ලංකාවේ සුන්දරත්වයට සහ බුදුදහමට වශී වූ නොබෙල් සාහිත්‍යලාභී පළමු රුසියානු ලේඛකයා ඉවාන් බූනින්

398

ඉවාන් බූනින්ගේ අභාවයට නොවැම්බර් 08 වැනි දිනට වසර හැත්තෑවක් සපිරුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ලොව බොහෝ ලේඛකයෝ සහ කලාකරුවෝ අන්‍යයන්ගේ දහසකුත් එකක් දුක්වේදනා අනුභව කරමින් අනවරතව සාහිත්‍යකරණයේ නියැළෙති. එහෙත්, ඔවුන්ගෙන් සමහරෙක් තම ජීවන සෞඛ්‍යය නිසියාකාරව පවත්වාගෙන යෑම සඳහා කිසිදු උනන්දුවක් හෝ සැලකිල්ලක් නොදක්වති. එනිසා ම, ඔවුහු ලෝකයට තවත් බොහෝ දේ කරන්නට ඉතිරිව තිබිය දී අකල්හි අපෙන් සමුගනිති. එය ලොව පාඨකයන්ට, රසිකයන්ට මෙන් ම, සමස්ත සමාජයට ම සිදුවන සුවිශාල පාඩුවකි.

එසේ වයස අවුරුදු පනහ ඉක්මවීමටත් පෙර අකල්හි අපෙන් සමුගත් ලේඛකයන් අතර මිහායිල් බුල්ගාකොව් (49), ඇල්බෙයා කැමූ (46), ඇන්ටන් චෙකොව් (44), නිකොලායි ගොගොල් (43), ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (38), ව්ලැඩ්මීර් මායාකොව්ස්කි (37), එමලි බ්‍රොන්ටේ (30), මිහායිල් ලෙර්මන්තොව් (27) වැනි ලෝක ප්‍රකට ලේඛකයන් මෙන් ම, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි (49/50), මහගම සේකර (47) වැනි ශ්‍රී ලාංකික ලේඛකයෝ ද රාශියක් වෙති.

එමෙන් ම, අවුරුදු හැත්තෑවකට වඩා දීර්ඝායු විඳිමින් සාහිත්‍යකරණයේ යෙදුන දෙස් විදෙස් ලේඛක ලේඛිකාවන් බොහෝදෙනකු ද සාහිත්‍ය ලෝකයේ දී අපට හමුවේ. මිලාන් කුන්දෙරා (94), මාර්ටින් වික්‍රමසිංහ (86), කේ. ජයතිලක (85), අගතා ක්‍රිස්ටි (85), ඉවාන් බුනින් (83), වික්ටර් හියුගෝ (83), ලියෝ ටෝල්ස්තෝයි (82), එදිරිවීර සරච්චන්ද්‍ර (82), එච්.ජී. වෙල්ස් (79) ජුලස් වර්න් (77), මාර්ක් ට්වේන් (74), හර්මට් මෙල්විල් (72) වැන්නවුන් ඔවුන් අතරින් කිහිපදෙනෙකි.

ඒ අතරින් 1870 සිට 1953 දක්වා පුරා වසර 83ක් සිය දිවිසැරිය සැලකිල්ලෙන් පවත්වාගෙන යමින් සාහිත්‍යකරණයේ යෙදුන ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයකු වන ඉවාන් ඇලෙක්සෙවිච් බුනින් පිළිබඳ මතක අවදි කරන්නට අප සැරසෙන්නේ ඔහු අපෙන් සමුගෙන නොවැම්බර් 08 වන දිනට පුරා වසර 70 ක් සපිරුණු හෙයිනි.

වසර හැටකටත් වඩා දිගු ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ ඔහු ලෝක මහා යුද්ධ දෙකකට සහ රුසියානු විප්ලව දෙකකට මුහුණ දුන්නේ ය. එම ජීවිතය ඔහුට කිසිසේත් ම සුවදායී එකක් නොවී ය. ලෙඩදුක්, අගහිඟකම්වලින් ගහණ වූ ඒ ජීවිතයේ අවසාන කාලය ඔහු පීඩාවට පත්කළ අයහපත් ශරීර සෞඛ්‍යයෙන් ද පිරී පැවතියේ ය.

එහෙත්, මහලුවිය සහ රෝගාබාධ ගණනකටවත් නොගත් බුනින් ජීවිතයේ අවසානය දක්වා ම තම සිරුරේ ජීවීබව රැකගැන්මට නිරන්තරව උත්සුක වූ අතර, පැහැදිලි තියුණු බුද්ධියකින් යුතුව තම නිර්මාණ කාර්යයන්ට අවැසි ධෛර්යය, ශක්තිය ආරක්ෂා කරගත්තේ ඔහුගේ සමකාලීන ලේඛකයන්ට මෙන් ම, අද්‍යතන ලේඛකයන්ට ද පූර්වාදර්ශයක් වෙමිනි. ගැඹුරු, බැරෑරුම්, සරල, අව්‍යාජ සහ ඍජු බවින් යුක්ත යැයි ඔහු විසින් ම හඳුන්වන ලද ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යයට සිය නිපුණත්වය වැඩි වැඩියෙන් කැප කරන්නට ඔහුට හැකිවූයේ, එහෙයිනි.

සුප්‍රකට දොන් නදියට ගලා බස්නා ‘වොරොනෙෂ්’ ගඟබඩ පිහිටි ‘වොරොනෙෂ්’ ප්‍රදේශයේ පැරණි වංශවත් පවුලක ඔහු උපත ලබන විට එම පවුල දුගී දුප්පත්භාවයේ පතුළට ම ගිලී සිටියේ ය. එහෙත්, ඇනා බුනිනා (1774-1829) කිවිඳිය සහ වසිලි ෂුකොව්ස්කි (1783-1852) කවියා ඔහුගේ මුතුන් මිත්තන් අතර සිටීම බුනින් ජීවිතයට ආඩම්බරයක් වී ය.

ජරාවාස වූ නිවසේ දිවිගෙවූ ඔහුට බොහෝ අගහිඟකම් හා දුෂ්කර තත්ත්වයන්ගෙන් නිරන්තරව පීඩා විඳින්නට සිදුවුව ද, ඔහුට සැනසිල්ලක් ගෙන දුන් එක ම දෙය වූයේ, ඔහුගේ බාල කාලය හා අත්‍යන්තයෙන් ම බැඳුණු ඔහු වාසය කළ සුන්දර ගම්මානය යි.

එනිසා ම ඔහුගේ මුල් කෘතීන් වන ‘උක්‍රේනියානු ගමේ’, ‘ගමේ’ සහ ‘අන්තෝනව් වර්ගයේ ඇපල්’ යන කෙටිකතාවලත්, ‘ගම’ සහ ‘වියළි තැන්න’ ආදි කෙටි නවකතාවලත් ඔහු සිය ජීවිතයේ අවසානය දක්වා ම රුසියානු ගොවියාට දැක්වූ උනන්දුවත්, ආදරයත්, ඔවුන්ගේ චරිත ස්වභාවය හා බැඳුණු ආලෝකවත් හා අඳුරු ස්වභාවයත් නිරූපනය කළේ ය.

දේශාටනයේ යෙදීම බොහෝ සේ ප්‍රියකළ බුනින් මැදපෙරදිග කළ සංචාරයකින් පසුව ඔහු අතින් බිහිවූ ‘පක්ෂියාගේ හෙවනැල්ල’ නමැති කලා ලිපි මාලාව ඔහුට කීර්තිය අත්කර දුන්නේ ය. එසේ ම, 1915 දී ඔහු The Gentleman from San Francisco කතාව ලියා ඇත්තේ ලංකාව, ඉතාලිය යන රටවලට ගොස් කැප්රි දූපතේ නැවතී සිටිය දී ය.

එසේ වුව ද, බූනින් තරුණ කාලයේ දී ම රුසියානු සාහිත්‍යයට ඇතුළුවෙන්නේ කවියකු ලෙස ය. විසිවන සියවසේ පළමු දශකයේ ප්‍රකාශයට පත්කළ ඔහුගේ භාවමය කාව්‍ය සංග්‍රහ කිහිපයක් ම ඔහුට ප්‍රසිද්ධිය අත්කර දුන්නේ ය. ඔහු විසින් පළකරන ලද කාව්‍ය සංග්‍රහ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත්ත ද, ඒවා කාව්‍යමය ගුණයෙන් පොහොසත් වී ය.

ඉවාන් බුනින් යනු තම නිර්මාණ කටයුතුවලට තියුණු ලෙස ලෝකය ග්‍රහණය කරගත් නිර්මාණකරුවෙකි. එය ඔහුගේ නිර්මාණකරණයේ නොසිඳෙන උල්පත බවට පත්වී ය. තමා සොබාදහමේ කොටසක් බව නිරන්තරව මතකයේ තබාගෙන කටයුතු කළ හෙයින්, බොහෝවිට ඔහුට ජීවිතයේ සියුම් ඉසියුම් තැන් මෙන් ම, ගැඹුරු හා තීව්‍ර තැන් ද ස්පර්ශ කරන්නට අවස්ථාව ලැබිණි. එනිසා ම, සකල ලෝක සත්ත්වයා වෙත පැතිරුණු භක්ත්‍යාදරයකින් යුක්තව කටයුතු කරන්නට ද ඔහු සැමවිට ම උත්සාහ කළේ ය. එසේ ම, ඔහු තමන් ආදරය කරන දෑ විනාශ කරන සෑම බලවේගයකට ම දැඩි ලෙස වෛර කළේ ය.

තමා වාසය කළ සුන්දර ගමට ආදරය කරමින් ඔහු ලියූ පෙර සඳහන් කළ කෙටිකතාවලට අමතරව 1897 දී ඔහු ‘ලෝකයේ කෙළවරට සහ වෙනත් කථා’ යනුවෙන් කෙටිකතා එකතුවක් ද, 1891 දී කවි එකතුවක් ද ලියා පළ කළේ ය. එම කවි එකතුවට ඇතුළත් වූයේ, 1887 සිට 1891 දක්වා කාලය තුළ ඔහු විසින් ‘ඔර්ලොව්ස්කි වෙස්ට්නික්’ පුවත්පතේ සාහිත්‍ය අතිරේකයට ලියන ලද කාව්‍ය නිර්මාණයන් ය.

ඉන්පසුව, ‘විවෘත අහස යට’, ‘ගිලිහෙන පත්’, ‘1907 කවි’ සහ ‘කවි’ නමින් කාව්‍ය සංග්‍රහ කිහිපයක් ම ප්‍රකාශයට පත්කළේ ය. ඒ අතරින් ‘ගිලිහෙන පත්’ කෘතිය සඳහා 1901 දී ඔහුට ‘පුෂ්කින් ත්‍යාගය’ හිමිවී ය.

1914 වසරේ ආරම්භ වී දීර්ඝ කාලයක් පැවැති පළමුවැනි ලෝක යුද්ධයත්, 1917 පෙබරවාරි සහ ඔක්තෝබර් විප්ලවයත් නිසා දැඩි මානසික පීඩාවකට පත් බූනින් 1920 ජනවාරි මාසයේ ප්‍රංශය බලා ගියේ ජීවිතය සහ නිර්මාණකරණය පිළිබඳ දැඩි උකටලී බවකිනි. එහි දී ලේඛකයකුට සැබෑ ලෙස නිර්මාණකරණයේ යෙදිය හැක්කේ තම මව්බසින් ය යන්න විශ්වාස කළ ඔහු ප්‍රංශ භාෂාවෙන් නොව, තමන්ට හුරුපුරුදු, තමන් ආදරය කරන රුසියානු බසින් ම දැඩි උද්‍යෝගයකින් යුතුව නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත්තේ ය.

‘ජෙරිකෝවේ රෝසමල’, ‘අස්වනු කපන්නෝ’, ‘මීත්යාගේ ආලය’, ‘හිරුගේ ගිනිපහර’, ‘රාත්‍රිය’ නම් කෙටිකතා සහ කෙටි නවකතා මෙන් ම, ‘අර්සේන්යෙව්ගේ ජීවිතය’ නම් ස්වයං චරිතාපදාන නවකතාවත්, ‘ටෝල්ස්තෝයිගේ විමුක්තිය’ නම් කෘතියත් එහි දී ඔහු ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අතරින් ‘අර්සේන්යෙව්ගේ ජීවිතය’ නම් ස්වයං චරිතාපදාන නවකතාව සඳහා 1933 වසරේ ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය.

ඔහුගේ ‘අඳුරු තුරු මාවත්’ කෙටිකතා සංග්‍රහයට කෙටිකතා රචනා කරමින් සිටි 1937-1945 අතර කාලය ඔහුට අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයක් වී ය. නොබෙල් ත්‍යාගය සඳහා ලද මුදල වියදම් වීම නිසා ඔහු අගහිඟකම්වලින් දැඩි ලෙස පීඩා වින්දේ ය. ඒ අතර පැමිණි ෆැසිස්ට් පාලනය ඔහු තව තවත් දුෂ්කර තත්ත්වයට පත්කළේ ය. එහෙත්, හිට්ලර්වාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත්, අමෙරිකාවේ පදිංචියට යාමත් එකහෙළා ප්‍රතික්ෂේප කළ බූනින් ‘ග්‍රාස්’ නගරයට වී ස්වයං සිරගත දිවියක් ගත කළේ ය.

සංචාරයේ යෙදීම බෙහෙවින් ප්‍රියකළ බුනින්ගේ ලංකා ගමන ඔහුගේ ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් වී ය. එසේ ඈත අතීතයේ සිට ලංකාවට සපැමිණි රුසියානුවන් පිළිබඳව බොහෝ තොරතුරු ඇතුළත් රුසියානු ලේඛක ඇනටොලි රොඩොව්ගේ My Sri Lanka ඉංග්‍රීසි කෘතියේ බූනින්ගේ ලංකා සංචාරය පිළිබඳ තොරතුරු රැසක් සඳහන් වේ.

එහි ඇතුළත් බුනින්ගේ දින සටහන්වල ‘ලංකාව’ මැයෙන් ඔහු ලියා ඇති කෙටි කවක් මෙසේ ය.

‘පොළොවේ කෙළවර
පාළු වෙරළබඩ පෙදෙස්
ධ්‍රැවයට විවර මහ සයුරක්’

බුනින් ලංකාව ගැන දැනගන්නේ 1890 දී ලංකාවට පැමිණි රුසියානු ලේඛක ඇන්ටන් චෙකොව්ගෙනි. ලංකාව ගැන චෙකොව් සඳහන් කළ කරුණුවලින් ආභාසය ලැබ ලංකාවට පැමිණෙන බුනින් විශේෂයෙන් ම චෙකොව් සංචාරය කළ ස්ථාන කරා ගමන් කරන්නට උත්සුක වී තිබේ.

බුනින් තබා ඇති ඔහුගේ මතක සටහන්වලට අනුව ඔහු අනුරාධපුරය, මහනුවර, කොළඹ, නුවරඑළිය යන ස්ථානවලට ගොස් තිබේ. මාතරට ගිය ඔහු එහි පරිසරය මෙසේ කවියක දවටයි.

‘ලන්දේසි බලකොටුවකි
මාතර
දිය අගල් සහ තාප්ප ඇති

එහි දොරටුවලින් ඇතුළත
සෙවණැති මංමාවත් ය

නෙරළු වනයේ
නෙරළු තුරු අතර
සිංහල පැල්පත් ය

උණුසුම් වියළි වැලිත්
මහ සයුරත්
දකුණින් දිලිසෙයි’

බුනින්ගේ දින සටහන්වලට අනුව ඔහුත්, ඔහුගේ අනාගත බිරිඳ වේරා නිකොලෙව්නා මුරොම්ට්සේවා 1911 මාර්තු 02 වන දින ‘යුනාන්’ නම් ප්‍රංශ නෞකාවෙන් කොළඹට පැමිණ තිබේ. ඉන් දෙදිනකට පසු ඔවුන් දුම්රියෙන් මහනුවරටත්, පසුව අනුරාධපුරයටත්, ශ්‍රී පාදස්ථානයටත් ගොස් තිබේ. ඔවුන්ගේ මෙම සංචාරයන් පිළිබඳ අපූරුසටහන් රැසක් ඉවාන් බුනින් මෙන් ම, වේරා නිකොලෙව්නා විසින් ද ඔවුන්ගේ දිනසටහන්වල තබා ඇත. එම රසවත් විස්තර මෙවන් කෙටි ලිපියක පළකිරීම දුෂ්කර ය.

බුනින් සිය ලංකා ගමනේ දී බුදුදහම ගැන සමීප දැනුමක් අත්කර ගත් අතර, පසුව එය ගැඹුරින් අධ්‍යයනය කිරීම හේතුවෙන් එය ඔහුගේ ලෝක දැක්ම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළේ ය. අනුරාධපුරය සහ එහි පැරණි නගරයේ පිහිටි නටබුන් බුනින්ගේත්, වේරාගේත් සිත් තදින් පැහැරගත් අතර, පසුව බුනින් ලියූ ‘රජවරුන්ගේ නගරය’ කතාවේ ඔහු ඒ පිළිබඳව මෙසේ ලිවී ය.

‘බෞද්ධ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුරාණ නගරය වන අනුරාධපුරය මේ වනවිට කැලෑවෙන් වැසී දුෂ්කර ගම්මානයක් බවට පත්ව තිබේ. වසර දෙදහසකට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති එය මුළු පුරාණ පෙරදිග තරම් ම ආශ්චර්යමත් සහ සමෘද්ධිමත් එකක් වී ය. එම නගරය රෝමයට වඩා පහත් නොවන අතර, පූජනීය බෞද්ධ ධාතුන් තැන්පත් කිරීම සඳහා ඉදිකර ඇති සුවිසල් චෛත්‍ය ඊජිප්තුවේ පිරමීඩ පවා අභිබවා යයි.’

එසේ අපේ රටේ සෞන්දර්ය සහ ප්‍රෞඪ ඉතිහාසය අගය කළ ඉවාන් බුනින් 1953 නොවැම්බර් 8 වන දින අලුයම පැරිසියේ දී හෘදයාබාධයකින් මිය ගියේ ය. ඔහුගේ අවමංගල්‍යය අති උත්කර්ෂවත් ලෙස සිදුකරන ලද අතර, රුසියානු, ප්‍රංශ ඇතුළු ලොව බොහෝ පුවත්පත් ඔහුගේ මරණය ගැන විශාල වශයෙන් ශෝක ප්‍රකාශ පළ කළේ ය.

ඔහුගේ දේහය සෑහෙන කලක් සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබූ අතර, 1954 ජනවාරි 30 වන දින දේහය රුසියානු සුසාන භූමියක තැන්පත් කරනු ලැබී ය.

1950 ගණන්වල දී සෝවියට් සංගමය ‘පිටුවහල් රුසියානු ලේඛකයන්ගෙන් පළමුවැන්නා’ ලෙස ඉවාන් බුනින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. 1965 දී, බුනින්ගේ සම්පූර්ණ නිර්මාණ කාර්යයන් වෙළුම් නවයකින් යුතුව ප්‍රකාශයට පත් වී ය. ඔහුගේ සමහර ආන්දෝලනාත්මක පොත්, විශේෂයෙන් ම ‘ශාපලත් දවස්’ නවකතාව 1980 ගණන්වල අගභාගය දක්වා සෝවියට් සංගමය තුළ තහනමට ලක්වී ය. එහෙත්, ඒ කිසිදු තහනමකින් ඉවාන් බුනින්ගේ නිර්මාණ කාර්යයන් පසුබෑමට ලක්කළ නොහැකි වී ය. භෞතිකව මියගිය ද, ඔහු තවමත් අප අතර ජීවත් වෙයි.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment