කුමාරවන්නි හත්පත්තුවේ උපන් භාෂාවේ ප්‍රභාස්වරය

346

සැප්තැම්බර් (හෙට) 15 වැනිදාට යෙදෙන සයිමන් නවගත්තේගමයන්ගේ 83 වැනි ජන්ම දිනය නිමිත්තෙනි

ඩී ඇස්ලාගේ කන්නන්ගරලාගේ කාලේ ගත් තීරණයකට අනුව කුමාරවන්නි හත්පත්තුවේ අපේ ගමේ ඉස්කෝලෙට ද ගුවන්විදුලියක් ලැබුණේය. ස්වභාවධර්මයේ ද, ජනශ්‍රැතියේ ද, අපේ ගම්මානයේ පැතිර තිබූ කවියට ගීතයට නාද රටාවට ද ආගන්තුක වූ ඈත දුර පළාත්වල, රට රටවල සංගීතයට ප්‍රථම වතාවට අපේ දෙසවන් හුරුවන්නට ගත්තේ මෙම ගුවන්විදුලි යන්ත්‍රයෙනි.

එදා අපව ශිෂ්‍යත්ව විභාගයට පුහුණු කළ රන් මැණිකේ ගුරු මව, මේ අලුත් මැජික් පෙට්ටිය අපේ අධ්‍යාපනයට හා හැදියාවට බාධාවක් වෙතැයි සිතා එය පෙට්ටියකට දමා ඉබ්බෙක් දැමුවාය. එය විවෘත කරන ලද්දේ ළමයින් සඳහා හවසට ‘සිරි අයියාගේ ළමා පිටිය’ අසන්නටය. අවට ගම්මානවලින් හුළුඅතු බැඳගෙන රෑපානේ පවා එන අයට අහන්න දුන්නේ සතිපතා ධර්ම දේශනාව පමණි.

කුමාරවන්නි හත්පත්තුවේ උපන් භාෂාවේ ප්‍රභාස්වරය

ඉහත සටහන අපට හමුවන්නේ ‘විශාරද ගුණදාස කපුගේ හා සමකාලීන සාහිත්‍ය කලා විමර්ශන’ කෘතියෙනි. එහි පළවූ ‘කපුගේ ගැන හිතන විට මතක්වෙන මං ගැන’ යනුවෙන් ලියා තිබූ අපුරු විස්තරයේ ඉහත කොටස අපට කියවන්නට ලැබිණි. එදා එලෙස කුඩා කාලයේ තම ගමේ පාසලට ලැබුණු ගුවන්විදුලි යන්ත්‍රය කෙරෙහි ගුරුවරුන් හා වැඩිහිටියන් තුළ තිබූ ආකල්පය ගැන රසවත් අයුරින් ලියුවේ මෙරට බිහිවූ සිංහල සාහිත්‍ය වංශය බැබළවූ අද්විතීය සාහිත්‍යකරුවෙකි.

කුඩා කල පටන්ම අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන් මේ සුවිශිෂ්ට ලේඛකයාගේ සුවිශේෂී බව පාසල් සිසුවකුව සිටියදීම ගොඩනඟාගෙන තිබූ බවට තවත් අනගි සාක්ෂියක් මෙසේ ඔබ ඉදිරියේ දිගහරිමු. එහි සාක්ෂිකරුවා වන්නේ කේ. ජයතිලක නම් වූ මහා ලේඛකයාණන්ය. ඔහු තම ජීවන ගමන්මගේ මතකයේ රැඳුණු අවස්ථාවක් වශයෙන් වරක් මෙම සටහන ලියා තැබීය.

“පරාජිතයෝ කෘතිය පළකර ගැනීමට ගොස් හෙම්බත්ව සිටි අවධියේ පහත සඳහන් ලිපිය තැපෑලෙන් මට ලැබිණි.

මම ශිෂ්‍යත්වයක් පිට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනීම ලබන ශිෂ්‍යයෙක්මි. මගේ ගම අනුරාධපුරයෙන් හැතැප්ම හතළිහක් පමණ ඈත වන මැද පිහිටියකි. මුළු ගමෙන්ම ඇස්. ඇස්. සී. සමත්වූවකු හැටියට ඉන්නේ මා පමණකි. මා ලියූ කෙටිකතා කීපයක් ඇත. ඒවා කියවූ මගේ මිත්‍රයෝ ඒවා උසස් මට්ටමක ඇතැයි කියති. මේ කතා කිහිපය කියවා ඔබේ අදහස් දක්වන්නේ නම් කෘතඥ වෙමි. මේ පිළිබඳව අපේ රටේ ප්‍රවීණ ලේඛකයන් කිහිපදෙනකුටම ලියා යැවූ නමුත් ඔවුන්ගෙන් පිළිතුරක් පවා ලැබුණේ නැත.

ඔහු එවූ කතා කියවූ මම පුදුමයට පත්වීමි. එතරම් දුෂ්කර පෙදෙසක ළමයකුට මෙවැනි කතා නිර්මාණය කළ හැකිද? ඒවා පෙනුමෙන් පරිවර්තන ද විය නොහැක. එහෙයින් ඔහුට හොඳ ප්‍රතිභා ශක්තියක් තිබිය යුතුය.

කෝකටත් ඒවා පරිවර්තන හෝ අනුවර්තන නොවේ නම් ඔහුට හොඳ නිර්මාණ ශක්තියක් ඇති බව ලියා යැවීමි. තම කතා පරිවර්තන නොවන බවට සහතික වූ ඔහු මගෙන් ඉල්ලීමක් ද කළේය. එනම් ඒවා පළකර ගන්නට ක්‍රමයක් සලසා දෙන ලෙසය. මෙය නම් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් විය. මගේම පොතක් පවා පළකර ගැනීමට තිබූ දුෂ්කරතා මම කලින් කීමි.

මින් කලකට පසු නවගත්තේගම තවත් කෙටිකතා කීපයක් ලියාගෙන පැමිණියේය. පසුව ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ නමින් පළවූ සංග්‍රහයට ඒ කතා සියල්ලම පාහේ ඇතුළත් යැයි මම කල්පනා කරමි.

නවගත්තේගමගේ මාධ්‍යය කෙටිකතාවවත්, සාහිත්‍ය විචාරයවත් නොව නාට්‍ය යැයි මා කිවහොත් එය සුදුසු දැයි නොදනිමි. විචාරකයන් වර්ණනා කළ ‘සුභ සහ යස’ හි පමණක් නොව ඔවුන් විවේචනය කළ ‘ගංගාවක් සපත්තු කබලක් සහ මිනිහෙක්’ හි පවා ශූර බවක් පෙනේ. ඔහුගේ බස බොහෝ නුතන ලේඛකයන්ගේ බසට වඩා නිර්මාණාත්මකය. සයිමන් නවගත්තේගම විශේෂ ගති පැවතුම් ඇත්තෙකි. නැතිනම් අසම්මත ජීවිතයක් ගතකරන්නෙකි. කලාකරුවන් විශේෂ ගති පැවතුම් ඇතියවුන් වීම විශ්ව ව්‍යාප්ත ධර්මතාවකි.

ඔහු උපත ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ කුමාරවන්නි හත්පත්තුවේ (ආණමඩුව) නවගත්තේගම නමැති දුෂ්කර ගම්මානයේදීය. 1940 සැප්තැම්බර් 15 වැනිදා ඔහුගේ උපත සිදුවූයේ, උපන් ගෙයීම එක දිගට මියගිය දරුවන් 6 දෙනකුට පසුව එම අවාසනාවන්ත මවුපිය යුවළට දාව උපන් වාසනාවන්ත හත්වැනි දරුවා වශයෙනි.

නවගත්තේගම රන්පටිගේ සයිමන් නවගත්තේගම නම් ලද ඔහු අතින් පසු කලකදී මෙරට පාඨක, විචාරක සියලු පාර්ශ්වයන්හි සම්භාවනාවට පාත්‍ර වූ නවකතා, කෙටිකතා, ගුවන්විදුලි නාට්‍ය, ශාස්ත්‍රීය විමර්ශන, චිත්‍රපට තිර පිටපත් රැසක් රචනා විය. එසේම ඔහු වේදිකාවේදී අප දුටු ප්‍රතිභාපූර්ණ නළුවකු, සුවිශේෂි නාට්‍යකරුවකු හා රූපවාහිනියේ අපූරු වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ද විය.

මේ සුවිශේෂී කලාකරුවා දැයෙන් සමුගත්තේ 2005 ඔක්තෝබර් 09 වැනිදාය. නවගත්තේගමයන් මියයන විට සිංහල සාහිත්‍යයට මහානර්ඝ නවකතා නවයක් දායාද කොට තිබිණි. දඩයක්කාරයාගේ කතාව, සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා, සාපේක්ෂණී, ක්ෂීර සාගරය කැලඹිණ, වානරයා, සුද්දිලාගේ කතාව, සංසාරාරණ්‍ය අසබඩ (රාජ්‍ය සාහිත්‍ය සම්මාන) හිමාල කන්ද තරණය කළ අර්ජුන කුමාරයාගේ කතාව ඔහු ජීවතුන් අතර සිටියදී එළිදැක්වුණු එම නවකතා නවයයි.

නමුත් ‘සන්ධ්‍යා සහ වින්ධ්‍යා’ ඔහුගේ නවකතාවකැයි කියන විට පාඨක ඔබ විමතියට පත්වනු ඇත. නමුත් එය ඔහු අතින්ම ලියැවුණකි. එහෙත් නවගත්තේගමයන් ජීවතුන් අතර සිටියදී පළ නොවූවකි. මියගොස් ටික කලකට පසුව ඔහු ලියූ අත්පිටපත් පිරික්සා බැලීමේදී මෙතෙක් නොපළ කෘතියක අත්පිටපතක් ඔහුගේ බිරිඳ මල්ලිකා නවගත්තේගම මහත්මියට හමුවී තිබේ. එම නවකතාව පුදුමයකට මෙන් ඡායාමය වශයෙන් අවසානයක් දැකිය හැකි කතාවක් විය. ‘සන්ධ්‍යා හා වින්ධ්‍යා’ වශයෙන් (කොළඹ – 10 ෆාස්ට් පබ්ලිෂින් – සුරස පොතක්) පසුව එළිදැක්වුණේ ඔහුගේ එතෙක් නොපළ දසවැනි නවකතාවයි.

සන්ධ්‍යා හා වින්ධ්‍යා නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු පිළිබඳව වෙනස් මගක් ගත් නවකතාවක් ලෙස එය ලියැවී තිබේ. ඔහු ලියූ වඩාත්ම පාඨක ආකර්ෂණය හිමිකරගත් සංසාරාරණ්‍යයේ කතා මාලාවට වඩා වෙනස් භාෂා ශෛලියකින් ලියා තිබූ මෙම කෘතිය ඔහුගේ අසම්මතවාදී ආඛ්‍යාන රටාව තවදුරටත් විශද කරයි.

සයිමන් නවගත්තේගම තමන් ලියූ සෑම කෘතියකින්ම පාහේ මිනිස් ජීවිතය විවරණය කරමින් ගැඹුරු ජීවන දහමක් පිළිබඳ අරුත් සැපයුවේය. ‘සන්ධ්‍යා හා වින්ධ්‍යා’ ද ඊට වෙනස් නොවන බව මාගේ හැඟීමයි.

නවගත්තේගම මිශ්‍ර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සයිමන්, පහේ ශිෂ්‍යත්වය සමත්ව ද්විතීක අධ්‍යාපනය ලැබීමට මහව මහා විද්‍යාලයට ඇතුළත් විය. අනතුරුව රජයෙන් ලැබෙන ශිෂ්‍යත්වයක් මත අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා සරසවි වරම් ලැබීය. පාසල් වියේදීම ‘මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව’ නමින් කෙටිකතා සංග්‍රහයක් පළකොට එමගින් ද විශද කළ ප්‍රතිභාව හේතුවෙන් ඔහු විචාරක ප්‍රසාදයට ලක්ව සිටි බව ඉතිහාසය සාක්ෂි සපයයි.

විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබන ඔහු පිළිබඳව ප්‍රවීණ ලේඛක රෝහණ මද්දුමරාළ මහතා තමන්ගේ “පුත්තලම දිශාව – යටගියාව, සංස්කෘතිය, ජනශ්‍රැති” කෘතියේ මෙසේ ලියා තිබේ.

“ඔහු තම නිර්මාණවලට බොහෝ විට වස්තු විෂය කර ගත්තේ වන්නියේ කැලෑ ගම්වල සිටි ගැමි ජනතාවගේ ඇත්දැකීම්ය. සැබෑ ජීවිතයේදී ද අමුතු, ඔහුටම අනන්‍ය වූ ගති පැවතුම්වලින් හෙබි චරිතයක් වූ සයිමන් ලේඛන කලාව තුළ ද වෙනත් ලේඛකයන්ට වඩා අමුතු ආරක කතා සම්ප්‍රදායක් ගොඩනැඟීමට උත්සාහ ගත්තෙකි.

පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන සමයේ වරක් හදිසියේම ඊට සමුදුන් නවගත්තේගමයන් ජීවිතය නමැති විශ්වවිද්‍යාලයෙන් අත්දැකීම් සෙවීමට ඔහු උපන් ගමට ගොස් පදිංචි විය. ඉන්පසු නැවත වරක් උපාධිය සම්පූර්ණ කොට ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹීය. පසුව ‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක්වෙමින් නව ආරක සාහිත්‍යකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.

ඔහු විවාහ වූයේ මල්ලිකා නවගත්තේගම සමගය. සනී නවගත්තේගම, මායා නවගත්තේගම, කුමාර කාශ්‍යප නවගත්තේගම, සුරනිමල සුදර්ශන නවගත්තේගම, අයේෂා නවගත්තේගම ඔහුගේ දූදරු පිරිසයි.

සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා, 1992 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ‘භාවනාව’, රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු ‘සාංකාව’ වැනි කෙටිකතා කෘති රචනා කළ නවගත්තේගමයන්ගේ කෙටිකතා කෘති පිළිබඳව ‘උදාර ජීවිත’ කෘතිය (ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශනයකි) රචනා කරමින් ශාස්ත්‍රවේදී අරුණ ශාන්ත දඩල්ලගේ මෙසේ ලියා තිබේ.

“සිංහල කෙටිකතා කලාව නව ආරකට ගෙනයෑමට උත්සාහ දැරූ කෙටිකතාකරුවන් අතරින් සයිමන් නවගත්තේගම මහතාට ද වැදගත් තැනක් හිමිවෙයි. රසයෙන් අනූන ව්‍යංගාර්ථයෙන් පිරිපුන් සරල සුලලිත භාෂා රීතියකින් ලියැවුණු ඔහුගේ නිර්මාණ තුළින් අව්‍යාජ ගැමි ජීවිතය අපූර්ව ලෙස විවරණය වේ. එමෙන්ම ඔහුගේ කෙටිකතා තුළින් ගැමි මිනිසුන් තුළ ඇතිවන අභ්‍යන්තර ක්‍රියාවන් හා මානසික කම්පනයන් ද සියුම් ලෙස නිරූපණය වේ.”

ස්ත්‍රී, සිරිමැදුර, සෙයිලම, ක්ෂීර සාගරය කැලඹිණි, සුද්දිලාගේ කතාව, සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා යන චිත්‍රපට තිර රචනා ද, ආචාර්ය බ්‍රයන් ද කෙස්ටර් ඔහු සහ ඔහුගේ අදහස්, බුද්ධිය ප්‍රඥාව සහ ශුන්‍යත්වය, සාහිත්‍ය සමාජවාදය සහ කලා විචාරය වැනි ශාස්ත්‍රීය විමර්ශන ග්‍රන්ථ ද, වානරයා වැනි ගුවන්විදුලි නාට්‍යයන් ද නවගත්තේගමයන් අතින් නිමැවී ලක්මවට පිදුණු අගනා කලා කෘති කීපයකි. ඒ අතරින් ‘සුද්දිලාගේ කතාව’ මෙරට නවකතා මෙන්ම සිනමා ක්‍ෂේත්‍රයේ ද නොමැකෙන මංසලකුණු තැබූ නිර්මාණයක් බවට පත්විය. එහි කතාව සැකෙවින් මෙසේ දැක්විය හැක.

“රොමියෙල් අයි. ආර්. සී. කාරයෙකි. වැඩි කලක් ගතකළේ නිවසේ නොව සිරගෙදරය. සුද්දී ඔහු විසින් සිදාදියෙන් ගමට ගෙන ආ ගැහැනියකි. සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ ගමේ වෙළෙඳ ව්‍යාපාරයක් අරඹයි, ගමේ ආරච්චිගේ සොහොයුරිය විවාහ කර ගනියි. නිධන් රකිනා බහිරවයකු මෙන් ආරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටියි. පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළඟක් මෙන් ගම දිහාවට හමා ආ විට මේ දෙතුන්දෙනා මාරාන්තික කායික මානසික අරගලයක පැටළෙති. ඔවුන්ට මද සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත් වුණු සුද්දීගේ පහසින් පමණි. අවසානයේ සියලුදෙනා තම ජීවිතවලින් වන්දි ගෙවති.”

මෙය එක්තරා සමාජ ආර්ථික විවරණයකි. මානසික විග්‍රහයකි. නිරෝගී දැවැන්ත පුරුෂයන්ගේ හා ගැහැනුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්‍යාත්මක රචනාවකි.

එම නවකතාවේ පෙරවදනේ කතුවරයා මෙසේ පවසයි.

“මෙහි සඳහන් ප්‍රධාන චරිත; එක්තරා අවධියකදී මට ඔවුන් හැමදෙනාම ආශ්‍රය කිරීමට භාග්‍ය ලැබිණි. ඔවූහු මට ජීවිතය හා සමාජය ගැන ඉගැන්වූහ. රොමියෙල්ලා, සුද්දිලා ඔවුන් ජීවත්වූ පරිසරයේ නිශ්චිත ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළෝය. ඒ බව ඔවූහු නොදත්හ. ඒ පළාතේ ධනේෂ්වර මුදලාලි පන්තිය බිහිවී තහවුරු වීමේදී අවිඥානිකව වුව ද වින්නඹුකම් කළේ ඔවූහු ය.”

සයිමන් නවගත්තේමයන්ගේ මේ අපුරු ජීවන අත්දැකීම් පෙළ පසුව ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් අතින් සිනමා නිර්මාණයක් බවට පත් විය. 1986 දී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සරසවි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ‘සුද්දිලාගේ කතාව’යි.

එදා මෙම සිනමා කෘතිය සාර්ථක කර ගැනීමට ජෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලවආරච්චි, සිරිල් වික්‍රමගේ, සොමී රත්නායක, ජේ. එච්. ජයවර්ධන, නිලන්ති විජේසිංහ, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ලලිතා සරච්චන්ද්‍ර, අශෝක පීරිස් රංගනයෙන් දායක වූහ. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් ද පරාක්‍රම ද සිල්වා සහ ඇන්ඩෲ ජයමාන්නගේ කැමරාකරණයෙන් ද ග්‍රැන්විල් රොඩ්රිගූගේ කලා අධ්‍යක්ෂණයෙන් ද එස් ද අල්විස් හා නිව්ටන් වීරසිංහගේ සංස්කරණයෙන් ද බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයෙන් ද සයිමන් නවගත්තේගමගේ තිර පිටපතින් ද එදා ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටය හැඩ විය.

සයිමන් නවගත්තේගම කලාකරුවා මෙරට පොදු ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වූයේ ‘සුබ සහ යස’ වේදිකා නාට්‍ය නිර්මාණය නිසා යැයි යමකු පවසන්නේ නම් එය අවිවාදිත සත්‍යයකි. එහි පිටපත රචනා කරමින් ද, එහි ප්‍රධාන චරිතය රඟපාමින් ද නාට්‍යකරණයේදී ඔහු පෑ පූර්ණ කුසලතාව නිසා සමාජයේ උගත් නුගත් කාගේත් ප්‍රසාදයට පාත්‍ර විය. මෙරට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකර ගත් නාට්‍ය නිර්මාණයක් වූ ‘සුබ සහ යස’ ඓතිහාසික කතා පුවතක් ඇසුරින් බිහිවූවකි.

නමුත් නවගත්තේගමයන් නාට්‍යකරණයට පිවිසෙන්නේ ‘පහන් එළිය’ නාට්‍යය නිර්මාණය කරමිනි. ඒ ජර්මනියේ බ්‍රෙෂ්ට් තියටර් ආයතනයෙන් රංග කලාව හැදෑරීමෙන් අනතුරුවය. ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්, ගගන සරණ කුරුල්ලනේ (පුස්ලෝඩං), පණ්ඩුකාභය, ලෝකෝත්‍ර, සුදු සහ කළු හෙවත් වර්ණ, ඔහු සිංහල නාට්‍ය කලාවට දායාද කළ නිර්මාණයන් ය.

‘මහාවංශය’ විස්තර කරන ආකාරයට ‘යසලාලක තිස්ස’ යනු කවට රජෙකි. එසේම ‘සුබ’ නමැති තම ස්වරූපයට සමාන ද්වාර පාලකයා ‘(දොරටු පාල) සමග කිරීටය හුවමාරු කර ගනිමින් සිදු කළ විහිළුව ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. අවසානයේ රජුව මරා දමා සුබ නම් දොරටුපාලයා රජ විය. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් යුතුව අප හමුවේ තැබූ ‘සුබ සහ යස’ එකල මෙරට ගම් දනව් සිසාරා යමින් වේදිකාගත විය.

එපමණක් නොව මාක්ස් – ලෙනින්වාදී සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිගහැරෙන මෙම නාට්‍ය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වැළඳගත් අපේම යැයි කිව හැකි දේශපාලනික අරුත් සැපයූ තවත් නාට්‍යයක් නැති තරම්ය.

ඔහු ජීවිතය ගැන ලියමින්, ජීවිතය ගැන සොයමින් ජීවිතයේ අර්ථය සොයා ගියේය. ඒ නිසාම ඔහුගේ නිර්මාණ චාරිකාව සිංහල සාහිත්‍ය ලෝකයේ නිම්වළලු පුළුල් කිරීමට හේතු විය. අපේ කාලයේ ජීවත්ව සිටි සාහිත්‍යකරුවන් අතර, සාහිත්‍යධරයා යන වදනට අරුත් සැපයූවකු වෙත්නම් ඒ සයිමන් නවගත්තේගමය. ඉතිහාසයේ දැක්වෙන ආකාරයෙන්ම නොව සමකාලීන සමාජයේ හා දේශපාලනයේ යථාර්ථය ද හෙළි කරන, මිනිස් ධර්මතා සාකච්ඡා කරන සර්වකාලීන කතාවක් ලෙස ඔහු ‘සුබ සහ යස’ ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළේ එබැවිනි.

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment