රටට සල්ලි මවාදෙන්න පුරාවිද්‍යා උරුමයන්ට පුළුවන්

324

කැලණිය විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යා අධ්‍යයනංශයෙහි ජ්‍යෙෂ්ඨ මහාචාර්යය අනුර මනතුංග

අවශේෂාත්මක ද්‍රව්‍ය තුළින් අතීත මානවයාගේ සංස්කෘතිය සහ මානව ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාව නමින් හැඳින්වේ. පුරාවිද්‍යාව ඉවහල් කොටගෙන අනාවරණය කරගන්නා ලද කරුණු ඔස්සේ ප්‍රෞඪ ඉතිහාසයක මං සලකුණු මතු පරපුරට සුරක්ෂිත කරලීමට හැකියාව ලැබී ඇත. එකී මං සලකුණු ඔස්සේ ඇවිද යන්නට දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ මහත් රුචියකි. අද වන විට පුරාවිද්‍යාත්මක ස්ථාන ආශ්‍රිතව සංචාරක කර්මාන්තය බෙහෙවින් ප්‍රචලිත වී තිබෙන්නේ ද එබැවිනි. මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යා අධ්‍යයනංශයෙහි ජ්‍යෙෂ්ඨ මහාචාර්යය අනුර මනතුංග මහතා අප සමඟ අදහස් දැක්වූයේ මේ ආකාරයට ය.

මහාචාර්යතුමනි, පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය අතර තිබෙන්නා වූ සබඳතාව කෙබඳු ද?

සංචාරක කර්මාන්තය සහ පුරාවිද්‍යාව එකට බද්ධවුණු විෂය ක්ෂේත්‍රයන් ද්විත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. පුරාවිද්‍යාත්මක ස්ථාන බොහෝ විට සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන බවට පත්වෙනවා. මේ හේතුවෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන ආශ්‍රිතව සිදු කරන්නා වූ යම් යම් කටයුතු සංචාරක ව්‍යාපාරය කෙරෙහි බලපානවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම පුරාවිද්‍යාඥයන් විසින් සිදුකරන්නා වූ ගවේෂණ, සොයාගැනීම්, රචනා කරන්නා වූ පොතපත සහ නිපදවන්නා වූ දැනුම ආදිය සංචාරක කර්මාන්තයෙහි දියුණුව කෙරෙහි හිතකර බලපෑම් ඇති කරනවා. සංචාරකයන්ට යම්කිසි අභිප්‍රේරණයක් ඇතිකරන්නත් හේතු වෙනවා. මේ කාරණා තුළින් පැහැදිලි වෙනවා සංචාරක කර්මාන්තය සහ පුරාවිද්‍යාව කියන්නේ එකට ඒකාබද්ධ වුණු විෂය කේෂ්ත්‍රයන් ද්විත්වයක් කියලා.

සංචාරක කර්මාන්තයෙහි උන්නතිය උදෙසා භාවිතයට ගත හැකි ශ්‍රී ලාංකීය පුරාවිද්‍යාත්මක උරුමයන් මොනවාද?

ලෝකයෙහි ජෛව විවිධත්වය ඉහළම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත් අයත් වෙනවා. මේ හේතුවෙන් සමස්ත ශ්‍රී ලංකාවම සංචාරක කර්මාන්තය උදෙසා භාවිතා කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ කුමන ස්ථානයක් වුවත් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන විදිහට හැඳින්වීම නිවැරදියි. ඒ අතරිනුත් වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන දෙසට අවධානය යොමු කළොත්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 25%ක්ම සංචාරය කිරීම සඳහා තෝරාගන්නා ස්ථානයක් විදියට සීගිරිය හඳුන්වන්න පුළුවන්. මීට අමතරව අනුරාධපුර, පොලොන්නරුව, මහනුවර, ගාල්ල වගේ ස්ථාන වෙතටත් සංචාරක ආකර්ෂණය හිමිවෙලා තියෙනවා. මීට අමතරව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඇතැම් ස්ථාන තියෙනවා සංචාරක ආකර්ෂණය ලැබෙන අන්දමට දියුණු කළයුතු. එමනිසා එවැනි ස්ථාන කෙරෙහිත් අවධානය යොමු කරමින් අපි මේ කටයුත්තේ නිරත වෙන්න අවශ්‍යයි.

සංචාරක කර්මාන්තය උදෙසා පුරාවිද්‍යාත්මක උරුමයන් භාවිතයට ගැනීම ඉතාමත් සැලකිලිමත්ව කළයුතු දෙයක්. මෙහිදී අප අවදානය යොමුකළ යුතු කරුණු මොනවාද?

සංචාරක කර්මාන්තය උදෙසා පුරාවිද්‍යාත්මක උරුමයන් භාවිතයට ගැනීමේදී අපේ අවධානය යොමුකළ යුතු කරුණු රාශියක් තියෙනවා. එයට හේතුව වන්නේ, කිසියම් පුරාවිද්‍යාත්මක උරුමයක් විනාශ වුවහොත් එයට ආදේශක නොමැති වීම. එමනිසා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයන්ට, වස්තූන්ට හානි නොවන අන්දමින් හෝ හානිය අවම වන අන්දමින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව අපි අවධානය යොමු කිරීමට අවශ්‍යයි. නිදසුනක් වශයෙන් පැවසුවොත්, සීගිරි චිත්‍ර නැරඹීමට දිනකට මිනිසුන් පන්සියයක් හයසියයක් පමණ ප්‍රමාණයක් පැමිණෙනවා. එය විශාල ගැටලුවක්. එයට හේතුව වන්නේ මිනිසුන්ගේ හුස්ම වැදීමෙන් පවා චිත්‍ර විනාශ වීමට ඉඩකඩ තිබීම. එහෙනම් අපිට සිද්ධ වෙනවා එය පාලනය කරන්න. මීළඟට අපි අවධානය යොමු කළයුතු කාරණාවක් වන්නේ අදාළ පුරාවිද්‍යාත්මක ස්ථානයට හෝ වස්තූන්ට ගැළපෙන ආකාරයෙහි සැලැස්මක් සකසමින් ඒවා සංචාරක කර්මාන්තය උදෙසා භාවිතා කිරීම. මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළොත්, ආගමික වශයෙන් වැදගත් වන පුරාවිද්‍යාත්මක ස්ථානයක් අසල සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් මත්පැන් විකුණුම් හලක් ඉදි කළොත්, එය නුසුදුසු ක්‍රියාවක් වෙනවා. ඒ වගේම තමයි ඇතැම් ස්ථාන තියෙනවා සංචාරකයන්ට ඔවුන්ගේ අභිමතය පරිදි හැඳ පැළඳ පවා යන්න නොහැකි. ඒ අවස්ථාවන්හිදී අපිට සිද්ධ වෙනවා එම ගෞරවය ආරක්ෂා කරන්න ඔවුන්ට උපදෙස් දෙන්න. ඒ කියන්නේ කිසියම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් සංචාරක කර්මාන්තය උදෙසා භාවිත කිරීමේ දී ස්ථානීය ගෞරවය ආරක්ෂා කර ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනෙ සත්‍යය මත පදනම් ව හිඳිමින් සංචාරක කර්මාන්තය සිදු කරගෙන යන්න. එපමණක් නෙවෙයි, මෙම කාර්යයේදී අප සැලකිලිමත් යුතු නීතිමය පසුබිමක් තියෙනවා. එනම් පුරාවිද්‍යා ස්ථාන අලුත්වැඩියා කිරීම, අලුත් කොටස් එකතු කිරීම, හුණු පිරියම් කිරීම ආදී කාර්යයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව සිදු කරන්න බැහැ. ඒ අදාළ පාර්ශ්වයන්ගෙන් නිසි අවසර ලබාගෙන නිසි අධීක්ෂණයක් යටතේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ.

පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව තිරසාර සංචාරක කර්මාන්තයක් බිහි කරලීමට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මේ වන විටත් ඉතාමත් සමීපව කටයුතු කරන ආයතන දෙකක්. මේ හේතුවෙන් එම දෙපාර්ශ්වය අතර යම්කිසි අවබෝධයක් ගොඩනැඟිලා තියෙනවා. මෙකී අවබෝධයත් සමග තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනංවා ගැනීම පහසු වෙනවා. එහිදී අපි සෑම විටම අවධානය යොමු කරන්න අවශ්‍ය කාරණාවක් තමයි සීමාකිරීම් කියන්නේ. මෙහිදී කිසියම් සංචාරක ස්ථානයකට පැමිණෙන පිරිස සීමා කරවමින් ඔවුන් වෙනත් සංචාරක ස්ථානයන් කරා යැවීමට කටයුතු කරන්න පුළුවන්. මා අදහස් කරන්නේ සංචාරකයන් අධෛර්යමත් කිරීම පිළිබඳව නෙවෙයි. මෙතනදි සිද්ධවෙන්නේ එකම පුද්ගලයෙක් එකම ස්ථානයකට කීප වරක් යනවා වෙනුවට ඒ ආසන්නයේ තිබෙන වෙනත් සංචාරක ස්ථානයන් වෙතට යොමු කරමින් සංචාරක ගමනාන්තයන් විවිධාංගීකරණය කිරීම. එය ඔස්සේ අදාළ ස්ථානයන්ට සිදුවන්නා වූ හානිය අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. මොකද පුරාවිද්‍යාව කියලා කියන්නේම පුරාණ පරිසරය ආරක්ෂා කර ගැනීමට. ඒ වගේම තමයි තිරසාරබව කියලා හඳුන්වන්නේ රටේ තියෙන හරිත වර්ණය සහ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කර ගැනීමටයි. එසේ නොමැතිව පරිසරය විනාශ කරමින් සංචාරකයන් උදෙසා යටිතල පහසුකම් නිර්මාණය කිරීම අරමුණු කරගෙන ගොඩනැගිලි ඉදිකරන එකට තිරසාර සංවර්ධනයක් කියන්න බැහැ. එනිසා පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව තිරසාර සංචාරක කර්මාන්තයක් බිහි කරලීමට අවශ්‍ය නම් ඉහත ආකාරයට ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙනවා.

පුරාවිද්‍යා ස්ථානයන් හී පුරාවිද්‍යාත්මක වටිනාකමට හානි නොවන පරිදි සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීමට ගතහැකි ක්‍රියාමාර්ගයක් මොනවාද?

වැදගත්ම දේ තමයි, අදාළ පුරාවිද්‍යාත්මක ස්ථානයන් සහ වස්තූන් තිබෙන ආකාරයෙන්ම තැබීම. එතකොට තමයි ඒවායේ ආකර්ෂණීය බව රඳා පවතින්නේ. අපි ඒ දේවල් වෙනස් කරන්න ගියොත් ඒ ආකර්ෂණය නැති වෙලා යනවා. නමුත් මෙතනදි ආකර්ෂණීය බව වැඩි දියුණු කිරීම යටතට අදාළ ස්ථානයන් අවට සෞඛ්‍යය, සනීපාරක්ෂක පහසුකම්, ආහාරපාන ලබාගැනීමේ පහසුකම් ආදිය සම්පාදනය කිරීමත් අයත් වෙනවා. නමුත් අපි ඒ දේවල් සිදුකළ යුත්තේ පුරාවස්තූන්ට හෝ ස්වභාවික පරිසරයට කිසිදු හානියක් නොවන අන්දමට. ආකර්ෂණීය බව වැඩිදියුණු කිරීමට සිදුකරන ක්‍රියාකාරකම් මගින් පුරාවස්තූන්ට හානි සිද්ධ වෙනවා නම් එම ආකර්ෂණීය බව තාවකාලිකයි. වර්තමානය වෙද්දි අපිට ඒ තත්ත්වය පැහැදිලිව දැක ගන්න පුළුවන්.

මේ ඔස්සේ උපයන්නා වූ ආදායම සංචාරක කර්මාන්තයෙහි මෙන්ම පුරාවිද්‍යාත්මක අංශයෙහි දියුණුව කෙරෙහි ඵලදායිව යෙදවිය හැකි ආකාර මොනවාද ?

පුරාවිද්‍යාත්මක ස්ථාන මගින් යම්කිසි මුදලක් උපයනවා නම් ඉන් නිශ්චිත ප්‍රතිශතයක් පුරාවිද්‍යා ස්ථානවලට සහ පුරාවිද්‍යාවේ දියුණුව සඳහා යෙදවීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පුරාවිද්‍යාත්මක පර්යේෂණයන් හී ප්‍රතිඵලත් සංචාරක කර්මාන්තයෙහි දියුණුවට බලපානවා. මේ නිසා පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණයට යම්කිසි මුදලක් යෙදවීමට අවශ්‍ය වෙනවා. මෙතැනදී පුරාවිද්‍යාවේ දියුණුවට පමණක් නෙවෙයි අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටි ප්‍රදේශවල ජනතාවටත් සැලකිය යුතු මුදල් ප්‍රතිශතයක් ලැබෙන්න ඕන කියන මතයේ මම ඉන්නවා. එයට හේතු වෙන්නේ ඇතැම් පුරා විද්‍යාත්මක ස්ථානයන්හි වටිනාකම රැඳී පවතින්නේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ මිනිසුන් තවමත් පැරණි ආකාරයෙන් ජීවත් වීම හේතුවෙන්. ඇතැම් ප්‍රදේශවල ජනතාවට හොඳ ගෙයක් දොරක් හදා ගන්නවත් ඉඩක් ලැබෙන්නේ හැනැ. එයට හේතුව ඔවුන් එහෙම කළොත් එමගින් අදාළ ප්‍රදේශයෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් සිද්ධවෙන නිසා. මේ හේතුවෙන් ප්‍රතිපත්තියක් ලෙසට එම ජනතාවට සංචාරක කර්මාන්තයෙන් උපයන මුදල් වලින් ප්‍රතිශතයක් ලැබීම අවශ්‍යයම දෙයක්.

ලාංකීය පුරාවිද්‍යාත්මක උරුමයන් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ප්‍රවර්ධනය උදෙසා ආයතනික මට්ටමින් දැනටමත් බොහෝ දේවල් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුරාවිද්‍යාව සහ සංචාරක ක්ෂේත්‍රයන් පිළිබඳව උනන්දු පුද්ගලයන් සමග සිදුකරන සාකච්ජා, මාධ්‍ය වැඩසටහන්, වෙබ් අඩවිය ආදිය මුල් කරගෙන සිදු කරන්නා වූ දැනුවත් කිරීම් වලත් අඩුවක් නැහැ. නමුත් ගැටලුව නම් මේ ක්‍රියා වලීන් තවදුරටත් ක්‍රමවත් වීමේ අවශ්‍යතාවක් පෙන්නුම් කිරීම. මේ කාරණාවේදී අප අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කාරණාවක් නම්, සංචාරකයන් අතර ප්‍රචලිත වූ පුරාවිද්‍යාත්මක ස්ථාන වගේම ප්‍රචලිත නොවූ පුරාවිද්‍යාත්මක ස්ථානත් ලංකාවෙ තිබෙනවා කියන දෙය. එවැනි ස්ථාන මුල්කර ගනිමින් සිදුකරන්නා වූ ප්‍රචාරණයන් තවදුරටත් වැඩි දියුණු වෙන්න ඕන. එපමණක් නෙවෙයි අපේ රටේ සෑම ස්ථානයකටම අදාළව ඒ වටා ගෙතුණු ඓතිහාසික කතාවක් තියෙනවා. එම කතාව මුල් කරගෙන අපිට ප්‍රචාරණ කටයුතු කරන්න පුළුවන්. මෙහිදී සංචාරක සාහිත්‍යයක් ගොඩනංවා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එය අනුරාධපුර, පොලොන්නරුවට පමණක් සීමා වෙලා තියෙනවා. නමුත් සංචාරක ස්ථාන කීපයකට සීමා නොවී සෑම සංචාරක ස්ථානයක් මූලික කරගෙනම සංචාරක සාහිත්‍යයක් ගොඩ නැංවීම ඉතාමත් වැදගත්. තවදුරටත් මේ පිළිබඳව කතා කළහොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති අවධියේ දී ශ්‍රී ලංකා පොළොවෙහි මිහිදන් වූ බොහෝමයක් විදෙස් ජාතිකයන්ගෙන් පැවත එන්නා වූ පිරිස් වෙනත් රටවල ජීවත් වෙනවා. ඒ නිසා ‘semester tourism’ වැනි සංකල්ප ඔස්සේ අපිට පුළුවන් ඔවුන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙතට යොමු කරවන්න.

පුරාවිද්‍යාත්මක උරුමයන් සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා භාවිත කිරීමේ දී සාමාන්‍ය ජනතාවට, වගකිවයුතු ආයතනයන්ට සහ සංචාරක ප්‍රජාව වෙතට පැවරෙන්නා වූ වගකීම කෙබඳුද ?

මෙම කාරණාවේදී මූලික වගකීම පැවරෙන්නේ ශ්‍රී ලාංකීය සාමාන්‍ය ජනතාවට. මොකද ඔවුන්ගේ ක්‍රියාකලාපයන් මත තමයි අපේ රටේ සංචාරක කර්මාන්තය රඳා පවතින්නේ. එහිදී සංචාරකයන්ට ගරු කිරීම, ආරක්ෂා කිරීම, විශ්වාසනීයත්වය ගොඩනැංවීම ආදී කාරණා පිළිබඳව සාමාන්‍ය ජනතාව සැලකිලිමත් වෙන්න ඕනේ. අද වෙනකොට අපේ රටේ රාත්‍රී 10.00ට 11.00 පමණ තනියෙන් ගමන් බිමන් යන්නවත් නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඒ වගේම තමයි සංචාරකයෙක් වෙළෙඳසලකට ගොඩ වැදුණත් ඔවුන්ට ඉතා වැඩි මුදලකට බඩු අලෙවි කරන පුද්ගලයන් ඉන්නවා. අපි මේ තත්ත්වයන් නැති කරලා, ශ්‍රී ලංකාව කියන්නේ ආරක්ෂිත ස්ථානයක්, ලාංකිකයින් කියන්නේ බොහොම අවංක, ආගන්තුක සත්කාරයට ලැදි පිරිසක් කියන විශ්වාසය සංචාරකයන් තුළ ගොඩනංවන්න ඕනේ. ඉන්දියානු කියමනක් තියෙනවා ‘සංචාරකයා දෙවියාය’ කියලා. සංචාරකයන් කියන්නේ අපේ රටට පැමිණෙන අමුත්තෝ. ඉතින් අපි අපිටත් වඩා ඉහළ මට්ටමකින් සංචාරකයින්ට සලකන්න ඕනි. ඒ වගේම තමයි ආයතනික වශයෙන් පැවරෙන්නා වූ වගකීම දෙසට අවධානය යොමු කළහොත්, සංචාරක අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතන වර්තමානයේ පවතින තත්වයටත් වඩා වැඩි ඒකාබද්ධතාවකින් යුතුව කටයුතු කරන්න ඕනේ. පුරාවිද්‍යාත්මක ස්ථාන හා සම්බන්ධ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී පුරාවිද්‍යාත්මක ස්ථානයන්ට සහ ඒවායේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි සංචාරකයින් විසින් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයකුත් තියෙනවා. ලංකාවේ සංස්කෘතිකයට, සම්ප්‍රදායට, නීතියට හානියක් නොවන ආකාරයට ඒවාට එකඟ වෙමින් කටයුතු කිරීම, පුරාවිද්‍යාත්මක ස්ථානයන්ට හානි නොවන ආකාරයෙහි ආකාරයෙන් හැසිරීම ඒ කාරණා අතරින් ප්‍රධාන වෙනවා.

නවෝදා හඳරාගම
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment