පෙර පාසල් ගුරුවරියගේ ගෙල කපා මරලා: පැරණි පෙම්වතා ගැන සැකයක්

772

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ පෙර පාසලක පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගිවීම සඳහා යමින් සිටි සුරූපී පෙර පාසල් ගුරුවරියක ඊයේ (07 දා) පෙරවරුවේ මහමගදී සාහසිකයකු විසින් ගෙල කපා ඝාතනය කර ඇත.

මෙම සිදුවීමෙන් පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයම කම්පාවට පත්ව ඇත. පෙර පාසල් ගුරුවරිය මීට පෙර ඇසුරු කළ පෙම්වතකු විසින් මෙම සාහසික අපරාධය කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි අංජලී චාපා නමැති පෙර පාසල් ගුරුවරියකි.

පෙර පාසලේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවය සඳහා යෑමට පෙර පාසල් ගුරුවරිය ඊයේ උදෑසන නිවසින් පිටවී තිබේ. ඇය ගිනිහේන සුසාන භූමිය අසල මාර්ගය ඔස්සේ පා ගමනින් යමින් සිට ඇත.

ඒ අවස්ථාවේ පෙර පාසල් ගුරුවරිය විවාහ වීමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයා දුරකථනයෙන් කතාකර තිබේ.

ඇය සිය පෙම්වතා සමග දුරකථනයෙන් කතා කරමින් සිටියදී එක්වරම ඇය වෙත කඩා පැන ඇති සාහසිකයා ගෙල තියුණු ආයුධයකින් කපාදමා පළාගොස් තිබේ.

බරපතළ තුවාල සහිතව බිම වැටී සිටි පෙර පාසල් ගුරුවරිය ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කර ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම සාහසික අපරාධය සිදුකළ සැකකරු ඊයේ සවස් වන තුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පේරාදෙණිය පොලිසිය විමර්ශන පවත්වයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment