මිත්තණිය සමග හෝටලයේ නවාතැන් ගත් දැරිය දින තුනකට පෙර මියගිහින්

139

සිරුරට මැස්සන් වසමින් තිබියදී සේවකයන් සොයාගෙන
දැඩි ලෙස රෝගාතුර වී සිටි මිත්තණියත් රෝහලේ

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් කාමරයකින් වයස අවුරුදු 12 ක මියගිය දැරියකගේ මළ සිරුරක් යාපනය කෝපායි පොලිසිය විසින් පෙරේදා (12 දා) සොයා ගෙන තිබේ.

පොලිසිය එම හෝටල් කාමරයට ගිය අවස්ථාවේ දී මියගිය දැරියගේ මිත්තණිය බවට සැකකරන කාන්තාවක්ද එම හෝටල් කාමරයේ ඇඳක වැතිර සිට ඇති අතර ඇය ඒ අවස්ථාව වන විටත් සිහිසුන්ව සිට ඇත.

මේ දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ ඇති අතර කාන්තාව හෝටලයේ කළමනාකරුට පවසා ඇත්තේ දැරිය රෝගයකින් පෙළෙන බවත් ඇයට ත්‍රිකුණාමලයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි නිසා යාපනයේ වෛද්‍යවරයකු හමු වීමට පැමිණි බවයි.

මේ දෙදෙනා කාමරය කුළියට ගත් පසුව එක් අවස්ථාවකදී පමණක් කාමරයෙන් ඉවතට ගොස් යළි ආපසු පැමිණි බව හෝටලයේ කළමනාකාරවරයා කෝපායි පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

කාමරයෙන් දැඩි දුඟදක් හමන නිසා සේවකයන් කාමරයේ දොරට තට්ටු කළත් කිසිදු ශබ්දයක් නොමැති නිසා ජනේලයකින් කාමරයට එබී බලද්දී ඇඳක වැතිර සිටි දැරියගේ සිරූර මත මැස්සන් වසමින් සිටිනවා දැක තිබේ.

මිත්තණිය බව කියන කාන්තාවගේ ආශ්වාස ප්‍රාශ්වාස තත්ත්වයක් පෙන්නුම් කළ නිසා පොලිසිය පැමිණීමෙන් පසුව ඇයව රෝහල් ගත කිරීමට රැගෙන යන විට “මාව මේ කොහෙද ගෙනියන්නේ” යනුවෙන් කෙඳිරි ගාමින් ප්‍රකාශ කර තිබේ. මෙම දැරිය මියගොස් දින තුනක් පමණ ඉකුත්ව ගොස් ඇති බවද පොලිසිය කියා සිටියේය.

මිත්තණිය විසින් ලියූ බවට සැකකරන ලිපියක්ද කාමරයෙන් හමු වී ඇති අතර එම ලිපියේ සඳහන් ව ඇත්තේ ඔවුන් සියදිවි හානි කර ගන්න බව ප්‍රකාශ කරමින් වූවත් එම ලිපිය ඉතා සැක සහිත බව මේ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන යාපනය පොලිසිය ප්‍රකාශ කරයි. ඇතැම් විට දැරිය දූෂණයට ලක් කොට ඇය මරා දමා මිත්තණියටද කුමක් හෝ පානය කිරීමට සලස්වා ඇති බවට පොලිසිය සැක කරයි.

දැරියගේ නම කේමා ලෙස සඳහන්ව ඇත. සිහිසුන්ව සිටි කාන්තාව 53 හැවිරිදි ත්‍රිකුණාමලයේ පදිංචි නාගපූසානි ශිවනාදන් නමැත්තියක් බවට හඳුනා ගෙන ඇති අතර ඇය දැඩි පොලිස් රැකවරණය මත යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තවමත් නොමැති නිසා සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා ගැනීමට පොලිසියට අසීරු වී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment