පොලිස් සිර මැදිරියේ සිටි දෙදෙනාට වස මිශ්‍ර කිරි දුන් 7ක් අල්ලයි

607

දීපු අයයි බීපු අයයි හැමෝම එක කල්ලියේ

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළ සැකකරුවන්ට ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේදී වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ගම්පොල පොලිස් කොට්ඨාසයේ ගලහ දෙල්තොට ග්‍රේඩ්වැලි වත්තේ නිවසක සැඟවී සිටියදී ආදුරුප්පු වීදියේ පොලිස් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හත්දෙනා අතර ගෙහිමියා ඇතුළු පිරිමි පුද්ගලයන් පස්දෙනකු ද හා කාන්තාවන් දෙදෙනකුද සිටින බව පොලිසිය පවසයි.

පොලිස් සිර මැදිරිය වෙත රැගෙන යන ලද කිරි පැකට්වලට සයනයිඩ් මිශ්‍ර කර තිබූ බවට පැවසෙන අතර සැකකරු එම කිරි පැකට් වෙළෙඳ සලකින් ලබා ගන්නා ආකාරය සීසීටීවී දර්ශනවල තිබී හඳුනාගෙන තිබුණි. මෙම සැකකරු එම කිරි පැකට් ඝාතන සිද්ධියේ පුද්ගලයන් දෙදෙනාට ලබාදීමෙන් පසු එය පානය කළ දෙදෙනා අසාධ්‍යව රෝහල් ගතකර තිබුණි.

මේ අතර ගලහ ග්‍රේට්වැලි වත්තේ පදිංචි පුද්ගලයකු මරදානේ වැඩ කරමින් සිටියදී ඔහු මාර්ගයෙන් මෙම ප්‍රධාන සැකකරුට නවාතැනක් සොයා දී ඇති අතර පසුව මෙය සැලසුම් කළා යැයි සැක කරන පිරිසට ගලහ ග්‍රේට්වැලි වත්තේ ඔහුගේ නිවසේ සැඟවී සිටීමට ඉඩ ලබාදී තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය මස 24 දා ජින්තුපිටිය ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ පැමිණි එක් සැකකරුවකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසිය වෙත භාරදී තිබුණි. ඉන්පසු තවත් සැකකරුවකු දඹදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. කෙසේ වෙතත් මෙම ඝාතකයන් හා වස මිශ්‍ර කිරි පැකට් ලබා දුන් අය එකම කණ්ඩායමක පිරිසක් බවද හඳුනාගෙන තිබේ.

ගලහ ග්‍රේට්වැලි වත්තේ නිවසක අලුතින් පැමිණි පිරිසක් රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව බුද්ධි අංශය විසින් ඔවුන් හඳුනා ගැනීමෙන් පසු ආදුරුප්පු වීදිය පොලිස් කණ්ඩායමක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම වෙඩි තැබීම හා වස මිශ්‍ර කිරි ලබාදීම විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන දිනේෂ් වසන්ත සැලසුම් කර ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇත.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment