අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී  මෙරට විවිධ අපරාධ කරන අය අත්අඩංගුවට ගැනීමට උදර්පන ගිවිසුම වැදගත්

268

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට විවිධ අපරාධ මෙහෙයුම් සිදුකරන පාතාලයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනඒමට දෙරට අතර අත්සන් කර ඇති උදර්පන ගිවිසුම ඉතා වැදගත් බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ විය.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව පක්‍ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදුකරන විශේෂ ප්‍රකාශ සිදුකිරීම හා ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.

පසුව ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන ගිවිසුම හා 1977 අංක 8 දරන උදර්පන නීතියේ 3 වන වගන්තිය සංශෝධනය හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය පිළිබඳ විවාදයන් ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

ශ්‍රී ලංකාව විවිධ උදර්පන නීතින් වලට ඇතුළු වී ඇත. විවිධ රටවල යෝජනා යටතේ මෙවැනි ගිවිසුම් අත්සන් කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර උදර්පන ගිවිසුමක් අත්සන් කළ අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

මෙම ගිවිසුමෙන් රටවල් දෙකටම අසාධාරණ පවතී. එනිසා ගිවිසුම ඒ රට වෙනස් කර ඇත. දෙරටේ වැදිකරුවන් ඒ ඒ රටවල සැඟවී සිටීම වැළැක්වීමට නීති සංශෝධනය කෙරෙනවා. ලංකාවේ සාපරාධී වැරදි කළ පුද්ගලයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකවරණය ලබා ඇති බැවින් ලංකාව හා එමීර් රාජ්‍යය අත්සන් කර ඇති උදර්පන ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැදගත්. මෙම ගිවිසුම බලාත්මක වීම සඳහා උදර්පන නීතියේ විධිවිධානවලට යටත්ව විදේශීය රාජ්‍යයන් ද අදාළ වන බව පනතේ 03 වන වගන්තියේ නියමයන් ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇත.

එමීර් රාජ්‍යයේ සැඟවී සිට අපේ රටේ විශාල මෙහෙයුමක් පාතාලයට සම්බන්ධ පිරිසක් සිදුකරන බවට තොරතුරු තිබෙනවා. ඒ ගැන නීතිය ක්‍රියාත්මක කරවීම, ඔවුන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් ලංකාවට උදර්පනය කරවා ගැනීමට මෙම පනත ඉතා වැදගත්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

සියලු රටවල් සමඟ ගිවිසුම් අත්සන් කර සැඟවී සිටින අපරාධකරුවන් ඇල්ලීම හොඳයි. රටවල් අතර ගිවිසුම් අත්සන් කළත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා ද සැකයි. දූෂණ වංචාවලට ශක්තිමත් නීතියක් නැති නිසයි රට කඩාවැටී තියෙන්නේ.

රටේ නීතිය සාධාරණ නොවී වැරදිකරුවන්ට නීතිය ශක්තිමත් නොකර වෙනත් රටවල වැරදිකරුවන් ගේන්නෙ කොහොමද?

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය (ශ්‍රීලපොපෙ)

ජාත්‍යන්තර සබඳතාවේ වැදගත්කම තේරුම් ගත යුතුයි. ජාත්‍යන්තරයට අපහාස වන ආකාරයට කතා කරනවා. අපරාධකරුවන් අපට පිටරටින් ගේන්න පුළුවන් ආකාරයට නීති සකස් කරගත යුතුයි. ජාත්‍යන්තර සම්බන්ධකම් නැති නිසයි රටට මේ වගේ කාලයක් උදාවී තියෙන්නේ. අපට තෙල් දුන්නේ ඉන්දියාව. ඉන්දියාවට පහර ගහනවා. චීනයට පහර ගහනවා. එය වැරදියි.

පත්කළ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

රටේ ප්‍රශ්න ඇතිවී තියෙන්නේ නීති මදිකමින් නොවෙයි, නීති ක්‍රියාත්මක නොවීම නිසයි. මහ බැංකු වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන බවට කීවත් තවම ගෙනාවෙ නැහැ. පුරවැසියන්ගේ අයිතිවාසිකම් හෝ නීතිය ගැන හිතලා නොවෙයි නීති ක්‍රියාත්මක වන්නේ. තමන්ගේ පැවැත්ම ගැන හිතලයි නීතිය ක්‍රියාත්මක වන්නේ.

ප්‍රශ්න මතුකරන අයට විරුද්ධව ක්‍රියා කරනවා මිස ප්‍රශ්නවලට විසඳුම් සෙවීමක් ආණ්ඩුව සිදු කරන්නෙ නැහැ. මතුකරන හැම ප්‍රශ්නයකටම ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය ඉතාම පිළිකුල් සහගතයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත

උදර්පන ගිවිසුම් අත්සන් නොකළ රටවල් පවතිනවා. අප රටේ නීතිය හා සාමය කැපවීම පිළිබඳ ලොව රටවල්වලට දැනෙන ලෙස කටයුතු කළ යුතුයි. රටට හානියක් කළ අය රටට ගෙන්විය හැකියි වගේම රටේ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ආ හැකි බව පෙන්විය යුතුයි.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස:

අද පොලිසිය හා ආරක්ෂක අංශ නිසයි පාර්ලිමේන්තුව රැකිලා තියෙන්නේ. පොලිසියට විවිධ තර්ජන අභියෝග පවතිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුන්ගෙනුත් පොලිසියට තර්ජන. සරත් ෆොන්සේකා පොලිසියට තර්ජනය කළා. පොලිසිය නැති නම් රටත් ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ.

අරගල කාලයේ පොලිසිය විශාල ලෙස පරිභවයට ලක් වුණා. ඔවුන්ට නිසි වැටුපක් නැහැ. මොන ප්‍රශ්න තිබුණත් වැඩ වර්ජන උද්ඝෝෂණ කළේ නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (සජබ)

පොලිසිය පීඩනයට ලක් කළේ මේ ආණ්ඩුවයි.

උදර්පන නීති හදන්න යනවා තියන නීති පනතත් හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල දරුවන්ට මහ පාරේ ගහනවා. ඒත් මහ පාරේ මිනී මරනවා ඒවා ගැන හොයන්න නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන් ගෙන්වන්න. ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් (සජබ)

විදේශ රැකියා දෙන ශ්‍රමිකයන් යවන ඒජන්සිකරුවන් විවිධ පොරොන්දු දී රැකියාවලට පිරිස් යවනවා. ගිය විට කියපුවා කිසිවක් නැහැ. මේ ගැන රජය මැදිහත් වී යම් නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වීමට හැකි පරිදි සිංගප්පුරුවත් සමග උදර්පන නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි.

(සංශෝධන සම්මත විය)

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙනවා.

ආංශික අධීක්ෂණ කාරක සභා 19 ක් පිහිටුවන්න තීරණයක් ගෙන තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයේදී මහජන අදහස් පුළුල් ලෙස ලබාගෙන වඩාත් හොඳ ප්‍රතිපත්ති සකස් කිරීමට රජයේ අරමුණ වී තිබෙනවා. තරුණ නියෝජිතයන් 5 දෙනකු කාරක සභාවට තෝරා ගත හැකියි.

අරගල උද්ඝෝෂණවල සවන්දීම රජයේ වගකීමක්. ඒ නිසා ඒ තරුණ හඬ කාරක සභාවලට එක් කරගෙන තීන්දු තීරණ ගන්නවා. මේ කාරක සභාවල සභාපති ධුර නිලතල නොදරපු මන්ත්‍රීවරු 19 කට හිමි වෙනවා. යම් කැබිනට් තීරණයක් ක්‍රියාත්මක කිරීමේදී ඒ තීරණය ආංශික අධීක්ෂණ සභාවට ඉදිරිපත් කර සුදුසු පරිදි ප්‍රතිපත්ති සකස් කිරීම සිදුවෙනවා.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

කෝප් සභාවේ සභාපති ඡන්ද විමසීමට සූම් තාක්ෂණයෙන් ඡන්දය ලබා දීමට ඉඩ දෙන්න. අපේ පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් රට ඉන්නේ. මේ ගැන සලකා බලන්න.

කෝප් හෝ කෝපා වාර්තා ඉදිරිපත් වූ පසුව පාර්ලිමේන්තුවේ අවසරය මත නීතිපතිව යොමු කරන්න. පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. එය හොඳ තත්ත්වයක්. මේ දක්වා ඒ වාර්තාවලට නිසි දෙයක් සිදු වූයේ නෑ.

ප්‍රමාද වී හෝ අධීක්ෂණ කාරක සභා පිහිටුවීම හොඳයි. අපි එදා ඇති කරපු අධීක්ෂණ කාරක සභා අහෝසි කළා. 20 වන සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුව පාර්ලිමේන්තුවට බලය පෙන්නුවා.

පාර්ලිමේන්තුවේදී අපි කිව්වා ආර්ථිකයට ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඒවා ආණ්ඩුව ගණන් ගත්තෙ නැහැ. මුල්‍ය අරමුදලට යන්න කීවත් ගියේ නැහැ. එදා ගියා නම් අද මෙවැනි ප්‍රශ්න ඇති වන්නේ නැහැ. විපක්ෂයට කමිටු මුල් පුටු දුන්නා නම් මේ ප්‍රශ්න එදාම හෙළි වෙනවා. ඒත් ආණ්ඩුව ගණන් ගත්තෙ නැහැ.

අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තුව විනිවිදතාවයකින් හා වගකීමෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වන බව පෙන්වීමට එය හොඳ අවස්ථාවක්.

ප්‍රතිපත්ති සම්පාදනය කිරිම හා නීති සම්පාදනය, මුල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත්. පාර්ලිමේන්තුව තුළ භාෂණයේ නිදහස තිබෙනවා. ඒක නැත්නම් රටේ ප්‍රශ්න කතා කරන්න බැහැ.

උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු හා කතාබහත් උත්තරීතරව විය යුතුයි. ඊට සියලු දෙනා කැපවිය යුතුයි.

පත් කළ මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන (ශ්‍රීලපොපෙ)

කමිටු ක්‍රමය යළි ඇති කරන්න හැකිවීම ගැන සතුටුයි. කමිටු ක්‍රමය ශක්තිමත්ව ක්‍රියාත්මක වූ කාලයේදී හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකි වුණා. ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කර ගත හැකි තත්ත්වයකට කමිටු ක්‍රමය පත් කර ගත යුතුයි. එයින් පමණයි මේ කරන සංශෝධනවල සාර්ථකභාවය පවතින්නේ.

පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් (සජබ)

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු සඳහා පාර්ලිමේන්තුව යොදා ගත යුතුයි. රටේ ඉතිහාසයේ හර්තාල් තිබුණා. සත්‍යග්‍රහ තිබුණා. නමුත් ඒ ආණ්ඩු වෙනස් අදහස් දරන අය පුනරුත්ථාපන කඳවුරුවලට ගාල් කළේ නැහැ. 88/89 පුනරුත්ථාපන කඳවුරු ඇති වුණා. යුද්ධයෙන් පසුව පිළිගත් ක්‍රමවේදයට ගියා. ඒත් අද පුනරුත්ථාපනය කටයුත්තේදී ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් යෙදවිය යුතු බව කියනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. වෙනස් අදහස් දැරීමට ගරු කරන්න සරසවි සිසුන්ට නිදහස් අදහස් දරන්න පුළුවන් විය යුතුයි. වසන්ත මුදලිගේ රෑට එළියට ගෙන යනවා.

මානව හිමිකම් ඡන්දයේදී ලංකාව ඉතා අසරණ තැනට පත් වෙනවා. ලොව ඉදිරියේ අපේ රට හුදකලා කරන්න එපා. ජනතාව පීඩාවට පත් වන්න තවත් ඉඩ තබන්න එපා. පාර්ලිමේන්තුව තුළ තරුණ නියෝජනයට ඉඩ තබන්න. තරුණ හඬට ඉඩ ලබා දෙන්න.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නිවේදන සංශෝධන සහිතව සම්මත විය. උදර්පන නීති සංශෝධන, සංශෝධන රහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (06 දා) පෙරවරු 9.30 ට යළි රැස්වෙයි.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment