පරිකල්පනයේ අපූර්වත්වය යශෝධාරා

213

කර්තෘ: යමුනා මාලිනි පෙරේරා
සරසවි ප්‍රකාශනයකි.

යමුනා මාලිනි පෙරේරා ප්‍රමාණවත් තරම් විචාරක අවධානයට හසුනොවුණු එහෙත් රසික නෙත් සිත් ඇද බැඳ ගත් ප්‍රතිභා සම්පන්න කිවිඳියකි. ඇය මීට පෙර “ණයට ගත් සාජ්ජය/කුලී මාලිගා/ තිත්ත මකරන්දය/ මතක සංදේශය/ වාං ගං දෑල/ වරදද සුන්දරය/ ගොළු ගිරා ගීතය/ සඳ සමඟ සක්මන සහ ධනිය නොගැයූ ගීය ආදී වශයෙන් කාව්‍ය සංග්‍රහ පසළොසක් රචනා කොට රසික අවධානය දිනා ගත්තාය. කවිය බොහෝ දුරටම භාව නිරූපණ සාහිතය ශානරයක් බව සත්‍යකි. නිරතුරුවම සිය හැඟීම සහ සංකල්පනා ප්‍රකංපනයට පත්කළ අනුභූතින් කාව්‍යයට නැඟීමට ඇය යුහුසුළු වෙයි. මෑතකදී පළ වූ “යශෝධාරා” කාව්‍ය සංග්‍රහය විමසුමට හසු කිරීමෙන් ඒ බැව් තහවුරු වේ. ඒ හැරණු විට කිවිඳිය පවසා ඇති අයුරින් ධම්මපද ගාථාශ්‍රිත ජීවිතය මැනවින් විනිවිද දුටු අර්ථ සම්පන්න පදරුත් පරිකල්පනාත්මක ප්‍රතිනිර්මාණකරණයට හසු කොට රූපණය කිරීමේ අපූර්ව කුසලතාවක් ඇය ප්‍රකට කරයි. ඒ බැව් “වියෝගය” යන හිසින් නිර්මිත පද්‍ය නිර්මාණයෙන් ප්‍රකට වේ. අප රිසි කරන ඕනෑම දෙයක් ලබා ගැනීමට ප්‍රයත්නයක නියැලේ. එහෙත් ලබා ගැනීමෙන් ටික දිනක් ගෙවී යන විට ඒ ගැන අප දක්වන්නේ උදාසීන ආකල්පයකි. රැයෙහි විල් දියමත ඇතැම් මල් පිපෙන්නේ සඳෙහි ක්‍රියාකාරී ජීවමය ගුණය මතය. කිවිඳිය ඒ බව ධ්වනිතාර්ථ නැගෙන අයුරින් මෙසේ රූපණය කරයි. සඳ, විල, මල්, තරු ඇය ජීවමය වස්තු ලෙස පරිකල්පනය කොට ඇති අයුරු සිත්ගන්නා සුළුය.

“අඳුරට
තරු තුඩකින් ඇන
සඳ ඇහැදැම්මා පොළොවට
මහ පොළොවේ විල් දිය මත
පිපි මල් හිනැහෙනු දැක දැක
සඳ ඔබ හැඬුවා මොහොතක්
ගිලිලා අතීත සුවඳක
පෙර වරදක් සිහිපත් කොට….!

බෝ පතින් සැරසුණු බෝගස වන්දනාමාන කරන උවසු උවැසියෝ සිය ප්‍රාර්ථනා ඉටු කර දෙන්න යැයි ප්‍රාර්ථනා කරති.

“එවන් බෝධිය අසල ගැවසි
වඳිමු-නාවමු-වටේ නමඳිමු
අපට ඕනෑ දේම යදිමින්
ඉටු කරන්නැයි අපේ පැතුමන්
කියා හිත ගිනි ගන්න හැඟුමන්”

(බෝ-පත)

“අන්ධභූත” කාව්‍ය රචනයේ කිවිඳියගේ අපේක්ෂිතාර්ථය වූයේ පුරුෂ පාර්ශ්වය විසින් කාන්තා පාර්ශ්වයට නඟන අභූත චෝදනාව උත්ත්‍රාසාත්මක ලෙස විරෝධාකල්පයට නැඟීමය.

“බමුණු කැල පන්හිඳ අතින් ගෙන
අඹර අඹරා දසත බලමින
රැවුල කස කස ලියති ඉඳගෙන
තලුද මර මර ගැහැනු ගත ගැන
ගැහැනු කවුරුද වරදේ නොබැඳෙන”

යමුනා මාලිනි පෙරේරා මේ කාව්‍ය සංග්‍රහයේදී වඩාත් විමසිලිමත් වී ඇත්තේ අනුභූතිමය විචිත්‍රත්වය පරිකල්පනයෙන් ඉස්මතු කොට දැක්වීමට වඩා ආකෘතිමය සුන්දරත්වය හා අසිරිමත් බව රසික අවධානයට යොමු කිරීමය. කිවිඳියගේ ප්‍රමුඛ අවධානය යොමු විය යුත්තේ අත්දැකීම් විවේක බුද්ධියෙන් උචිත සංකල්පනා නිරූපණයට අදාළ වනසේ තෝරා බේරා ගෙන නිසි පරිකල්පනයට පසුකොට ප්‍රතිනිර්මාණ කිරීමටය. එමගින් රසික සිත් සතන් පිනවීමට රසභාව පූණර් සංකල්පනා ධ්වනිත කරවීමටය. “අවිනීත – අවනිති” කවි පෙළෙන් කිවිඳිය විමසිලිමත් වී ඇත්තේ යුක්තිය හා සාධාරණය නිසි ලෙස ක්‍රියාත්මක වී පොදු ජනතාවට නිසි විනිශ්චය හිමි විය යුතු බවය. එහෙත් බොහෝ විට සත්‍ය යටපත් වී අසත්‍ය හා අසාධාරණය යුක්තිය ලෙස මතු වූ විට එය නොබියව අභියෝගයට හසු කරයි. එය එසේ විය යුතුමය.

‘සමිඳ’ කවි පෙළට විෂය වී ඇත්තේ පිටකොටුව උඩ මහලක වැඩ වෙසෙන පිළිමයක් කේන්ද්‍ර කොටගෙනය. ඒ බුදු පිළිමයකි. අගනුවර වෙළෙඳසැලක වැජඹෙන බුදු හිමියන්ට නගරයේ සිදුවන විවිධ මහා දූෂිත, නිර්ලජ්ජිත, අධම මිනිස් ක්‍රියාකාරකම් රැසක් දැකගන්නට ලැබේ. ඉන් එකක් මේ ය.

කාම රසය දෙන කාමර කුටි නොව
භාව සනසනා කිසිදු දෙයක් නැත…..
මිනිස්සුන් ම කා දමති මිනිස්කම
සමිඳ එදා ඔබ දෙසූ ලෙසේ බණ
යකඩෙන් උපදින මළකඩ හැම විට
එම යකඩය වනසා දමනා ලෙස
මිනිස්සුන් ම කා දමති මිනිස්කම…..

ආදරය හා බැඳුණු යථාර්ථය ගැඹුරින් ධ්වනිත කරන පුදුමය කිවිඳියගේ කවීත්වය ගැඹුරින් හඳුනාගත හැකි නිර්මාණයකි. පීඩනය මතින් සත්‍යය එළිදක්නා බව යථා තත්ත්වය හඳුනාගත හැකි බව යමුනා මාලිනී ගැඹුරින් ධ්වනිත කරයි. හැඟීම් පිඬු කොටු කාව්‍යමය ශක්‍යතා ඉස්මතු කෙරෙන අයුරින් අනුභූතිය පරිකල්පනය කොට ප්‍රතිනිර්මාණය කර ඇත.

මල් ගොඩක් පිපුණේ ම
නියඟයෙන් දුක් වින්ද ගස්වල
පල දරා
හිනැහුනේ
ගල් මුගුරු බැට කාපු
අතුවල
මහ සතුට පිරුණේ ම
කඳුළ හංගාගත්තු ඇස්වල….
ආදරේ
තිබුණේ ම
ආදරෙන්
පෑරිච්ච හිත්වල…

සංකල්පරූප සංකල්පනා කීපයක් ප්‍රතිනිරූපණය කොට තුලන ස්වරූපයෙන් ආදරය නම් භාවය ආදරෙන් බැට කෑ හිත්වලට ආත්මගතව තිබෙන බව අවධාරණය කෙරෙන අයුරු අපූරුය. ළගන්නාසුළුය. සංවේදනශීලී ය. එසේම විචිත්‍ර රමණීයාර්ථ නගන සුළුය. පද සංඝටනය භාව නිරූපණ ශක්‍යතාවෙන් යුක්තය.

රසික හද භාවමය කම්පනයට පත් වන අයුරින් අත්දැකීම පරිකල්පනය කොට ප්‍රතිනිර්මාණය කිරිමට කිවිඳිය ප්‍රකට කරන ප්‍රතිභාව ප්‍රශස්තය.

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment