මම කැමති සිනමාවට – චිලී තිලංක

99

ටෙලි නාට්‍ය බලන්න වෙලාවක් නැහැ

චිලී තිලංක පසුගිය කාලයේ වැඩි සද්දයක් බද්දයක් නැති වුණා. ඔය අතර මේක පුදුම කතාවක් සහ රයිඩර් චිත්‍රපට හරහා ඔහු නැවතත් කරළියට ඇවිත්. මේ ගැන තොරතුරු දැනගන්න චිලී එක්ක කතාබහකට එකතු වුණ වෙලාවේ මෙන්න මේ තොරතුරු ඔහු මීවිතට කිව්වා.

චිලී” අලුත්ම චරිත දෙකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ප්‍රේක්‍ෂකයන්ගෙන් වගේම අධ්‍යක්‍ෂවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. මම නළුවෙක් හැටියට ක්‍ෂේත්‍රයේ ස්ථිර වුණ බව මේ චරිත දෙක හරහා මට දැනෙනවා.

● කොච්චර කාලෙකින්ද මේ චිත්‍රපට දෙක තිරගත වෙන්නෙ?

මෙහෙමයි” මම ගායන ක්‍ෂේත්‍රයට පැමිණි කාලයේ පටන්ම රංගනයට එකතු වෙන්න වාසනාව ලැබුණා. ඒ අනුව ක්ලීටස් මෙන්ඩිස්ගේ පරපුර” මගේ යාලු මාළු යාලු වගේම දිනේෂ් ප්‍රියසාද් මහත්මයාගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. නමුත් මට ප්‍රධාන චරිතයකට අවස්ථාව ලැබෙන්නෙ ලාල් ප්‍රියදේව මහත්මයාගෙ මේක පුදුම කතාවක් චිත්‍රපටයේ. ඉදිරියේදී තවත් සිනමා නිර්මාණ දෙකක් තිරගත වීමට නියමිතව තියෙනවා.

මම කැමති සිනමාවට - චිලී තිලංක

● ප්‍රධාන නළුවාගේ අත්දැකීම ගැන කතා කළොත්?

ඇත්තටම ඒක මගේ කලා දිවියේ ලබපු හොඳම අත්දැකීමක්. මේක පොඩි දරුවෙක් වටා ගෙතුන ලස්සන කතාවක්. ලාල් මහත්මයාට වුවමනා වෙලා තිබුණේ මාව ක්‍රියාදාම නළුවෙක් හැටියට පෙන්නන්න. ඒ වෙනසත් එක්ක ප්‍රේක්‍ෂකයන් මාව වැළඳගෙන තියෙන බව ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනෙනවා.

● රයිඩර් චිත්‍රපටයේ ඔබ දුෂ්ටයා?

මෙතන ඉන්නෙ අපේ පැරණි සිංහල සිනමාවේ හෝ වෙනත් සිනමාවක අපි දැකපු සාම්ප්‍රදායික දුෂ්ටයා නෙමෙයි. නව පරපුරේ නව නිර්මාණවල එන දුෂ්ටයා අවසන් මොහොත වන තුරු තේරුම් ගන්න අපහසුයි. මට ලැබුණෙ එවැනි චරිතයක්.

● වැඩි ප්‍රතිචාර මොන චරිතයටද?

මේ චරිත දෙකම මගේ මහන්සියේ ප්‍රතිපල දෙකක්. එකකට එකක් හාත්පසින්ම වෙනස් නිසා එකකටවත් විශේෂයක් කියන්න බැහැ. ප්‍රේක්‍ෂකයාත් ඒක දකිනව.

● මේ දවස්වල මොනවද වැඩකටයුතු?

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ දේවී කුසුමාසන චිත්‍රපටයට ආරාධනයක් ලැබුණා. ලබන සතියේ එහි ෂූටිං පටන්ගන්නවා.

● මේ ආරාධනය ඔබට විශේෂයිද?

මම බොහොම පොඩියට රංගනය කියන ක්‍ෂේත්‍රයට එකතු වුණේ. අද එතුමා වගේ දැවැන්තයන් සමග වැඩකරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ අත්දැකීම බෙදාගන්න කල් බලමින් ඉන්නවා. නමුත් මේකෙන් මම කියන්නෙ නැහැ කලින් වැඩකළ අධ්‍යක්‍ෂවරු මට විශේෂ නැහැ කියල. මම පුංචි කාලෙ ඉඳන් බොහොම ආසාවෙන් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නිර්මාණ රසවිඳපු කෙනෙක්. අද මට එතුමා එක්ක වැඩකරන්න ලැබුණා කියන දේම ලොකු අත්දැකීමක්.

● ටෙලි නාට්‍යවලට ආරාධනා නැතිද?

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිල තියෙනව. නමුත් මම වැඩියෙන් ප්‍රිය කරන්නෙ සිනමාවට.

● චිලී කැමති සිනමා නළුවෙක් වෙන්න?

ඒ කාලෙ ඉඳන්ම මගේ කැමැත්ත තිබුණෙ සිනමාවට තමයි. ලංකාවේ වගේම ලෝක සිනමාව ගැනත් උනන්දුයි. ටෙලි නාට්‍ය බලන්නත් මට කාලවේලාවක් නැහැ.

● ඔබ ළඟ හිටපු ගායකයාට මොකද වුණේ?

එයා එහෙමම ඉන්නව. කිසි අඩුපාඩුවක් නැහැ. කොරෝනා කාලෙන් පස්සෙ මගේ පෞද්ගලික ජීවිතයේ සිදු වුණ වෙනස්කම් එක්ක ගීත නිර්මාණ කරන්න ඉඩක් ලැබුණෙ නැහැ.

● දැන් දෙදරු පියෙක්?

ඔව්” මම දැන් දෙදරු පියෙක්.

● කොහොමද ඒ අත්දැකීම?

ඒක මම ජීවිතයේ ලබපු භාරදූරම සහ වටිනාම අත්දැකීම. බොහොම ආසාවෙන් ආදරෙන් ඒ ජීවිතේ ගෙනියනවා.

● බිරිඳගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඇය මගේ කලාකටයුතුවලට කිසිම බාධාවක් කරන කෙනෙක් නෙමෙයි. අපේ සම්බන්ධය අද ඊයේ ඇති වුණ දෙයක් නෙමෙයිනෙ. එදා ඉඳන්ම ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව මගේ වැඩවලට. ගෙදර ඇතුළට මම කලාවේ දේවල් ගේන්නෙ නැහැ. ඒ නිසා කොහොමත් ගැටලු ඇතිවෙන්න ඉඩක් නැහැ.

● කොහොමද ව්‍යාපාර කටයුතු?

ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි හොඳින් කරගෙන යනව. මගේ බිරිඳගෙත් අදහසක් තියෙනව මේ අවුරුද්දෙ පොඩි ව්‍යාපාරයක් පටන්ගන්න. ඒ කටයුතුත් සැලසුම් කරගෙන යනව.

● එදා තිබුණු ජනප්‍රියත්වයේ වෙනසක් වෙලාද?

ඒකනම් මම දන්නෙ නැහැ. නමුත් එදාට වඩා අද වෙනකොට වැඩ නම් වැඩිවෙලා තියෙනව.

● ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවද?

ඔව්” ඉස්සර ලැබුණාට වඩා වැඩි ආරාධනා ප්‍රමාණයක් මේ වන විට ප්‍රසංග සඳහා ලැබෙනව. මගේ ගෙවීම් සාධාරණව ලැබෙන” තෝරාබේරාගත් ප්‍රසංගවලට මම සහභාගි වෙනව. ඒ වගේම සමහර විවාහ උත්සව වලදී සප්‍රයිස් එකක් හැටියට ගීත ගායනා කරන්නත් ආරාධනා ලැබෙනව.

● අලුත් ගීතයක් කරන්න අදහසක් නැද්ද?

අලුත් ගීතයක් කරන්න අදහසක් තියෙනව. අලුත් චිත්‍රපටයේ රූගතකිරීම් සඳහා මාසයක විතර කාලයක් ෂෙඩුල් කරල තියෙනව. ඒක භාරධූර කාර්යයක්. එයින් පස්සෙ ගීතය වෙනුවෙන් මහන්සි වෙනව. ඒ වෙනුවෙන් මගේ පෙනුමත් ටිකක් වෙනස් කරගන්න සිදු වෙනව. කොහොමත් මේ අවුරුද්දේ ගීත දෙකක් පමණ එළිදක්වන්න අදහස් කරගෙන ඉන්නව.

● පසුගිය කාලයේ වැඩි සද්දයක් තිබුණෙ නැහැ?

මම මගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්. පෞද්ගලික ජීවිතේ ප්‍රදර්ශනය කරල දඟලන කෙනෙකුත් නෙමෙයි. සෝෂල් මීඩියා හරහා මාව ෆලෝ කරන ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් ඉන්නව. ඒ අයට මං කරන දේවල් බලාගන්න පුළුවන්.

● ප්‍රසංග වේදිකාවේ ඔබ තවමත් ජනප්‍රියයි?

සමහරු අපිව වර්ගීකරණය කරල නව පරපුරේ අය විදිහට රාමු කරන්න හැදුවට ප්‍රේක්‍ෂකයන් අතරට ගියාම අපිට වෙනම ප්‍රතිචාරයක් තියෙනව. බොහොම ආදරෙයි” ළෙන්ගතුයි. මවාපාන්න දෙයක් නැහැ. අවංකව ආදරේ කරන රසිකයන් පිරිසක් ඉන්නව කියන එක ගැන බොහොම ආඩම්බරයි.

● ජීවිතේ දකින්නෙ කොහොමද?

මම මගේ ජීවිතයේදී අටලෝදහම හොඳින්ම අත්විඳපු කෙනෙක්. ඒවායින් හොඳ අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ පන්නරයෙන් දැන් අනාගතය ගොඩනඟා ගන්න මට දැක්මක් තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment