වෛර ගිනි ඇවිලෙමින් තිබෙන දුර්භාග්‍ය සමයකි. නව වසරක නැවුම් අපේක්‍ෂා ඒ වියරු කුණාටුවට හසු වී ගොසින් ය. බලලෝභී දේශපාලනඥයන්ගෙන් ජනතාවගේ බලාපොරොත්තු සපුරා ගත හැකි ද යන ප්‍රශ්නය ද කාදිනල් හිමියෝ නඟති. ජාත්‍යන්තර විකෘති හා විරූපී චිත්‍රය සමඟ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන චිත්‍රය සසඳන කාදිනල්තුමා ආණ්ඩුව වසා ගත් ව්‍යාජ මායා දැල කීතු කර දමයි.

ගෝඨාභය පලවාහැර රට භාර කළ රනිල් සහ ඔහුගේ පාලනය ගැන ජනතාවට සෑහීමකට පත් විය නොහැකි බව කාදිනල්තුමා පුන පුනා ප්‍රකාශ කරයි. දවසකට වේලක් වත් බතක් නො ඉදෙන රටක ජනතාවට මොන සැණකෙළි ද? සුව සේවයේ දුර්ගන්ධය හාත්පසම පැතිර යයි. අදාළ ඇමැතිවරයාගේ ප්‍රකාශ උත්ප්‍රාසය දනවයි. යුක්තිය හා නීතිය ගැන විශ්වාසය තැබිය හැකි දැයි ප්‍රශ්න කෙරෙන්නේ ද ඒ පසුබිම තුළ ය. මෙම බෙහෙත් මගඩිය නිසි සැලසුමකට අනුව කරන ලද්දක් බව සෞඛ්‍ය සේවයේම ප්‍රමුඛ නිල බල විවේචනය කරන වෛද්‍යවරුම පවසති. පොදු ජන ජීවිත සමඟ පන්දු කෙළින පාලනයක්, රටක් පිළිවෙත් ගරුක වන්නේ කෙසේද යන්න උන්වහන්සේ විමසා සිටියි.

කාදිනල් හිමියෝ දැන් සෑහෙන කලක පටන් දේශපාලනඥයන් හා ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රබල විවේචකයකු බවට ද පත්ව සිටිති. ඒ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම නිසාම ද? මෙ රටේ පාලකයන් පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළි නොකිරීම චේතනාන්විතව සිදු කරන්නක් බව ද උන්වහන්සේගේ චෝදනාවකි. මෙ රටේ සිංහල බෞද්ධ පදනම සම්බන්ධයෙන් කාදිනල්තුමාට නිවැරදි අවබෝධයක් තිබෙන බව පෙනේ. ඇත්ත වශයෙන් ම බොහෝ කිතුනු පවුල්වල සමාරම්භය මෙන්ම මුල් බොදු උරුමයට සම්බන්ධ වූ බව හැඟේ. එනිසා කාදිනල්තුමන්ගේ විවේචනය නොතකා හැරීමට හෝ බැහැර කිරීමට ආණ්ඩුවට නොහැකිය.

2024 වසරේ අභියෝගය සහ ජනතාවට පැවරෙන වගකීම

කෙසේ වුවද 2024 වසර රටේ සමාජ – ආර්ථික – දේශපාලන යන හැම අංශයකම අර්බුද තවත් ප්‍රබල වනු නොවැළැක්විය හැකිය. විශේෂයෙන් ලබන ජනවාරියේ සිට බලාත්මක වන වැට් බද්ද (18%) ජන ජීවිතයට එල්ල කළ හැකි පීඩනය මෙපමණ යැයි කිව නොහැක. මෙයට ඔරොත්තු දිය නොහැකි වන සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමි වුවත් ඒ ජනතා පීඩනය සමනය කළ හැකි වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබේද? මේ අතර බදු සහන ඉල්ලා වීදි බසින වෘත්තිකයන්ට මෙන්ම වැටුප් වැඩි කර දෙන ලෙස කෙරෙන ඉල්ලීම් ද දැඩි විය හැකිය.

ජනාධිපති රනිල් ප්‍රකාශ කළ ආකාරයට 2024 මැතිවරණ වසරක් වේ දැයි අනාවැකි කීමට අප ඉක්මන් විය යුතු නැත. විශේෂයෙන් තමන්ට බලය අහිමි විය හැකි යැයි සක්සුදක් සේ පැහැදිලි දේශපාලන පසුබිමක රනිල් මෙන්ම රාජපක්‍ෂවරුන් නියෝජනය කරන දේශපාලන ප්‍රභූවරු මහජන පරීක්‍ෂාවකට සූදානම් වෙතැයි කිව හැකිද? මේ වනවිට සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල උද්ගතව තිබෙන යථාර්ථයට අනුව නම් සාම්ප්‍රදායික දේශපාලනයේ ගමනක අවසානය කරා යමින් තිබෙන බව පෙනේ. පොදු ජන පෙරමුණේ නායක මහින්ද පවසන පරිදි ඔව්හු පාණ්ඩුවක් නොවන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටිති. ගෝඨාභය රට ගොඩනගන විරුවකු ලෙස අභේෂේක කළ පොහොට්ටු නායකයන් අද රටට කියන්නේ ඒ විරුවා හාල්පාරුවෙක් බවද? පවතින රනිල්ගේ ආණ්ඩුවේ සියලු දොස් ඔහුගේ දුබලතාව නොහැකියාව නිසා සිදු වූ දේවල් බව ද?

ගෝඨාභයට විධායක පිටුව මෙන්ම මහින්දට අගමැති පුටුව ද අහිමි කළ 2022 ගාලුමුවදොර අරගලයේ තේමාව වූයේ පවතින රාජපක්‍ෂ කඳවුර ප්‍රමුඛ දූෂිත දේශපාලන ක්‍රමය පරාජය කළ යුතු බවය. මේ සකල විධ ආර්ථික සමාජ දේශපාලන අර්බුදවල වග උත්තරකරුවන් ඒ පැවති දේශපාලන ක්‍රමය බව අරගලකරුවෝ කීහ. එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඒ සඳහා යොදා ගත හැකිය යන අපේක්‍ෂාව ඒ අරගලකරුවන්ගේ සිත් සතන් තුළ නිදන්ගතව තිබෙන්නකි. මේ නිසා එළඹෙන ජනාධිපතිවරණය නිසැකයෙන් ම වෙනස් මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැකිය. ඇතැම් විටෙක ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමෙන් පසු පොදුජන පෙරමුණත් එජාපයත් යළිත් තීරණාත්මක සන්ධානයක් බවට පත්වනු ඇතැයි අනුමාන කරන අය ද සිටිති. මන්ද යත් පොහොට්ටුවට මෙන්ම එජාපයට ද වඩාත් වලංගු අපේක්‍ෂකයා බවට පත්වීමේ සම්භාවිතාව ඇත්තේ රනිල්ට නිසා ය.

ලංකාව මුහුණ දී සිටින සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද සඳහා වගකිව යුතු එ.ජා.ප. – පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිප යන පක්‍ෂවල මූලිකත්වයෙන් ගොඩනැගුණු ආණ්ඩු බව ජනතාවගෙන් බහුතරයක් ම පිළිගනු ලබයි. පොදුජන පෙරමුණ තුළ ශ්‍රීලනිප මුල් තිබේ. එසේම සජබය තුළ ද එජාප මුල් ඇත. සමස්තයක් ලෙස ආසන්න දසක හතරකට වැඩි කාලයක් තුළ මේ පක්‍ෂවලට රට මෙහෙයවීමට ජනතා අනුමැතිය ද ලැබුණි. වත්මන් රනිල් පාලනයට ශ්‍රීලනිපයේ, සජබයේ, මෙන්ම වෙනත් පක්‍ෂවල සහාය ද හිමි වේ. 2024 අය – වැයට ශ්‍රීලනිපයේ නායක මෛත්‍රිපාල විරුද්ධ වුව ද ඔහුගේ සගයෝ එයට අත් එසවූහ. අද ශ්‍රීලනිපය ලෙස සිටින්නේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු වැනි සංඛ්‍යාවකි. ස.ජ.බයේ මෙන්ම වෙනත් දේශපාලන අදහස් නිසා පොහොට්ටුව හැරගිය සමහරු ද විලියකින් තොරව මේ ආණ්ඩුව සමඟ සිටින්නෝ ය. ස.ජ.බ මුජිබර් රහුමන් ආණ්ඩුවේ ප්‍රබල විවේචකයකු වී සිටිද්දී ඔහුගේ පුටුවට පත් වූ ඒ. එච්. එම්. ෆවුසි ආණ්ඩුවට සහාය දෙයි.

ඇත්ත වශයෙන්ම වෙන වෙනම නමින් සඳහන් කළ හැකි පිරිසක් මේ ආණ්ඩුවට එක්ව සිටින්නේ හුදු ස්වාර්ථය හෙවත් වරප්‍රසාද නිසාමය. මේ අනුව මේ පක්‍ෂවල දේශපාලන සදාචාරය, විනය ගැන කතා කිරීම ද නිෂ්ඵලය. විශාල රත්තරන් හොර මගඩියකට අල්ලා දඩ ගෙවු මන්ත්‍රීවරයා ද ආණ්ඩුවට සහාය දෙයි. කුමක් වුවත් තම දේශපාලන අනන්‍යතාව රැක ගත් නායකයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනට ආඩම්බර විය හැකිය. අගමැති දිනේෂ් සහ ඔහුගේ පක්‍ෂයේ අනෙක් දෙදෙනා බොරු හේතු දැක්වීම් දේශපාලන වංගු ගැසීම් ආදී සෙප්පඩ විජ්ජා නොකර මේ ආණ්ඩුව සමඟ සිටීම ද ඔවුන්ගේ සාධනීය ගුණයකි.

කවර තත්ත්වයක් යටතේ හෝ මේ ආණ්ඩුවට බිලි බා ගත නොහැකි වූයේ ජ.ජ.බ මන්ත්‍රී කණ්ඩායම පමණි. එසේම මේ වනවිට ජ.ජ.බ. ඉලක්ක කර ගනිමින් සජබයේ සමහරු ද බංකොලොත් දේශපාලන තර්ක නඟති. ජ.වි.පෙ. පාක්‍ෂිකයන් සහභාගි වන රූපවාහිනී වාද විවාද වලදී පවා බොහෝ විට ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ ආදායම, ඇඳුම, ඔරලෝසුව වැනි දේවල් ගැන ය. මේ ළාමක ප්‍රශ්න නඟන සමහරු ද රැකියා කළ හෝ ස්ථිර වත්කම්ලාභීහු දැයි අපි නොදනිමි. අපට හැඟෙන ආකාරයට නම් මෙ රටේ බොහෝ දේශපාලනඥයන් නඩත්තු වන්නේ මහජන මුදලින් ය. නීතිඥයන් හා වෘත්තිකයන් නොවන නිකම්ම දේශපාලන හාල් කෑලි අනුන්ට සිනාසීම නිවටකම් රටට පෑමක් පමණි. මේ ළාමක ප්‍රශ්න කිරීමට එදා රෝහණ විජේවීර ද ලක්විය. කුමක් වුවත් උපන් හදවියක සුළු හෝ රැකියාවක් නොකර දේශපාලනයෙන් කළු සිටුවරුන් වූ අය මේ රටේ සුලභව සිටිති. ජ.වි.පෙ. වත්කම් බැරකම් මෙන්ම මෙ රටේ අනෙක් කිසිම පක්‍ෂයක වත්කම් බැරකම් ගැන අපට නිශ්චිත කරුණු නැත. එහෙත් චෞරයන් ලෙස ඇඟිලි දිගු වී සිටින අය ගැන නම් වැටහීමක් ඇත.

අප මේ සියල්ල සඳහන් කළේ 2024 වසරේදී එළඹෙන සමාජ දේශපාලන කතිකාවන් දෙස බලන පුරවැසියන්ට සුළු හෝ අවබෝධයක් ලබාදීමට ය. දේශපාලන ඕපාදූපවලට වඩා බැරෑරුම් වගකීම් ද ඒ ජනතාවට පැවරෙන හෙයිනි. කුමක් වුවත් ලබන වසර (2024) රටට ද අතිශය තීරණාත්මක වනු ඇත. එනිසා 2024 එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදයේ බලය හා ශක්තිය තහවුරු කරන්නා වූ ද රටේ ඉරණම තීන්දු කරන්නා වූ ද, අභියෝගාත්මක වසරක් වනු නිසැකය. ඒ අරුතින් ගත් කල එළඹෙන 2024 ඡන්ද සටනක් නොව රටේ ඉරණම තීන්දු කරන පන්ති සටනක් ලෙස ද හැඳින්වීම නිවැරදිය. සුළු ධනේෂ්වර ව්‍යාජ ප්‍රභූවරු එහිදී තමන්ට අත්විඳීමට සිදුවිය හැකි ඛේදනීය පරාජයට එරෙහිව කුමක් කිරීමට සූදානම්ව සිටිත් දැයි අනුමාන වශයෙන් හෝ කිව නොහැක. ප්‍රබුද්ධ හා විදග්ධ දේශපාලන චරිත සියුම්ව හඳුනා නොගෙන ගර්හිත දේශපාලන හාල් කෑලි වෙත යළිත් ආකර්ෂණය වුවහොත් රටේ අනාගතයත් ජනතාවගේ ඉරණමත් අනතුරක බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment