කැලැන්ඩරයේ අවසන් දවස්!

54

මේ වර්ෂය නිමා වෙන්නෙත් නව වර්ෂය ලබන්නේත් අපට සුවිශේෂී පාඩම් රැසක් මෙන්ම අලුතින් සිතන්නට කාරණා රැසක් ද රැසක් ද ඉතිරි කරමින්.

ඕනෑම බලගතු පාලනයක් හෝ යාන්ත්‍රණයක් ජනතා බලය ඉදිරිපිට අහෝසි වන බවට වූ ආසන්නම උදාහරණය ලංකාව විසින් ලෝකයට ලෝකයටම සපයනු ලැබුවේ මේ වසරේ දී. වසර පහකට නොසැලී නොවැටෙන ආණ්ඩුවක් ලෙස සුවිශාල ජනවරමක් ලැබූ ආණ්ඩුවක පාලන තන්ත්‍රය වසර දෙකහමාරක් තුළ උඩුයටිකුරු කරන්නට ජනතා බලයට ශක්තියක් තිබුණා. ජනතා පරමාධිපත්‍ය ජනතාවට අවශ්‍ය මොහොතක සුවිශේෂී නව ආරකින් ක්‍රියාවට නැංවීමේ පරමාදර්ශය ශ්‍රී ලංකාව විසින් ලබාදෙනු ලැබුවා.

එය අනාගත ඕනෑම පාලනයකටත් මගහැර යා නොහැකි ලෙස සනිටුහන් වන පූර්වාදර්ශයක්.

අතීත සම්ප්‍රදායික වහල් දේශපාලන මතවාදය මේ වන විට වේගයෙන් ලෝකයෙන් තුරන් වෙමින් පවතිනවා. දරුණු ඒකාධිපති පාලන තන්ත්‍රයන් මෙන්ම ව්‍යාජ සරුව පිත්තල පාලන තන්ත්‍රයන්ද ඉතා වේගයෙන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වෙමින් පවතිනවා.

ආයුධ වලින් සන්නද්ධ ලේ වැකි අරගලවලට වඩා, පින්සල සහ පැන්සලටද, එයින් අඳින ලද පෝස්ටරයට ද බොහෝ දේ කළ හැකි බව ලංකාව විසින් උදාහරණ සහිතව ඔප්පු කොට අවසන්.

නව වසර ලබන්නේ, මූලික වශයෙන් වෙනස් වූ පාලන තන්ත්‍රයක් තුළ. නමුත් ඒ ජනතාව විසින් අපේක්ෂා කළ වෙනස ද යන්න පිළිබඳව බරපතළ කතිකාවතක් තිබෙනවා.

ජනතාව අපේක්ෂා කළේ system change එකකි. සහමුලින්ම ක්‍රම වෙනසකි. නමුත් සිදුව ඇත්තේ පුටු හුවමාරුවක් පමණි.

වර්තමාන ජනාධිපතිවරයා විසින් පවසා සිටි පරිදි ඔහු ගමන් කරමින් සිටින්නේ වැල් පාලමක් මතයි. ඔහු ඇකයේ හොවාගෙන යන්නේ ලංකාව නැමති දරුවා යි.

එහෙම කියන්නේ ඔහු. එහෙත් ඇත්ත වශයෙන්ම පෙනෙන්නට තිබෙන්නේ ඔහු වැල් පාලමෙන් එගොඩ කරන්නේ රට අරාජිකත්වයට සහ බංකොලොත්භාවයට පත් කළ කණ්ඩායම් බව නොවේද?. ඊට වගකිව යුතු චූදිතයින් නොවේද?.

නව වසර තුළ අප මුහුණ දෙන අභියෝග රැසක් තිබෙනවා. ආර්ථික වශයෙන් තවදුරටත් තම පවතින්නේ බරපතළ අර්බුදයක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තවමත් අප වෙත යහතින් සිය දෑත දිගුකොට නැහැ. ඈතින් සිට ඔවුන් ප්‍රකාශ කරමින් සිටින්නේ ඔවුන්ගේ දැව යොමු කිරීමට පෙර ඔවුන්ගේ දෑස අප වෙත යොමු කර ගන්නට අවැසි මාවත සකස් කරන ලෙස. එහෙත් අවාසනාවකට එවැනි උනන්දුවක් පේන මානෙකවත් නැහැ.

මේ වන විට පාර්ලිමේන්තුවේ පවතින්නේ විකෘති ජනවරමක්. එය කිසිසේත් මෙරට ප්‍රගමනයට හේතු වන්නේ නැහැ. වහාම කළ යුත්තේ අලුත් ජනවරමකට ඇතකට යෑමයි. එහෙත්, ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට නැහැ. මේ වන විට ගම් මට්ටම පවා බිඳ වැටී ඇති තත්ත්වයක් තුළ වහාම කළ යුතු වන්නේ ගමේ පුංචි ආණ්ඩුව නැවත ජන වරමකට රැගෙන යාම. එහෙත් ඒ පිළිබඳව පවා ආණ්ඩුවට කිසි උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

මේ වසරේ අපට අති විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙනවා. බඩු මිල වේගයෙන් වැඩි වෙමින් උද්ධමනය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට පත්වී තියෙනවා.

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයන්ගේ ආදායම මත බදු අය කරන, දේශීය ආදායම් (සංශෝධන) පනත බලාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 76%ක් ආහාර අනාරක්ෂිතභාවය හේතුවෙන් ආහාර සම්බන්ධ විකල්පවලට යොමු වී සිටින බව ලෝක ආහාර වැඩ පිළිවෙත් පවසනවා. මෙරට ජනගහනයෙන් 73%ක් මිලෙන් මෙන්ම පෝෂණයෙන් ද අඩු ආහාර භාවිතයට යොමුවී සිටින අතර 52% ක පිරිසක් භාවිතයට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරලා. 40% පිරිසක් ආහාර වේල් සංඛ්‍යාව කපා හැරීමට පෙළඹී සිටින බවත් වාර්තාවේ සඳහන්.

අපි අලුත් අවුරුද්දට පය තබමින් ඉන්නේ කුසගින්නෙන් පෙළෙන රටක් හැටියට. පෝෂදායී ආහාර වේලක් වත් නැති රටක් හැටියට.

ශ්‍රී ලංකා රුපියල ලෝකයේ වැඩි වශයෙන්ම අවප්‍රමාණ වන මුදල් ඒකක අතරින් 04 වන ස්ථානයට පත්වෙලා. මෙම දර්ශකයේ මුල් ස්ථාන තුන සිම්බාවේ, වෙනිසුයුලා හා කියුබා මුදල් ඒකක වලට ලැබිලා.

“නිසල මුහුදේ නැව් පැදවීම සඳහා එතරම් දක්ෂතාවක් අවශ්‍ය නොවූවද චණ්ඩ මුහුදක නැව් පැදවීම සඳහා දක්ෂ නැවියකු අවශ්‍යයයි” යනුවෙන් කතාවක් තිබෙනවා.

සම්ප්‍රදායික සටකපට නායකයන්ට මේ අර්බුදකාරී ලංකාව නමැති නැව චණ්ඩ මුහුද මැද පැදවීම කිසිසේත් කරන්නට පුළුවන්කමක් නැහැ. ඇත්ත වශයෙන්ම, අපි අන්ධකාර කෙවෙනියක් තුළ රිදී රේඛාවක් සොයන රටක්.

ඉමිතියාස් බාකීර් මාකර්

advertistmentadvertistment
advertistmentadvertistment