ආණ්ඩුව ජනමත විචාරණයකට සැරසෙයි…!

1207

නායයෑම් ජල ගැලීම්වලින් පිරි යහපත් කාලගුණයක් සහිත සතියක් ලෙස පසුගිය සතියත් ගෙවී ගියේය. දකුණු දිග නිරිත හා බස්නාහිර ප්‍රදේශවලට ජල ගැලීම් ඇති වුවද නැගෙනහිර, උතුර හා උතුරු මැද, වයඹ ප්‍රදේශවල ජනයාගේ ගොවිතැන්බත් පසුගිය කාලයේ ආලපාළු වූයේ ඒ පළාත්වලට මාස ගාණක් තිස්සේ බලපා තිබූ නියඟය නිසාය. එහෙත් පසුගිය සතියේ එම පළාත්වලට ද වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය. කොටින්ම කිවහොත් ඊසාන දිග මෝසමද සක්‍රීය වන්නට විය.

කෙසේ වෙතත් දකුණු, බස්නාහිර හා නිරිතදිග ප්‍රදේශවල දේශපාලනඥයෝ තම තමන්ගේ පළාත්වලට බලපා තිබූ ගංවතුර හා නායයෑම් උවදුරු නිසා කාර්යබහුලව සිටියහ. ඇතැම් දේශපාලනඥයෝ ඒ ප්‍රදේශවලටම වී ජනතාවගේ දුක සැප සොයමින් වෙහෙසුන බව ඇත්තය.

● පැනපු හැමෝටම වැඩේ වරදින ලකුණු

මේ අතරතුර කොළඹ දේශපාලන කරළිය උණුසුම් කළ කාරණා කීපයක් ද විය. ඒ අතරින් ප්‍රබලම කරුණ වූයේ වත්මන් ආණ්ඩුවේ පරිසර ඇමැතිවරයා ලෙස ක්‍රියාකළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නසීර් අහමඩ්ට සිය මන්ත්‍රීකම ඇතුළු තනතුරු සියල්ල අහිමි වීමයි.

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු වූ නසීර් අහමඩ් ආණ්ඩුව සමග එක්වී බලවත් ඇමැතිකමක් ද ලබාගත්තේ පක්ෂයේ මතයට පටහැනිවයි. පක්ෂය ඔහුව ඒ හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කර ඇමැති ධුරය ආපසු ලබා ගන්නට කල්පනා කළේය. ඒ අනුව නිදහසට කරුණු විමසා තිබුණේ මීට කලකට පෙර ය. එහෙත් නසීර් අහමඩ් ඊට අවනත නොවීය. එවිට ඔහුව පක්ෂයෙන් ඉවත් කළ විට ඔහු කළේ පක්ෂයේ තීන්දුවට එරෙහිව නීතියේ පිළිසරණ පැතීමයි. අවසානයේ මේ සඳහා ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද යන්නට සිදු විය. ශ්‍රේෂ්ඨාධිකරණය හේතු දෙකක් මත පක්ෂය ගත් තීන්දුව නිවැරදි බව තීන්දු කළහ. එකක් ඔහු නිදහසට කරුණු නොදක්වා සිටීමය. දෙවැන්න මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නේ උත්තරීතර මණ්ඩලය බවට වගන්තියක් ඔවුන්ගේ පක්ෂ ව්‍යවස්ථාවේම තිබීම ය. මේ බලවත් හේතු දෙක මත ශ්‍රේෂ්ඨාධිකරණය පක්ෂය ගත් තීන්දුව නිවැරදි බව කීවේය. අවසානයේ එම තීන්දුව මත නසීර් අහමඩ්ට මන්ත්‍රීධුරය හා ඇමැති ධුරය අහිමි විය. අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගැණින.

ඒ ප්‍රශ්නය එතකින් අවසන් වුවත් එය තවත් ප්‍රශ්න රාශියක ආරම්භයක් ලෙස ලාංකේය දේශපාලන කරළියේ සාකච්ඡාවට ලක්විය. නසීර් අහමඩ්ගේ සිද්ධිය පූර්වාදර්ශයක් ලෙස සලකා ඊළඟට කාගෙ කාගේත් තනතුරු අහිමි වේ දැයි කියා කතාබහ මන්ත්‍රීවරු අතර ඇති විය.

ඒ වන විට රතන හාමුදුරුවන්ගේ ප්‍රශ්නයද කරළියට පැමිණ තිබිණි. අධිකරණ තීන්දුව කුමක් වේ දැයි බොහෝ දෙනා බලා සිටියහ.

පසුගිය සති අන්තයේ මන්ත්‍රීවරු පිරිසක් මේ ගැන කතා කරන්නට බැසිල් රාජපක්ෂ හමුවන්නට ගොස් සිටියහ. ඊට පෙර ඔවුන් අතර මෙසේ කතා බහක් ඇති වූහ.

“මුස්ලිම් කොංග්‍රසය වගේම තමයි. අපේ පක්ෂයේත් ව්‍යවස්ථාවේම තියෙනවා අපේ ඡන්ද ලකුණෙන්, අපේ පක්ෂය යටතේ ඡන්දය ඉල්ලන සියලු දෙනාගේ වගකීම තියෙන්නේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයටයි කියලා. පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ මතයට පටහැනිව වැඩ කරන මන්ත්‍රීවරු 40ක් විතර ඉන්නවා. ඒගොල්ලන්ට මොකද කරන්නේ.”

“නෑ නෑ විමල් වීරවංශලාගේ පක්ෂයේ කට්ටිය ආවේ වෙනම ගිවිසුමකින්. එයාලට ආණ්ඩුව සමග එකට ඉන්න හෝ වෙන්වන්න අයිතිය ගිවිසුම අනුව තියෙනවා. එහෙම නැත්තෙ අර නාලක ගොඩහේවාලට. එතන 30ක් විතර ඉන්නවා. එයාලා කෙළින්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරු.”

“දැන් මේ පූර්වාදර්ශය ගත්තොත් හරීන්ලාට මනූෂලාට පවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමගි ජන බලවේගය නිකන් ඉන්න එකක් නෑ..”

මේ අයුරින් ඇතිවූ කථාබහෙන් පසු බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් හමුවී පක්ෂයේ මතයට පටහැනිව යන මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවරක් ගන්නැයි ඉල්ලා සිටියහ.

සතිඅන්තයේ ජනාධිපති රනිල් ද කාර්යබහුලව සිටියේය. ඊට එක් හේතුවක් වූයේ ඉන්දියානු සාගර කලාපයට අයත් රාජ්‍යයන් 28ක විදේශ අමාත්‍යවරුන් ලංකාවට පැමිණ සමුළුවකට සහභාගි වීමයි. ගාලු කතිකාව සාගර සමුළුව නමින් එය නම් කර තිබුණි. ඒ සමගම පරිසර අමාත්‍යවරුන්ගේ හමුවක් ද මේ සමුළුව තුළම පැවැත්විණි. ඒ අතරතුර ජනාධිපතිවරයා මඩකලපුව ප්‍රදේශයේ සංචාරයකට ද සහභාගි විය. සංචාරය අතරතුර ජනාධිපතිවරයා තමන්ට හිතවත් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට හොඳ උපදෙසක් දුන්නේය. තමන් සහභාගි වන උත්සව හා ක්‍රියාකාරකම් සඳහා ප්‍රචාරක කටයුතු කිරීමේදී සිය රූපය යොදා බැනර් කටවුට් පෝස්ටර් ආදිය සෑදීමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා කීය.

● රනිල් හමුවන්න බැසිලුත් ගිහිල්ලා

මේ අතරතුර සඳුදා දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවන්නට ජනාධිපති කාර්යාලට ගියේය. දෙදෙනා අතර පැවැත්වුණේ විශේෂ කරුණු කීපයක් අරභයා සාකච්ඡාවට ලක් වූ කථාබහකි. මේ අතර ප්‍රධාන තැනක් ගත්තේ නසීර් අහමඩ්ගේ නඩු තීන්දුවෙන් පසුව ඇතිවූ දේශපාලනික තත්ත්වයයි. ඊට පසුව නිර්මාණය වූ සමාජ දේශපාලන පරිසරය ගැන කරුණු කාරණා මෙහිදී ගැඹුරින් සාකච්ඡාවට ලක්විය.

දෙවැනි කාරණාව වූයේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ගෙන එන යෝජනාවයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර පාර්ලිමේන්තු ක්‍රමයකට බලය හුවමාරු කරන්නට මීට පෙරත් කීප වතාවක්ම යෝජනා පැමිණියේය. එහෙත් ඒ කිසිදු යෝජනාවක් යථාර්ථයක් වූයේ නැත. මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් පැමිණ තිබිණි. දැනට පවතින සමානුපාතික ක්‍රමය වෙනුවට මිශ්‍ර ක්‍රමයකින් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තේරීම සඳහා එහි යෝජනා තිබිණි. පාර්ලිමේන්තුවේ 225 න් කෙලින්ම 160ක් කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමයෙනුත් ඉතිරි 65 දෙනා ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව සමානුපාතික වත් තෝරන්නට එහි යෝජනා තිබිණි. ඒ ගැන ද දෙදෙනා අතර කරුණු කාරණා සාකච්ඡා වූහ.

ඒ අතර මේ දිනවල සමාජයේ කතාබහට ලක්ව තිබෙන තවත් විශේෂ කාරණාවක් ගැන බැසිල් ජනාධිපතිගෙන් කරුණු විමසීය. මේ ප්‍රශ්නය මතු වූයේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළින් පතුරුවා හරිමින් තිබූ එක්තරා ප්‍රවෘත්තියක් නිසා ය.

ප්‍රවෘත්තියෙන් කියැවුණේ ජනාධිපතිවරණයක් නොතබා ජනමත විචාරණයක් පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවකි. ජනමත විචාරණය විධායක ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය අතරය. කෙසේ වෙතත් මේ ආරංචිය රටේ ජනගත වූයේ ලබන වසරේ මැතිවරණ පැවැත්වීම කල් දැමීම සඳහා යොදන උප්පරවැට්ටියක් ලෙසයි. මේ උප්පරවැට්ටිය බැසිල්ගේ යෝජනාවක් ලෙස ද කතාව වැඩිදියුණු වී තිබිණි. බැසිල් මේ ගැන ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය…

● ජනාධිපතිවරණයද කළගෙඩි ලාම්පු සටනද…

“අපි මෙහෙම යෝජනාවක් ඔබතුමා වෙත ගෙනල්ල නෑ… ඒ වුණාට මේ වෙබ් අඩවිවල නිව්ස් එක යනවා. සෝෂල් මීඩියා ඒක අල්ලගෙන තව කතා ගොතනවා. කොහෙන්ද මෙහෙම නිවුස් එකක් ප්ලාන්ට් වුණේ..”

ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ එබඳු ප්‍රවෘත්තියක් තමන් හෝ තම මාධ්‍ය අංශය හෝ ජනාධිපති කාර්යාලය කිසි ලෙසකත් නිකුත් කර නැති බවයි. දෙදෙනා අතර සාකච්ඡාව තවත් කරුණු ගණනාවක් අරබයා එදින දිග්ගැස්සී තිබිණි.

කෙසේ වෙතත් පසුගිය සතිය තුළ මේ පිළිබඳ සමාජයේ ලොකු කතිකාවක් ඇතිවිය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජයේ යෝජනාව කැබිනට් පත්‍රිකාවක් මගින් එළියට පැමිණ තිබූ පසුබිමක ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වීමට අවශ්‍ය නීතිරීති සකස් කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ද අවශ්‍ය දැනුම් දීම කර ඇති බව වාර්තා විය.

මේ කතාබහ අතරේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නට වූහ. විශේෂයෙන් විමල් වීරවංශ මෙයට දැඩි විරෝධය එල්ල කරමින් කතා කළේය. ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ ආණ්ඩුව මේ සැරසෙන්නේ ජනතාවට තිබෙන පරමාධිපත්‍යය ජනමත විචාරණයක සිරකොට මේ රටේ පැවැත්විය යුතුව පවතින මැතිවරණ තවදුරටත් දිගින් දිගටම කල් දමා ගැනීමට බවයි.

● ලේකම් දයාසිරිට කැරට් අල විසඳුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ද පසුගිය සතියේ අලුත් ආරංචියක් පැමිණියේය. පසුගිය දිනවල මහලේකම්කමින් ඉවත් කෙරුණු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙනුවෙන් ලබා දෙන්නට නියමිත අලුත් වගකීමක් සම්බන්ධවයි.

දයාසිරි තවමත් විදේශගතව ය. වෙනදා නම් විදේශගත වූ විට මේ තරම් කාලයක් ගත කරන්නේ නැත. එහෙත් මෙවර ඔහු විදේශගත වී සති ගණනක් ඉක්ම ගොස්ය. තවමත් පැමිණෙන දවසක් ආරංචි මාත්‍රයක නැති ගාණය.

එහෙත් ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් පටන් ගෙන තිබූ සාකච්ඡාවල නම් කෙළවරක් නැත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය දිනවල පැවති සාකච්ඡා වට ගණනාවකදීම දයාසිරි වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද කියා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සාකච්ඡා කරමින් සිටියහ.

දයාසිරි පක්ෂය කඩාගෙන සමගි ජන බලවේගයට යන්නට යනවා යැයි කියා චෝදනා නැඟූ පිරිසක් ද වෙති. ඒ අයගේ මතය වූයේ දයාසිරිට දඬුවම් කළයුතු බවයි. පහුගිය දිනවල ඒ සඳහා චෝදනා පත්‍රයක් ද ඔහු වෙනුවෙන් සැකසුණු බව අපට මතකය.

ඒත් මේ සතිය වන විට තත්ත්වය තරමක් වෙනස් අතට හැරී තිබිණි. පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ගේ දැක්ම වූයේ දයාසිරි හදා ගත යුතු බවකි. ඔහුට මහලේකම්කමෙන් මෙපිට යම්කිසි වගකීමක් පවරා වැඩ කොටසක් ලබා දිය යුතු බව ඔහුගේ මතය විය.

ඒ අනුව දිගින් දිගටම සාකච්ඡා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ දයාසිරි වෙනුවෙන් උප සභාපති ධුරයක් ලබා දෙන්නට එකඟත්වය පළ කර සිටියහ.

එහෙත් ඒ වන විට ඊට බාධාකාරී වූ තවත් කරුණක් තිබුණි. පසුගිය දිනවල දයාසිරිගෙන් හිස්සුනු කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය පුරවන්නට පක්ෂයට අවශ්‍ය විය. පක්ෂයේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කරමින් ගොඩනැඟීමට දක්ෂ සංවිධායකයෙක් ඒ පැත්තට පිටින් යැවිය යුතු බව සාකච්ඡා වූහ. එහිදී යෝජනා වූයේ ලසන්ත අලගියවන්න කුරුණෑගලට යවා සංවිධායකයන් ඒකරාශි කර ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹීමටයි. එහෙත් ඔහු එහි යනවිට දයාසිරි ජයසේකර ඔහුට විරුද්ධත්වය පළ කරමින් එක්තරා වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි. වීඩියෝ පටයෙන් කියා තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා පක්ෂය විසින් පිටස්තරව එවන ලද කිසිදු පුද්ගලයකුට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධායකයන් සහාය නොදක්වන ලෙස ලෙස කරන ලද ඉල්ලීමකි.

මෙම වීඩියෝ පටය දුටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ප්‍රබලයෝ දයාසිරිට යම්කිසි තනතුරක් පිරිනමන්නට පක්ෂය ගෙන ඇති යෝජනාව නැවත සලකා බලන්නැයි ඉල්ලා සිටියහ. එහෙයින් දයාසිරිගේ උප සභාපතිකම තවමත් අනතුරේය.

මේ අතර තවත් පිරිසක් කීවේ දයාසිරිව නළවන්නට මේ පාර මෛත්‍රී කැරට් අලයක් දික් කරන්නට පටන්ගෙන ඇති බවයි.

● මියගිය ජැක්සන් නිදොස් කොට නිදහස්

පසුගිය සතියේ අපේ සමාජ දේශපාලන කරළියේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ අසහාය කලාකරු ජැක්සන් ඇන්තනීගේ මියයෑමයි. එය මේ රටේ පොදු ජනතාව තුළ යම් තිගැස්මක් ඇති කළ වියෝවක් වූහ.

මීට අවුරුද්දකුත් මාස තුනකට පමණ පෙර ජැක්සන් ඇන්තනී චිත්‍රපටියක රූගත කිරීම් කරමින් සිටින අතරතුර දී බරපතළ අනතුරකට මුහුණ පෑවේය. අනතුරින් සුසුම්නාවට දැඩි හානි සිදුව තිබූ බැවින් ශල්‍යකර්ම කිහිපයකට බඳුන් විය. ශල්‍යකර්මය සාර්ථක ලෙස නිම වීමෙන් පසු ඔහු කොළඹ මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සත්කාර ලබමින් සිටින අතර තවත් හදිසි හෘදයාබාධ තත්ත්වයකට මුහුණ පෑවේය. මේ නිසා දිගින් දිගටම දැඩිසත්කාර ඒකකයේ සිටින්නට ජැකාට සිදුවිය.

එහෙත් මේ රටේ යම් යම් දේශපාලන කණ්ඩායම්වල උත්තේජනය ලද සමාජ මාධ්‍යකරුවන් පිරිසක් මේ සඳහා විරෝධය පෑමක් ආරම්භ කළහ. ජැක්සන්ව දිගින් දිගටම දැඩිසත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කිරීම රාජපක්ෂවරුන්ගේ බලහත්කාරයක් යැයි අර්ථ ගන්වමින් ඔවුහු ජැක්සන් සම්බන්ධයෙන් විවිධ පුවත් හා මතවාද සමාජ මාධ්‍ය හරහා මුදාහරින්නට වූහ. ඒ තුළින් ජනතා අප්‍රසාදය ජැක්සන් කෙරෙහි යොමු කරවන්නට මේ පිරිස නොගත් උත්සාහයක් නැති තරම්ය.

අවසානයේ දින 450 ක පමණ කාලයක් ඇවෑමෙන් පසුගිය සඳුදා ජැක්සන් සදහටම දෙනෙත් පියා ගත්තේය.

ජැක්සන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ලක්ෂ සංඛ්‍යාත රසවතුන් පිරිසක් ජයරත්න මල් ශාලාවට හා රාගම පිහිටි ඔහුගේ නිවසට ඇදී ආහ. අවසන් කටයුතු රාගම දෙව්මැඳුරේ සිදුකරන අතරතුර මහාචාර්ය සුනිල් ආරියරත්න හරි අපූරු කතාවක් කළේය. එහිදී ඔහු ජැක්සන් නිදොස් කොට නිදහස් කළේ මෙතෙක් දිනක් සමාජ මාධ්‍යකරුවන් පිරිසක් විසින් සංවිධානාත්මකව ජැක්සන් ඇන්තනී නම් මිනිසාට එල්ල කළ අභූත චෝදනා සියල්ලට ම නිසි පිළිතුරු ලබා දෙමිනි.

සමාජ මාධ්‍යකරුවන් පිරිස ජැක්සන්ට එරෙහිව බොරු හතක් සමාජගත කළ බව මහැදුරු සුනිල් කීවේය. පළමු බොරුව මහින්ද රාජපක්ෂ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් යැයි ජැක්සන් කීවා යැයි කියන කතාවය. ජැක්සන් කිසිම දිනක කොතැනකදීවත් එසේ කියා නැති බව සුනිලුත් ඔප්පු කළේය. ඔහු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් රජ කරවීමට වන්දිභට්ටකම් කර අසාමාන්‍ය ලෙස මුදල් උපයා ඇතැයි කියන චෝදනාවට ද උත්තර දුන්නේය. ජැක්සන් ගේ නිවස ඔහු විසින් මුදල් ගෙවා ලබාගත් ඉඩමක ණය වී සාදාගත් නිවසක් බව කීවේය. ඔහු සතු එකම වාහනය ලක්ෂ 12 ක මුදලකට ලබාගත් මියෙන තුරා පදින ලද කැබ් රථය පමණක් බව කීවේය.

මේ සියල්ලට වඩා වටිනා කතාව අවසානයේ කීවේ ජැක්සන්ගේ පුත් සජිත් ඇන්තනීය. ජැක්සන් මියයන තුරා හුස්ම ගත්තේ ජැක්සන් ගේ පවුලේ අය හා ඥාති හිතමිත්‍රාදීන් මුදල් වියදම්කර රෝහලට පරිත්‍යාග කළ හුස්ම ගැනීම පහසු කරවන ventilation යන්ත්‍රයෙන් බව කී සජිත මේ යන්ත්‍රය ජැක්සන් ගෙනගියේ වත් ඥාතීන් ගෙදර ගෙනාවේවත් නැති බව කීවේය. එය තවත් අවුරුදු පහළොවක් විස්සක් දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය රෝගීන්ට සහන සලසනු ඇතැයි හේ පෙන්වා දුන්නේය.

● සන්ධාන හදන්න ක්‍රිකට් උපදෙසක්

මේ අතර පසුගියදා කොළඹ පිහිටි හෝටලයකදී දේශපාලනයට සම්බන්ධ ජනප්‍රිය ක්‍රිකට් තරු කිහිපදෙනකු සහ නිමල් ලන්සලාගේ නව සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පැවැත්වුණි. මේ අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා සහ සුගීශ්වර බණ්ඩාර එක්ව සිටියහ. ක්‍රීඩාව සහ නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ඊට අමතරව දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැනද සාකච්ඡා කර ඇත.

“ඇමතිතුමා… හුඟාක් අය සන්ධාන හැදුවා, ඉස්සරහටත් හදයි, ඔබතුමාලගේ සන්ධානේ ගැන නිතරම කතාවෙනව කියල අපිට පේනවා, නිකම්ම නිකන් සන්ධානයක් වගේ හදන්න නම් එපා. එහෙම උනොත් ආවට වඩා වැඩි වේගයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරයි ” හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ලන්සා සහ අනුර දෙස බලමින් කිවේය.

“නෑ නෑ අපි මෙච්චර කල් පිම්බුවේ චරිත ඒක ජනතාව ප්‍රතික්ෂේප කළානේ” අනුර යාපා එසේ කියද්දී ලන්සා කිවේ “මෙදා සැරේ අපි දිනවන්නේ වැඩපිළිවෙළක්, අපි කණ්ඩායමක් විදිහට ඒකට වැඩ කරනවා” කියාය.

“අපේ කට්ටියගේ සහයෝගය දෙන්නම් ඔබතුමාලගේ වැඩ පිළිවෙළ ගැන අපෙත් පැහැදීමක් තියනවා” දකුණු පළාත නියෝජනය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කිවේය.

“ඒක අපේ වැඩපිළිවෙළට වටිනවා” සුගීශ්වර කීවේය.

“දැන් මොකද මේ ක්‍රිකට්වලට වෙලා තියෙන්නේ” ලන්සා සිනාසෙමින් විමසීය.

“ඒ ගැන කතා කරන්න එපා ඇමැතිතුමා, අපිත් ක්‍රිකට් ගහපු අය ඒත් අද ක්‍රිකට් ගැන ඇහුවම අපිටත් කලකිරෙනවා” හිටපු ක්‍රීඩකයකු කීවේ මුහුණ ඇඹුල් කර ගනිමිණි.

මේ අතර පොහොට්ටුවේ ප්‍රබල වෘත්තීය සමිති නායිකාවක් ලෙස කටයුතු කළ පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පසුගිය බදාදා පෙරවරුවේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඇතුළු පක්ෂයේ පිරිසක් හමුවී පැවති සාකච්ඡාවකින් අනතුරුව නව සන්ධානයට එක්ව තිබේ.

ඒ සඳහා එම සංගමයේ දිස්ත්‍රික් සංවිධායකයින් 12 දෙනෙක්ද එක්ව සිටියහ.

මෙපමණ කාලයක් නොවිසඳුණු ගැටලු කිහිපයක් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විදේශගතව සිට පැමිණීමෙන් පසු හමුවී විසඳා දෙන බව නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොරොන්දු විය.

අනතුරුව වත්මන් දේශපාලන තොරතුරු ගැන ද පිරිස කතාබහ කළහ.

“මම ඇමැතිතුමා හම්බෙනවා කියල නෙලුම් මාවතට ආරංචි වෙලා කෝල් පිට කෝල් ගහනවා, මට අසාධාරණයක් උනාලු, ඒත් මේ වෙලේ දාල යන්න එපා කියනවා ආපහු එන්නලු” හඳපාන්ගොඩ කීවාය.

“නව සන්ධාන හදාගෙන යන අයටත් වෙන්නේ නසීර් අහමඩ්ට වෙච්ච දේ කියලත් මට කිව්වා.” හඳපාන්ගොඩ කීවාය.

“ජනතාවගේ නැගිටීම තමයි මේකට හේතුව, ජනතාවගේ සිතුම් පැතුම් අපි තේරුම් ගත යුතුයි, පක්ෂයක් වැරදි වැඩ කරනකොට තවදුරටත් ඒකේම එල්ලිලා ඉන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය. අපි ඔය එක එක අයගේ කටවල්වලට බයේ නම් වැඩ කරන්නේ නෑ” ලන්සා කීවේය.

“නසීර්ට වෙච්චදේ කොහොමද වෙන්න, පොහොට්ටුවට ව්‍යවස්ථාවක් තියෙන්න එපැයි, කෝ මධ්‍යම කාරක සභාවක්, කෝ සමස්ත ලංකා කාරක සභාවක්, අර සභාපති හාමුදුරුවෝ නමට ඉන්නවා, දෙන්නෙක් තුන්දෙනෙක් අතේ තියන පක්ෂයක්නේ ඒක” සිරිපාල අමරසිංහ මහතා කීවේය.

● හිටපු ජනාධිපති නිල්මිණිගෙන් මධූ ගැන අහලා

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් හවුස් වෙත ගියේය.

සුගීශ්වර බණ්ඩාර මහතා ද මීට එක්විය. ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය ඇතුළු දුවා දරුවන් සමඟ රාජපක්ෂ මහතා ශෝකය බෙදා ගත්තේය.

ඒ අවස්ථාවේ පැමිණ සිටි කලාකරුවන් බොහෝ දෙනෙකුද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කතාබහ කළ අතර නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිනියද පැමිණියාය.

“කොහොමද නිල්මිණි, කෝ මධු” රාජපක්ෂ මහතා විමසීය.

නිල්මිණි සිනාසුනා මිස ඊට පිළිතුරු නොදුන්නාය.

● රාජයෝගයක් හින්දා වෙච්චි දෙයක්

පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයකු වන රවි කරුණානායක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එක්තරා විශේෂ යෝජනාවක් ගෙන ආවේය. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වේගවත් කර නායක රනිල් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේදී පක්ෂය ශක්තිමත් ව සංවිධානය කිරීමට නම් දැනට තිබෙන තනතුරුවල පුළුල් වෙනසක් ඇති කළ යුතු බව ඔහුගේ අදහස විය.

තමන්ට මේ සඳහා මහ ලේකම්කම හෝ නියෝජ්‍ය නායකකම ලබා දෙන්නැයි රවි මෙහිදී යෝජනා කර තිබුණි. මෙයට උත්තර දුන් පක්ෂ නායක රනිල් රවිට මෙසේ කීවේය.

හරි… අපි මේක මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරමු. ඔයත් එන්න. අනිත් අයත් ඒවි. අපි මේක එතනට දාලා බලමු…

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ රැස්වීම පටන් ගන්නට පෙර මධ්‍යම කමිටුවේ විශේෂ රැස්වීමක් රනිල් විසින් කැඳවන ලදි. මේ සඳහා පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පැමිණෙන්නට ප්‍රමාද වූයේ ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැස්වීමකට සහභාගි වී ගමන ප්‍රමාද වී තිබූ නිසාය. ඔහු එන්නට පෙර රනිල් සාකච්ඡාව පටන් ගත්තේය.

ඒ අනුව රුවන්, සාගල, වජිර සහ අකිල යන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එම හමුවට සහභාගී වී සිටියේය. මෙහිදී කතා බහ අරඹමින් රවි කරුණානායක කියා ඇත්තේ තමාට වැඩ කිරීමට නම් තනතුරක් අවශ්‍ය බවයි. නියෝජ්‍ය නායකකම හෝ මහ ලේකම් ධුරය ලබා දුනහොත් තමාට වැඩ කරන්නට හැකි බවද රවි කියා ඇත.

එහිදී වජිර කියා ඇත්තේ මෙපමණ කලක් පක්ෂයේ වැඩ කටයුතු හොඳින් කරගෙන ආ බවයි.

ජනපති මහජන ඡන්දයකින් දිනවන්නට අපට හැකියාව නොලැබුණු නමුත් මේ වන තෙක් පක්ෂ නිලධාරීන් ඉතා හොඳින් වැඩ කටයුතු ඉදිරියට මෙහෙයවමින් සිටින අතර තනතුරු වෙනස් කිරීමේ කිසිම උවමනාවක් පැනනගින්නේ නැති බවද වජිර කීය.

සාගල රත්නායක මෙහිදී අදහස් දක්වමින් කියා ඇත්තේ කවුරුත් කර ඇර ගිය වෙලාවේ ඉතිරි වූයේ ඉතා සීමිත පිරිසක් පමණක් බවයි. සිරිකොත වැඩ කටයුතු ද ඉතා හොඳින් කරගෙන යන අතර මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ද රටවටා යමින් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ කරට ගෙන උනන්දුවෙන් කරගෙන යන බව සාගල පවසා ඇත. පක්ෂයේ විනය ද ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන බවත් මේ මොහොතේ තනතුරු වෙනසක අවශ්‍යතාවයක් තමා නොදකින බවත් සාගලගේ අදහස වී තිබේ.

සාගලගේ අදහස අනුමත කරමින් රුවන් විජයවර්ධන ද පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සඳහා තමා රට වටේ යෑම අරඹා තිබෙන බවත් තනතුරු තිබුණත් නැතත් පක්ෂය වෙනුවෙන් කළ යුතු දේ සිදු කරන බවත් සඳහන් කළේය.

රුවන් සමග එකතු වී තමාද පක්ෂය ගොඩ ගැනීමේ වැඩසටහන මෙහෙයවන බව අකිල විරාජ් එහිදී සඳහන් කළේය.

පක්ෂයේ සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික මතයට ඇහුම්කම් දෙමින් රවි නිහඬවම සිට තිබේ.

රංගේ මේ රැස්වීම අවසන් වන විට එතනට ආවේය.

“ඔයා දන්නවද දැන් මෙතන සිද්ධ වෙන්න ගියපු දේ… තව ඩිංගෙන් මහ ලේකම්කමයි නියෝජ්‍ය නායකකමයි දෙකම නැතිවෙනවා.”

“මට ආරංචියි මගට… ගාල්ල පැත්තේ සාස්තරකාරයෙක් එයාට කියලලු එයාට ප්‍රබල

රාජයෝගයක් තියනවා කියලා. ඒකයි ඔය තනතුරු ඉල්ලන්නෙ.. කියමින් රංගේ කළමනාකරණ මණ්ඩල රැස්වීම වෙත ගොස් ඇත.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment