සංසාරයේ අප රවටන විඤ්ඤාණයේ මායම්කරු

206

පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, තෙල් පෝලිම්වල රස්තියාදුවෙලාම, අනුන් කෙරෙහි ද්වේශයත්, තමන් කෙරෙහි ව්‍යාපාදයත්, දැන් හොඳටෝම වැඩිය කියලා. මේ සවස්වල තෙල් පෝලිමක් අසලින් වාහනයක ගමන් කරද්දී, පෝලිමේ සිටින පිංවතුන් හරිම නූරුස්සනා ස්වභාවයකින් සංඝයා දෙසත් බලන්නේ. එම පිංවතුන්ලා සිතනවා සංඝයා වාහනවල යනවා, තමන් පෝලිම්වල දුක්විඳිනවාය කියලා. පිංවත, සංඝයා වඩින වාහනවල අයිතිකරුවනුත් පෝලිම්වල රස්තියාදුවෙලයි තමන්ගේ වාහනවලට තෙල් ලබාගෙන තිබෙන්නේ. එම නිසා අනේ කරුණාකර අපි දෙස නුරුස්සනා ස්වභාවයෙන් බලන්න එපා. පිංවත මේ මොහොතේ අපේ රටේ පවතින්නේ ආර්ථික යුද්ධයක් පමණයි. පසුගිය වසර හතළිහක පමණ කාලයක අපේ දේශපාලන නායකයින් හැසිරුණු ආකාරයට, අපේ මාතෘභූමිය නොකැඩී, නොබිඳී, අවි ආයුධ ගැටෙන යුද බිමක් නොවී පවතින්නේ, ගෞරවනීය මහා සංඝරත්නය මාතෘභූමියට ලබාදුන් ධර්මයේ ශක්තිය සහ නායකත්වය නිසාම බව, සංඝයාට සිව්පසය පූජාකළ පිංවත් ගිහිපිංවතුන්ලාට කෘතවේදීභාවය දක්වමින්ම සටහන් තබනවා.

භික්ෂුව මේ මොහොතේ නැවතී සිටින දුරබැහැර කුටියට වැඩියේ දුම්රියෙන්. පිංවත් මහත්මයෙක් දෙවැනි පංතියේ ප්‍රවේශපත්‍රයක් භික්ෂුවට පූජා කළා. මහනුවර දුම්රියපළෙන් දුම්රියෙන් බැසගත්ත තරුණයන් කිහිපදෙනෙක්, තමන් ගමන් කළ තුන්වැනි පංතියේ දුම්රිය මැදිරිය පසුකොට, භික්ෂුව ගමන් කළ දෙවැනි පංතියේ දුම්රිය මැදිරිය අසලින් යනකොට, බොහෝම සුවපහසුව වාඩිවෙලා ගමනේ යන දෙවැනි පංතියේ මගීන් දෙස බලලා කියනවා, මෙන්න සුපිරි පංතියේ අය යනවාය කියලා. සත්තකින්ම තෙල් ප්‍රශ්නය නිසාම තුන්වැනි පංතියේ මැදිරිවල තිබුණේ දැඩි මගී තදබදයක්. දුම්රියේදී තමන් අත්විඳි මගී තදබදය නිසාම, එම පිංවත් තරුණයන් දුම්රියේ දෙවැනි පංතියේ සුවපහසුව වාඩිවී ගමන්ගත් මගීන්ව දැක්කේ සුපිරි පංතියේ පිරිසක් වශයෙනුයි. දෙවැනි පංතියේ මගීන් දැකලා සුපිරි පංතිය කියලා කියද්දිම, එම තරුණ සිත් තුළ ද්වේශයකුත්, හීනමානයකුත් තිබෙනවා යැයි භික්ෂුවට සිතුනා.

පිංවත් තරුණයිනේ ඇයි ඔබ අනුනගේ සැපය දෙස ධර්මානුකූලව නොබලන්නේ. භික්ෂුව වැඩ සිටිය ආසනය අසල වාඩිවෙලා සිටියේ ඉංජිනේරු මහත්මයෙක්. මේ මහත්මයා බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝම දුෂ්කර ගමක, දුප්පත් දෙමාපියන්ට දාව ඉපදිලා, බොහෝම උනන්දුවෙන්, වීර්යයෙන්, ගමේ කුඩා පාසලක ඉගෙනගෙන, ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා නගරයේ පාසලකට ගිහින්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා හොඳ වෘත්තියක් කරලා හොඳ වැටුපක් ලබන මහත්මයෙක්. එම මහත්මයා දෙස යමෙක් සුපිරි පංතියේ අයෙක් යැයි, ද්වේශයෙන්, හීනමානයෙන් බැලීම සාධාරණද?

සංසාරයේ අප රවටන විඤ්ඤාණයේ මායම්කරු

පිංවත් තරුණයිනේ ඇයි ඔබලා අධ්‍යාපනය ලබන කාලයේදී, අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගෙන දෙමාපියන්ට, ගුරුවරුන්ට, කීකරුභාවයෙන් ඉගෙනගත්තේ නැත්තේ. පිංවත් ඔබත් හොඳින් අධ්‍යාපනය ලැබුවා නම්, ඔබටත් පුළුවන්කම තිබුණා නේද, හොඳ වැටුප් ලබන ඉහළ වෘත්තියක් කරලා දුම්රියේ තුන්වැනි පංතියේ නොයා, දෙවැනි පංතියේ අසුනක සුවපහසුව වාඩිවෙලා යන්න. පිංවත් තරුණයිනේ වරද තිබෙන්නේ කාගේ අතේද. අනුනගේ සාධාරණ සැපය දෙස නුරුස්සනා ස්වභාවයෙන් දකින යම් පිංවතෙක් වේද, ඔහුටයි මේ සටහන භික්ෂුව මෙත්සිතින්ම තැබුවේ. හැබැයි ඉතිං අසාධාරණ ලෙස ජනතා මුදල් ගසාකාලා, සැප ලබන අයට නම් ඉහත අර්ථය අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.

වර්තමානයේ පාසල් අධ්‍යාපනය ලබන සෑම පිංවත් දරුවෙක්ම ඉහත කාරණය සිහිනුවණින් තේරුම් ගතයුතු වෙනවා. වර්තමානයේ හුඟාක් දෙමාපියන් අපිට දැනුම් දෙනවා, තම පාසල් දරුවන් අධ්‍යාපන කටයුතු දෙවැනි තැනට දමා, වෙනත් කාමච්ඡන්දයන් වැඩෙන කටයුතුවලට මුල්තැන දෙනවාය කියලා. පිංවත් දරුවන් පාසල් ජීවිතයේදී අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න. එසේ නොවුණොත් ඔබටත් සිද්ධවේවි අනාගතයේදී ඔබේම පාසල් මිතුරා දුම්රියේ පළවෙනි පංතියේ සුවසේ ගමන් කරද්දී, අධ්‍යාපනය දුර්වලකොටගත් ඔබට තුන්වැනි පංතියේ මැදිරියක ගමන් කරන්න. එදාට පිංවත් ඔබ සුපිරි පංතිය භංගවේවා යැයි කීම, සාධාරණ නැහැ. හැබැයි ඉතිං අපේ මස් ඇසට නොපෙනෙන අතීත කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ රුව සහ ගුණ, සුපිරි, මධ්‍යම සහ නිර්ධන යැයි කියන අර්ථයන් තුළ සැඟවී තිබෙනවා. එය නිහතමානීව තේරුම් ගන්න නම් අපිට උතුම් සම්මා දිට්ඨිය තිබෙන්නටම ඕනේ.

පිංවත ලෝකය කියන්නේ මිරිඟුවක්. අතීත සංස්කාරයෝ විසින්ම සුපිරි, මධ්‍යම සහ නිර්ධන යැයි අපිව ශ්‍රේණිගතකොට, ඉන් ඇතිවෙන පංති පරතරය තුළින්, ආයෙ ආයෙත් අකුසල් සංස්කාරයන්ම පෝෂණය කොට දෙනවා. ඔබේ මස් ඇසට, ඔබේ ඵස්සයේ අවිද්‍යාව තුළින් විනිවිද පෙනෙන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ දිය සීරාව පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේම මායාවක්. පිංවත මේ මායාවට ඔබ නැවත නැවත පණදෙන්න එපා. පිංවත් ඔබ සතරසතිපට්ඨාන ධර්මයන්ගේ දොර කවුළු හැර, ජීවිතයට ඉඩදෙන්න, මේ මායාකාරී මිරිඟුවේ නිරුවත සිත්සේ අවබෝධ කොටගන්න. අතීතයේ දැක්ක පාට, පාට රාත්‍රී සිහින එකින් එක මැකී යද්දී, තවත් ශීතල රාත්‍රියකදී දකින නැවුම් සිහිනයක් සේ විඤ්ඤාණයේ මායාකරුවා සංසාරයේ කොතෙක් නම් අපිව රවට්ටවා ඇතිද.

භික්ෂුව වැඩසිටින කුටිය අවට සැරිසරන වඳුරු රංචුවේ වඳුරු නෑම්බියක්, ගස්වල අතුපතර සැඟවී, නිතරම භික්ෂුව දෙස බලා සිටිනවා. සාංසාරික අතීත පටිච්චසමුප්පන්න ඥාතිත්වයක් වෙන්න ඇති. ඒත් ඇය අද පටිච්චසමුප්පන්නව වැඳිරියක්. භික්ෂුව මේ වඳුරු නැගනියව දකින්නේ, අතීතයේ දහමට අකීකරු වූ ජීවිතයක, අවාසනාවේ පැතිකඩක් හැටියටයි. වඳුරු නැගනිය, සංසාරයේ ඔබ මට දයාබර බිරිඳක් වෙච්ච වේලාවේ, ඔබ මාව රවටලා, ඔබ මට බොරු කියලා, මොනතරම් නම් කාමයේ වරදවා හැසිරෙන්නට ඇතිද. ඔබ මට රැකියාවට යනවාය කියලා ගෙදරින් බැහැරවෙලා, කොතෙක් නම් වැරදි ගමන් යන්න ඇතිද. අහිංසක වඳුරු නැගනිය ඔබමයි රැවටුණේ, මම රැවටුණේ නැහැ. අහිංසක වඳුරු නැගනිය, ඔබමයි සතර අපායට වැටුණේ, මම සතර අපායට වැටුණේ නැහැ. අතීත භව ගමනේ මගේම බිරිඳවී එක සයනයේ එකට නිදපු අපි, වර්තමානයේ සුගතියත්, දුගතියත් අතර කල්ප කෝටි ගණනකින් දුරස්වෙලා. වඳුරු නැගනියගේ හැසිරීම මුල්කොටගෙන, භික්ෂුව මේ සටහන තබන්නේ, පිංවත් ඔබට කාමයේ වරදවා හැසිරීමේ විපාකයන් ගැන පාඩමක් කියාදීමටයි. පිංවත් ඔබ වැරදි කාමසේවනයන්ට බැඳීයෑමට පෙර දෙවරක් එහි විපාකයන් ගැන සිතන්න. වඳුරු නැගනිය තාමත් අතු පතර සැඟවී, භික්ෂුව දෙස බලා සිටිනවා. මේ මොහොතේ භික්ෂුවට ඇය වෙනුවෙන් කළ හැක්කේ, තිරිසන් සත්ව ලෝකය “විඳිනට” පිංවත් ඔබට, යමෙක් පටිච්චසමුප්පන්නව තිරිසන් යෝනියට වැටීමේ හේතුඵල ධර්මයන් පහදාදීම පමණක්මයි. වඳුරු නැගනිය ඔබව සුවපත් වේවා, වියරු පංචඋපාදානස්කන්ධ ලෝකය විවරණය කොට දුන්නාට.

ගෞරවනීය පිංවත, තෘෂ්ණාවේ කඹය තව තව දිගේලි කරගන්න එපා. සංස්කාර ගොන් නාම්බාව, ඔබට පාලනය කරගන්න නොහැකි වේවි. පිංවත් ඔබ දැක්කා, ඇසුණා, දැනුනා යැයි කියන ඵස්සය ඉදිරියේ උපක්‍රමශීලි වෙන්න. ඔබේ සිතට විවේකයක් නොදෙන විඳීම් සහ හඳුනාගැනීම් තුළින් තව තවත් සංස්කාර ගොදුරු බිම පෝෂණය කරන්න එපා. තෙල් ප්‍රශ්නයෙන් හෙම්බත්ව සිටින පිංවත් ඔබ, විවේකීව සිතන්න. ඔබ මේ තෙල් ප්‍රශ්නයෙන් පීඩා විඳින්නේ වාහන කෙරෙහි තෘෂ්ණාව නිසා නේද. වාහනයක් නැති භික්ෂුවට තවම නම් තෙල් ප්‍රශ්නයක් මතු වුණේ නැහැ. තෘෂ්ණාව යම් තැනකද දුක එතැන තිබෙනවා. පිංවතුනි තෙල් සමාජයට අත්‍යවශ්‍යයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් අකුසල් සංස්කාර මාරයා ඔබට රිදවන මේ නිමේෂයේදී, පිංවත් ඔබ අකුසලයට යටවෙන්න එපා. ඔබේම අවිද්‍යාවට තව තවත් පංචනීවරණ තෙල් පොම්ප කරන්නත් එපා.

පිංවත මොහොතක් දෑස් පියාගෙන ඔබේ වාහනය අට්ඨික සංඥාවෙන් දකින්න. ඔබ දැකලා තිබෙනවාද, ගිනිගෙන විනාශ වූ වාහනයක සැකිල්ලක්. එයයි වාහනයේ අට්ඨික සංඥාව. පිංවත් ඔබේ වාහනයත්, ඔබේ ඇසට සහ සිතට අරමුණු වෙන සෑම වාහනයක්ම, අට්ඨික සංඥාවෙන්ම දකින්න. බස්, ලොරි, කාර් සංඥාවට එන්න එපා. අට්ඨි, අට්ඨි, අට්ඨි වශයෙන් මෙනෙහි කරමින්, සියලුම වාහන අට්ඨික සංඥාවෙන්ම දකින්න. එම අට්ඨික සංඥාවෙන් කැඩිලා, බිඳිලා මළකඩ කාලා, මහ පොළවට පස්වෙන ස්වභාවය නුවණින් දකින්න. එවිට වාහන කෙරෙහි තෘෂ්ණාව ඔබෙන් තාවකාලිකව පහවෙලා යාවි. එවිට තෙල් නිසා සකස්වෙන දුකත් තුනීවෙලා යාවි.

පිංවතුනි තෙල් නිසා පෝලිම්වල අකුසල් වඩන පිංවත් ඔබට, විදර්ශනාමය කුසල් මතුකොටගන්නා, පුංචි කමටහනකුයි ඉහතින් සටහන් තැබුවේ. මෙවැනි උපක්‍රමශීලී කුසල් ධර්මයන්ගෙන් හෝ අපි බලමු, රටේ පිංවත් පාලකයින්ගේ ඇස සහ කන් ඇරේවිද කියලා.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment