දඬුගමදී වෙඩි පත්තුවෙයි

358

අයකුට බරපතළයි

ජාඇල පොලිස් වසමේ දඩුගම මස්වත්ත ප්‍රදේශයේදී ඊයේ (09) සවස 6.00 පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ 47 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ජාඇල පොලිසිය පවසයි.

දඬුගමදී වෙඩි පත්තුවෙයි
වෙඩි තිබීම සඳහා සැකකරුවන් පැමිණි අයුරු අසල CCTV කැමරාවක සටහන්ව තිබූ අයුරු.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ දඩුගම ප්‍රදේශයේ පදංචි එරප්පුගේ මංජුල සරත් ප්‍රනාන්දු නැමති අයකු බව පොලිසිය සඳහන් කරයි. මේ වනවිට ඔහු රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බව රාගම රෝහල් පොලිසිය සඳහන් කරයි.

CT 100 වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ සවස 6.00ට පමණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකොට පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් මත ඇතිවූ ප්‍රශ්නයක් හේතු කොට ගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇති බවත් වෙඩි වැදී රෝහල්ගතව ඇති පුද්ගලයාද තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකු බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ වෙඩි වැදුන පුද්ගලයා සමග සිටි තවත් තරුණයෙක් ඒ අසල වැසිකිලියක සැඟව වෙඩි පහරවලින් ආරක්ෂාවී ඇති බවද මෙහිදී හෙළිව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අදාළ වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා පිළිබඳ තොරතුර පොලිසියට මේ වන විට ලැබී ඇති බවත් වෙඩික්කරු සොයා විමර්ශන කටයුතු සිදුකර ගෙන යන බවත් ජාඇල පොලිසිය පවසයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය බුද්ධි අංශය සමග එක්ව ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා මහතා පුමුඛ නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.

බී. ටී. කොටින්කඩුව – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment