13 ගැන කිසිවක් කතා නොකරන සජිත් ජනාධිපති ධුරයට කිසිසේත් සුදුසු නෑ – විග්නේෂ්වරන් කියයි

427

දෙමළ ජනතාව තුළ සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු කැමැත්තක් නොමැති නිසා ඔහු ජනාධිපති ධුරයට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා යාපනයේදී 5 දා පැවසීය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව යාපනයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ දැනට පවතින 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ඇති එකම හෝ හොඳම මග නොවුණත් ඒ පිළිබඳව හෝ සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් කතා නොකරන බවයි. උතුරු නගෙනහිර දෙමළ ප්‍රශ්නය නොවිසඳා රට සංවර්ධනය කළ හැකි බව යමෙක් ප්‍රකාශ කරයි නම් එය මිථ්‍යාවක් බව කී මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතාද මේ දෙමළ ප්‍රශ්නය පිළිබඳව ස්ථිරව යමක් ප්‍රකාශ නොකරන අයකු බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව අමතා 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය හා ඊට අයත් බලතල ගැන කතා කිරීමට සූදානමින් සිටින බව කී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඔහුගේ එම කතාව ඉදිරිපත් වනතුරු දෙමළ දේශපාලන පක්ෂ බලා සිටින බවද ප්‍රකාශ කළේය.

13 වෙනි ව්‍යවස්ථාව ගැන දකුණේ ජනතාව තුළ විශාල බියක් ඇති බවත් එය එසේ විය යුතු තත්ත්වයක් නොවන බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා මේ නිසාම රට තුළ විවිධ මතවාද ගොඩනැගෙමින් පවතින බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට බුද්ධාගම පැමිණ වසර 700 කට පසුව සිංහල භාෂාව පැමිණි නමුත් පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රශ්නය යටගැසීමට එම ඉතිහාසය පවා විකෘති කොට ඇති බව ද හෙතෙම කියා සිටියේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment