ලක්දිව පුදපෙත් ලබන සිව්වරම් දෙවිවරු

620

ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන දෙවිවරුන් ශ්‍රී ලංකාවේ මුල් කාලයේ මහත් පුදපූජාවන්ට පාත්‍රවුණ දේවාත්ම ලෙස සැලකේ.

පූරිමා දිසං ධතරට්ඨෝ
දක්බිණේන විරූළ්හකො
පව්චිමේන විරූපක්ඛෝ
කුවේරෝ උත්තරංදිසං

මහාසමය සූත්‍රයෙහි සඳහන් මෙම ගාථාවෙහි සඳහන් වන ආකාරයට ධෘතරාෂ්ඨ දෙවියන් ශ්‍රී ලංකාවේ පූර්ව දිසාවට අධිපතිත්වය දරයි. විරූල්හක හෙවත් විරූඪ දෙවියන් දකුණු දිසාධිපති දෙවියන් වේ. පච්චිම දිසාව හෙවත් බටහිර දිසාවට අධිපති දෙවියන් විරූපාක්ෂ දෙවියන් වන අතර උතුරු දිසාවට අධිපති දෙවියන් වන්නේ කුවේර හෙවත් වෙස්සවණ දෙවියායි.

ධෘතරාෂ්ඨ දෙවියන් ගාන්ධර්වයන් ට අධිපති දෙවියන් වේ. ඒ බව මහා සමය සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.

පූරිමඤ්ච දිසංරාජා – ධතරට්ඨෝ තං පසාසතී
ගන්ධබ්බානං ආධිපති – මහාරාජා යසස්සිසො.

මේ අනුව අනුපිළිවෙළින් දකුණු දිසාවට අධිපතිත්වය දරණ විරූල්හ දෙවියන් කුම්භාණ්ඩයන්ගේ අධිපතියා ලෙසද බටහිර දසාවට අධිපතිත්වය දරණ විරූපක්ඛ දෙවියන් නාගයන්ට අධිපතියා ලෙසද උතුරු දිසාවට අධිපතිත්වය දරණ කුවේර හෙවත් වෛශ්‍රවණ දෙවියන් යක්ෂයන්ට අධිපති දෙවියන් ලෙසද මහා සමය සූතයෙහි දක්වා ඇත.

බෞද්ධ විශ්වාසය අනුව සිව්වරන් දෙවියන් සක් දෙවිදුන්ගේ පිරිස බවද මෙම දෙවිවරුන්ට සිව්දිසාවේ අධිපතිත්වය පවරන ලද්දේ සක්දෙවිදුන් බවද පැවසේ. බුදුන් ජීවමානව වැඩසිටි සමයේ බුදුන් වහන්සේ වෙත පැමිණි මෙම දෙවිවරු බුදුන් වහන්සේට පූජා පැවැත්වූ බව ආටානාටිය සහ මහාසමය සූත්‍ර දේශනාවල සඳහන් වේ. වෛශ්‍රවණ දෙවියන්ගේ නගරය ආලක මන්දාව හෙවත් අලකා පුරය වේ. මෙම සිව්වරන් දෙවිවරු ලෝක පාලන දෙවිවරු ලෙස සැලකීම පැරණි විශ්වාසය වන අතර මෙම දේව විශ්වාසයේ දෙවෙනි අවස්ථාවක් ලෙස සැලකෙන්නේ නාථ විෂ්ණු කතරගම පත්තිනි යන දේව සංකල්පයයි. දහතුන්වන සහ දහහත්වන සියවස දක්වා කාලසීමාව ශ්‍රී ලංකාවේ දේව විශ්වාස තහවුරු වූ කාලසීමාවක් ලෙස සැලකේ. දහඅටවැනි සියවසේ ලියවුණු මන්දාරම්පුර පුවත, සුළු පූජාවලිය වැනි කෘතිවල සිව් දේවාල සංකල්පය පිළිබඳ සඳහන් වේ.

බෞද්ධ සම්ප්‍රදායානුකූලව සිව්වරන් දෙවිවරුන් බුදුන් වහන්සේට යටහත්පහත්ව සේවය කරන්නවුන් ලෙස සලකා ඇති අතර අනුරාධපුර යුගයට අයත් නටබුන්වලින් සහ කැලණි විහාරයේ බිතුසිතුවම් තුළ දැක්වෙන සිව්රම් දේව රූපවලින් ඒ බැව් තහවුරු වේ. අනුරාධපුර යුගයෙහි ඉදිවුන විහාරාරාමයන්හි සතර පැත්තෙහි පිහිටුවා ඇති දොරටුවල සිව්වරන් දේවරූප නිර්මාණය කොට තිබූ බව පෙනේ. අටවන සියවසට අයත් යැයි සැලකෙන මිහින්තලේ චෛත්‍යයක ධාතුගර්භය පුරාවිද්‍යාඥයින් විසින් විවෘත කළ අවස්ථාවේ සතර දිසාවට අයත් බිත්ති සතරේ සිව්වරම් දේව රූප තිබූ බවට අනාවරණය කර ඇත.

දහහතර වන සියවස හෙවත් ගම්පල යුගයේදී මෙලක ආරක්‍ෂක සිව්දේවතාවුන් ලෙස කිහිරැලි උපුල්වන් සමන් විභීෂණ ස්කන්ධකුමාර යන දෙවිවරු ගැන අසන්නට ලැබේ. විජය රජුන් ලංකාවට පැමිණෙන්නට පෙර මෙහි පැවත ආ යක්‍ෂ ඇදහිලි විජය රජුගේ පැමිණීමෙන් පසු විජය රජු හා පිරිස විසින් මෙලකට රැගෙන ආ වෛදික දේව විශ්වාසය සමග සම්මිශ්‍රණය වූ බව පෙනේ. අනුරාධපුර රාජධානිය ආරම්භ වනවිට මෙහි පැවැත ඇත්තේ ප්‍රධාන දෙවිවරුන් උපුල්වන් සමන් සහ ස්කන්දකුමාර යන දෙවිවරුන් තිදෙනා බව පෙනේ. මේ අතර උපුල්වන් දෙවියන් සහ සමන් දෙවියන් දේශීය දෙවිවරු ලෙස සැලකේ.

ක්‍රි.පූ. 1500 දී පමණ ඉන්දු ආර්යයන් විසින් රචනා කරන ලදැයි කියවෙන සෘග් වේදයෙහි ඉන්ද්‍ර වරුණ අග්නි විෂ්ණු යන දෙවිවරුන් පිළිබඳ ව සඳහන් වේ. මෙම වකවානුව එනම් ක්‍රි.පූර්ව 1500 දී පමණ මෙම දෙවිවරුන්ට පුදපූජා පැවැත් වූයේ යාග හෝම පවත්වන ස්ථානයට ආරාධනය කොට පුද පූජා පිළිගන්නා ලෙසට අයදිමිනි.

පණ්ඩුකාභය රජුන් දඹදිව මහමෙවුනාව ආකාරයට අනුරාධපුර සැලසුම් කිරීමේදී එකල පැවැති විවිධ දේව විශ්වාසයන්ට මුල්තැන් දෙමින් අනුරාධපුර බටහිර දිසාවෙහි නුග ගසක වෛශ්‍රවණ දෙවියන්ගේ විමානය පිහිටු වූ බවත් එම දිසාවෙහිම තල් ගසක ව්‍යාධ දෙවියන්ගේ විමානය පිහිටු වූ බවත් මහාවංසයෙහි සඳහන්වේ. මෙහි බටහිර දිසාවෙහි දොරටුව අසල පච්චිම රාජනීගේ දෙවොල පිහිටු වූ බවද එහි සඳහන් වේ. නැගෙනහිර දිසාවෙහි කාලවේල යක්‍ෂයාද අභය වැවේ පහළ කෙළවරේ චිත්‍රරාජ යක්‍ෂයා ද පිහිටවූ බව එහි පැවසේ.

පණ්ඩුකාභය රජුගේ මවු දේවිය වන උන්මාද චිත්‍රාවන්ට භක්තියෙන් යුතුව සේවය කළ යැයි සැලකෙන චිත්‍රරාජ සහ කාලවේල දෙදෙනා චිත්‍රා දේවියගේ සහෝදරයන් විසින් කරනලද කුමන්ත්‍රණයකට සහය නොදුන් නිසා ඔවුන් මරණයට පත් කළ බවත් මරණින් පසු ඔවුන් දෙදෙනා යක්‍ෂයන් ලෙෂ උත්පත්තිය ලැබූ බවත් මෙම යක්‍ෂයන් දෙදෙනා පණ්ඩුකාභය කුමරුන් මවුකුස පිළිසිඳ ගත් අවස්ථාවේ පටන් ආරක්‍ෂාව සැලසූ බවත් පසුව මවුකුසින් බිහිවූ පණ්ඩුකාභය කුමරාගේ ආරක්‍ෂාව පතා කුමරා සඟවාගෙන පලාගොස් රැකවරණය සැලසූ සේවිකාවට අනතුරක් නොවීමට ඉඩ සලසන ලද්දේ මෙම චිත්‍රරාජ සහ කාලවේල යක්‍ෂයන් බවත් පැවසේ. එම සේවිකාවද මරණින් පසු යක්‍ෂණියකව උපන් බවත් රජු විසින් එම යක්‍ෂණියද අනුරපුර රාජධානියේ දකුණු දොරටුවේ පිහිටවූ බවත් මහාවංසයේ සඳහන් වේ.

ගම්පොල යුගයේ ලියවී ඇති කඩයිම් පොත්වල රුහුණු, මායා, පිහිටි යන තිලකට අධිපති දෙවියන් ලෙස විභීෂණ, සමන්, විෂ්ණු දෙවිවරුන්ගේ නම් සඳහන් වේ.

විභීෂණ සමන් විෂ්ණුගෙ තෙද මෙලකට
රජකළ දවස සිරිලක බෙදුනේ තුනට
රුහුණු පිහිටි මායා රට තුනක් කොට
මෙලකට ත්‍රිසිංහල නම්විය එදා සිට

කෝට්ටේ යුගය වනවිට එවකට පැවති දේව විශ්වාස අනුව උපුල්වන්, සමන්, කතරගම, විභීෂණ දෙවිවරුන් ලක්දිව ප්‍රධානවූ දෙවිවරුන් ලෙස සැලකූ බව හංස සංදේශයේ පහත පද්‍යයෙන්ද පැහැදිලි වේ.

මහත් තෙදති පුල්වන් සුරිදු මුල්කොට
දිමුත් සමන් බොක්සල් සුරිදු නෙත් කොට
සවත් සුරිදු විභිෂණ ඈ සුරන් හට
පිරිත් කියා පින්දී සිත සතුටු කොට

මහනුවර රජ පැමිණි විමලධර්මසූරිය රජතුමන් දළදා මැදුර සමග සිව් දේවාල පිහිටු වූ බව පැවසේ. දහසය වැනි සියවසේ දෙවෙනි රාජසිංහ රජතුමන් මහනුවර ඇසළ පෙරහැර පවත්වා ඇත්තේ අලුත්නුවර කතරගම සහ පත්තිනි දෙවිවරුන් මුල්කොට ගෙන බවත් 18 වන සියවස වනවිට සිව්මහා දේවාල ලෙස නාථ විෂ්ණු කතරගම පත්තිනි දේවාල මුල්කොට ගත් බවත් පෙනේ.

මේ වනවිට සිව්වරන් දෙවිවරුන් ලෙස නාථ විෂ්ණු සමන් කතරගම දෙවිවරුන් සැලකෙන අතර මේ හැරෙන්නට විභීෂණ පත්තිනි දෙවිවරුන්ද මේ ගණයේ සැලකෙන බව දේව පුරාණයේ සඳහන් වේ.

කලාභූෂණ, විශ්වාභිනන්දන, සියනෑ ගෞරවකීර්ති
සරණපාල නුවරපක්‍ෂ, පූගොඩ.

advertistmentadvertistment
advertistmentadvertistment