පැදුර හා බැඳි සිංහල ජන ජීවිතය

1106

මිනිසා ස්වකීය පරිහරණය සඳහා යොදා ගන්නා භාණ්ඩ සහ මෙවලම් එම මිනිස් සමාජයේ භෞතික සංස්කෘතිය ප‍්‍රකට කරන අංග ලෙස හඳුනා ගත හැකිය. මෙම භෞතික සංස්කෘතික අංග නිරන්තරයෙන් එම සංස්කෘතිය හා බද්ධ අදහස් හැඟීම් මෙන්ම සමාජ සාරධර්ම පැහැදිලි කරයි. නාගරීකරණයත් සමග අද වන විට සමාජයෙන් කෙමෙන් ඈත්ව යන පැදුර අතීත ලංකා සමාජයේ සිංහල සංස්කෘතිය හා බද්ධ අවියෝජනීය අංගයකි. පැදුර වෙනුවට ආදේශක වෙනත් ඇතිරිලි බොහෝමයක් වර්තමාන සමාජයේ ප‍්‍රචලිතව ඇතත් අදටත් චාරිත‍්‍රමය වශයෙන් පැදුරට ඇත්තේ ඉහළ වටිනා කමකි. අතීත ජනයා භාණ්ඩ නිපදවූයේ ඔවුන්ගේ මනෝමය විචිත‍්‍රතාද ඇතුළත් වන පරිදිය. ඊට කදිම නිදර්ශනය නම් පැදුරයි. දෘශ්‍ය සෞන්දර්යෙන් යුත් මෙම පැදුරු නිර්මාණවල ගැඹුරු අර්ථ සහිත පැදුරු රටාද ඇතුළත්ව තිබුණි. එම රටා ඔස්සේ අතීත ජනයාගේ ජන විඥනයේ ගැඹුර වටහා ගත හැකිය. වෙස්සන්තර ජාතකයේ ඇතැම් අවස්ථා වියමන් කරන මහ ලී කෙළි, පියුම්, කැටපත් පවුර හා වංකගිරි යන පැදුරු රටා ඒ බව තහවුරු කරයි.

සිංහල සංස්කෘතියේ භෞතික නිර්මාණයක් ලෙස සැලකෙන පැදුර අවශ්‍යතාව මූලික කර ගෙන නිර්මාණය වූ භාණ්ඩයකි. හෙළ ගැමි කලාවේ සුවිශේෂ අංග ඇතුළත් කලා කෘතියක් වන පැදුර නින්දක් ගෙවීම පහසු කාර්යයක් වුවද එය පසුපස ඇති නිර්මාණ කාර්ය පහසු නොවන බව සිහි ගන්වයි. රජමැඳුරේ සිට දිළිඳු පැල දක්වාම මිනිසාට පැදුර සමග ළබැඳි සබඳතාවක් ඇත. පාරම්පරික

පැදුර හා බැඳි සිංහල ජන ජීවිතය

ගෘහස්ථ කාන්තාවන් විසින් සිදු කළ පන්නම් කර්මාන්තයේ ප‍්‍රධාන නිෂ්පාදනය ලෙස සලකන්නේද පැදුරයි. අතීතයේදී මිනිස් ජීවියෙකු බිලිඳෙකු ලෙස බිහිවූ පසු පළමුව සතපවන්නේ පැදුරකය. විවාහයේදී මනමාලයාගේ ඉවසීමේ ශක්තිය මැන බැලීමටත් මනාලියගේ පන්නම් කර්මාන්තයේ හසළ බව තීරණය කිරීමටත් පැදුර යොදා ගෙන ඇත. අතීත සමාජයේ මනාලියගේ නිවසින් මනාලයාට ලැබෙන දයාද භාණ්ඩ අතර පැදුරද විශේෂ තැනක් හිමි කර ගනී. උපතේ සිට මරණය දක්වාම මිනිස් ජීවිතය පැදුර හා බද්ධ වී ඇත. ප‍්‍රාණය නිරුද්ධ වූ නිසල මළ සිරුරු පොළොවට මිහිදන් කරන්නේද පැදුරු කඩ මල්ලක ඔතා ගෙන ගොස්ය.

අතීත ලංකාවේ එදිනෙදා ජීවිතයේ යම් යම් අවශ්‍යතා සඳහා භාණ්ඩ රාශියක් නිපදවීමට අමුද්‍රව්‍ය කොටගත් ශාක විශේෂයක් වශයෙන් පන් ශාකය හැඳින්විය හැකිය. වට්ටි, පෙට්ටි, මලු අතුල්පත් හා පැදුරු වැනි භාණ්ඩ පන් ශාකය අමුද්‍රව්‍ය කොට ගෙන නිපදවයි. ඒ අතුරින් පැදුරට ලැබෙනුයේ සුවිශේෂ ස්ථානයකි. අතීතයේදී පන් මෙන්ම හණ ශාකයද අමුද්‍රව්‍ය කොට ගෙන පැදුරු නිපදවා ගෙන ඇත. විශේෂයෙන් හණ යොදා ගනිමින් පැදුරු නිෂ්පාදනය සිදු කර ඇත්තේ කින්නර ජනතාවයි. බොහෝ දෙනෙක් අතර දුම්බර පැදුරු ලෙස ප‍්‍රසිද්ධ මෙම පැදුරු විශේෂයයි. ‘කළාල’ ලෙස විශේෂ නාමයකින්ද එම පැදුරු හැඳින්වේ. අතීත සිංහල සමාජයේ ගෘහයක භාවිත භාණ්ඩ කිහිපය අතර පැදුර යනු අත්‍යවශ්‍ය භාණ්ඩයකි. ඬේව් දුටු ලංකාව වැනි කෘතිවලද මේ සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු සඳහන් වේ. ”ඔවුන්ගේ චාම් සකසුරුවම් සහිත ගෘහභාණ්ඩ, හාන්සිවීම් සඳහා ඇඳක් දෙකක් බංකු දෙක තුනක්, පැදුරු කීපයක්, පිඟන් බඳුන් දෙක තුනක් යන මෙයින් සමන්විතය.’’ මේ අනුව භෞතික ජනකෘතියක් වශයෙන් වැදගත් මෙන්ම ප‍්‍රයෝජනවත් වන පැදුර ජනශ‍්‍රැතියක් වශයෙන්ද සිංහල ජන ජීවිතය තුළ වැදගත් තැනක් හිමි කර ගනියි. නිදාගැනීම, වාඩිවීම වැනි අවශ්‍යතා මුල් කර ගෙන මුල් කාලීන ජන ජීවිතයට එක් වූ පැදුර පසුව කලාත්මක ඥනය මුසු වෙමින් සුවිශේෂ ජනකෘතියක් බවට පත්වන්නට ඇත. එය අර්ථාන්විතව සංකේතාත්මකව මෙන්ම ප‍්‍රයෝජනවත් අයුරින් ජන ජීවිතය හා ස්පර්ශනීය සම්බන්ධතාවක් දැක්වීය. ඒ අනුව පැදුර සම්බන්ධව ජනතාව විසින් නිර්මාණය කළ රසවත් ජනශ‍්‍රැති බොහෝමයක් හඳුනාගත හැකිය. විශේෂයෙන් පැදුර සම්බන්ධයෙන් කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත ජනශ‍්‍රැති රැසකි.

පැදුර හා බැඳි සිංහල ජන ජීවිතය

කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත දනී
වෙලේ ගොසින් ඉනි සැදුවා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනී
මෙදා යලේ ගිනි තැප්පා දෙවියො දනී

මෙම ජන කවියෙන් පැහැදිලි වන්නේ

ගොවිතැන ආශ‍්‍රිත පැල් රැකීමේදී පැදුර අත්‍යවශ්‍ය ලෙස භාවිත වූ බවයි. ”පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනී’’ යන පදයෙන් පැදුරෙන් තොර පැල් රැකීමක් නැති බව ගම්‍යමාන වේ. සිංහල සංස්කෘතියේ දායාදයක් වන සිංහල ජනශ‍්‍රැතිය ක‍්‍රියාත්මක වීමට පැදුර ආධාරකයක් වෙමින් දක්වන සමාජ සම්බන්ධතාව සුවිශේෂීය. එදිනෙදා ජීවිතයේ විවේකි කාලවලදී අල්ලාප – සල්ලාප, විහිළු – තහළු, කවිකතා කීමෙන් පැරණි ගැමියෝ විශාල ආස්වාදයක් ලැබූහ. වත්මනෙහි මෙන් ශ‍්‍රව්‍ය දෘශ්‍ය ජන මාධ්‍ය නොතිබූ අවධියක තම පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් සමග පිල පිට එලු පැදුරක වාඩි වෙමින් ඔවුහු දෛනික තොරතුරු ශ‍්‍රැතිය ඔස්සේ බෙදා හදා ගත්හ. ඒ අනුව සංස්කෘති වාහකයක් වන ජනශ‍්‍රැතියේ ක‍්‍රියාකාරිත්වයට පැදුර ආධාරකයක් ලෙස පැරණි සිංහල ජන ජීවිතයට සම්බන්ධ වී ඇත. සිංහල ගැමි ජනයා කරනු ලබන විවිධ පින්දහම් කටයුතුවලදීද පැදුර ආර්ථාන්විතව භාවිත විය. විශේෂයෙන් ප‍්‍රතිපත්තිමය පූජා විධියක් ලෙස ගැනෙන සිල් සමාදන් වීමේදී පැදුර අත්‍යවශ්‍යය. එදා මෙන්ම අදත් බොහෝ පින්කම් කටයුතුවලදී පැදුර භාවිත වීම සිදු වේ. මංගල අවස්ථා මෙන්ම අවමංගල අවස්ථාවලදීද පැදුර විවිධ අර්ථවලින් භාවිත වේ. දැරියක වැඩිවිය පැමිණීම, විවාහය, අවමඟුල ආදී ජීවිතය හා බැඳි අවස්ථාවල පැදුර කුමන ආකාරයකින් හෝ චාරිත‍්‍රානුකූලව ජන ජීවිතය හා සම්බන්ධ වේ. එම අවස්ථා බොහෝමයක පැදුර සංකේතාර්ථයෙන් භාවිත වූ ආකාරයක් දැකිය හැකිය. ‘හවරි කතාව’ වැනි ඇතැම් සිංහල ජන ක‍්‍රීඩාවලටද පැදුර සම්බන්ධ වී ඇත. එනයින් ප‍්‍රකට වන්නේ පුද්ගල උපතේ සිට මරණය දක්වා පැදුර සිංහල ජන ජීවිතය සමග භෞතික හා අධ්‍යාත්මික වශයෙන් දක්වන අවියෝජනීය අර්ථවත් සබඳතාවයි.

කොට්ටෙ පැදුරෙ ගරා යකා
අද පලයන් ගරා යකා
පැදුරෙ ආනෙ ගරා යකා
අද පලයන් ගරා යකා

මුඛ පරම්පරාගතව එන කොටහළු යාග කවියක් වන මින් පැහැදිලි වන්නේ කොටහළු යාගයේදී පැදුරක උපයෝගීතාවයි. මේ ආකාරයෙන් බලන විට කාන්තාවකගේ ජීවිතයේ පළමු වැදගත් සන්ධිස්ථානය මූලික කර ගෙන කාන්තාවකගේ අනු දැනුම හා මූලිකත්වය ඇතිව පවත්වන ලද මල්වර චාරිත‍්‍ර පද්ධතිය උදෙසා කාන්තා නිර්මාණයක් වන පැදුර භාවිත කළ බවයි. පුරාණයේ පුද්ගලයෙකු මිය ගිය පසු ඉටු කරන ලද චාරිත‍්‍ර විධිවලදී පැදුර අනිවාර්යෙන්ම සම්බන්ධ විය. මියගිය පුද්ගලයෙකුගේ අවසාන කටයුතු පිළිබඳ චාරිත‍්‍රවලදී හා බෞද්ධ ආකල්ප අනුව ඔහුගේ පරලොව ජීවිතය උදෙසා කරන ලද පින්කම්වලදී පැදුර සම්බන්ධ වේ.

සිංහල ජන ජීවිතය හා භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මීය වශයෙන්ද පැදුර දක්වන දැඩි සබඳතාව පදනම් කර ගෙන ඒ වටා නිර්මාණය වී ඇති ජනශ‍්‍රැති අංග විමසුමේදී එම සබඳතා ආශ‍්‍රිත ජන ආකල්ප හඳුනා ගත හැකිය. පැදුර ආශ‍්‍රිත ප‍්‍රකට කියමනක් වන ‘පිලට පැදුර එලීම’ යන්න පැදුරේ මූලික භෞතික ප‍්‍රයෝජනය හා බැඳුනකි. සාමාන්‍යයෙන් පැරණි සිංහල ගැමියන් ස්වකීය නිවසට පැමිණි අමුත්තන් පිළිගැනීමට පිලට පැදුරක් එලීම සිරිතකි. පිලට පැදුර එලන ආකාරය අනුව හා පැදුරේ ස්වභාවය අනුව ආගන්තුකයා පිළිගනු ලබන්නේ කුමන ආකල්පයක් පෙරදැරි කර ගෙනද යන්න හෙළි කර ගත හැකිය. ‘පැදුරට නොකියා යනවා’ යන්නද පැදුර සම්බන්ධ තවත් ප‍්‍රකට ජනවහරකි. මෙහි සරල අර්ථ වන්නේ කාටවත් නොදන්වා යනවා යනුයි. විශේෂයෙන් කළගුණ නොසලකා හැරීම සිංහල ගැමියා මින් අදහස් කර ඇත. තවත් එවැනිම පැදුර හා සම්බන්ධ කියමන් සිංහල වාග් සම්ප‍්‍රදාය තුළ ප‍්‍රකටය.

⋆ පැදුරෙන් බිමට වැටුණා වගේ – කිසිවෙකුගේ ආර්ථික හැකියාවේ ප‍්‍රමාණයට ජීවිකාව ගෙන යන අතරතුර සිදුවන හදිසි විපතකට මුහුණදීමේදී කිසිදු හානියක් නොවන බව හෝ දැනීමක් නොවන බව මෙහි අදහස වේ.

⋆ එක පැදුරේ නිදියනවා – සහජීවනය ප‍්‍රකාශ වන කියමනකි.

⋆ පැදුර පෑගුණත් ඇති – දරුසම්පත් ලැබීමේ සංකේතිත අර්ථය මතු කරයි.

⋆ පැදුරට එනවා – සංකේතිත ස්ත‍්‍රි පුරුෂ සම්භෝගය අදහස් වේ.

⋆ පැදුරට යනවා – සංකේතිත ස්ත‍්‍රි පුරුෂ සම්භෝගය අදහස් වේ.

⋆ පැදුරේ වැටෙනවා – ලිංගික කාර්ය අදහස් වේ.

⋆ තම්බි පැදුර එලුවා වගේ

⋆ අලින්ට පැදුර එලුවා වගේ – නිෂ්ඵල කි‍්‍රයාවක් කිරීම මින් අදහස් වේ.

⋆ දුම්බර ගිහිල්ලත් පැදුරක නිදාගන්න බැරිවෙලා – යම් යම් භාණ්ඩ ප‍්‍රසිද්ධ ස්ථාවලට ගොස් එම භාණ්ඩය සොයා ගත නොහැකි වූ විට මෙම කියමන ප‍්‍රකාශ කරයි.

පැදුර මූලික වශයෙන් නිදා ගැනීමේ අවශ්‍යතාව සපුරාලුවද එය ප‍්‍රධාන වශයෙන් ලිංගික කාර්ය සංකේත කරන්නකි. සෞභාග්‍ය උදෙසා පැවැත්වෙන රට යකුම, සන්නි යකුම, සූනියම් කැපීම, මහසෝන් සමයම, ගරා යකුම, කොහොඹා යක් කංකාරිය, සොකරි හා සමයන් පැදුර වැනි ශාන්තිකර්මවලදීද ලිංගික කාර්ය සංකේතවත් කරන අර්ථයෙන් හා අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පැදුර යොදා ගෙන ඇත. නමුත් අද වන විට පැදුරු විවීම කාලයෙන් සැඟවී යමින් පවතී. විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමග දේශීය අනන්‍යතාව අර්බුදයකට ලක්ව ඇති නූතන අවධියේ පාරම්පරික කර්මාන්තද කිසියම් බිඳ වැටීමකට නතුව ඇත. අද වන විට සාම්ප‍්‍රදායික ගම්බඳ ගැමි නිවසක හැරුණු විට නාගරීකරණය වූ නිවෙස්වල රටා සහිත පන් පැදුරක් දැකීමත් දුලබ දසුනකි. ගැමි නිවසක පවා වත්මනේදී පන්නම් කර්මාන්තයේ නිර්මාණාත්මක ශක්‍යතාව ප‍්‍රදර්ශනය කරන පැදුරක් සොයා ගැනීම අතිශය දුෂ්කරය. ඒ අනුව පැහැදිලි වන්නේ නූතන සංකීර්ණ සමාජ ප‍්‍රවාහය තුළ සාම්ප‍්‍රදායික දේශීය අංග සැඟවී යන බවයි.

සහාය කථිකාචාර්ය ඉවන්තා සඳුනි ජයසේන
සිංහල අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment