විශේෂ ශුභඵල – කාන්තාවන්ට ලබාදෙන රතුකැට මැණික් ගැන දැනගනිමු

295

ලොව පවතින මැණික් අතර වටිනාම මැණික ලෙස රතු – කැට මැණික සඳහන් කළ හැක.

සිත්ඇදගන්නා තද රතු පාටකින් යුතු මෙම මැණික ඉදුණු දෙළුම් ඇටයක වර්ණයට සමාන වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව රතුකැට ලෙස හඳුන්වන මෙම මැණික ලොව අනෙකුත් රටවල රූබි ලෙස හඳුන්වයි. ලොව වෙසෙන ජනතාව අතරින් වැඩිම ආකර්ශනයක් දිනාගත් මැණික ද රතු කැට මැණික හෙවත් රූබි ය. රතු කැට මැණික් මිලදී ගැනීමේදී බොහෝ සැලකිලිමත් විය යුතුය. ඒ රතු කැට මැණිකේ පාටට සමාන වෙනත් මැණික් වර්ග දෙකක් ද මැණික් අතර තිබීමයි. ඒ තෝරමල්ලි හා රතු කිරිංචි යන මැණික් දෙවර්ගයයි. මෙම මැණික් දෙවර්ගය සමග රතු කැටයක් තැබූ විට එම මැණික් වර්ග තුනම එක සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් මැණික් සම්බන්ධව හොඳින් දන්නා අයකුට නම් රතු කැට වෙන්කර හඳුනා ගැනීම ඉතා පහසු වේ. ඒ නිසා රතු කැට මැණිකක් මිලදී ගැනීමට යෑමේදී ඒ පිළිබඳ හසල දැනුමක් ඇති අයකු සමග යෑමට වගබලා ගන්න.

ග්‍රහ පවුලේ ඇති ග්‍රහයන් 9 දෙනාගෙන් ග්‍රහ පවුලේ සෙන්පතියා ලෙස හඳුන්වන කුජ ග්‍රහයාට අයිති මැණික ලෙස රතු කැටය හඳුන්වනු ලබයි. විවාහකාරක ලෙස සිකුරු ග්‍රහයා නම්දැරුව ද කාන්තාවන්ගේ විවාහකාරකයා ලෙස කුජ නම්දරයි. ඒ නිසා රතු කැට, කාන්තාවන් පැළඳීමෙන් එම කාන්තාවන්ට ඇති විවාහ දෝෂ මගහැරෙන බව ද සඳහන් වේ. නමුත් මෙම රතු කැට පැළඳීමේදී අදාළ ජන්මියාගේ උප්පත්ති භාව කේන්ද්‍රයේ කුජගේ බල දුබලතාව බැලිය යුතුයි. කුජ ග්‍රහයා ජන්ම පත්‍රය තුළ උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර බලයෙන් වේ නම් පමණක් රතු කැට පැළඳීමෙන් ශුභ ඵල උදාකර ගත හැකි වනු ඇත. යම් හෙයකින් ජන්ම පත්‍රය තුළ කුජ ග්‍රහයා සතුරු, සතුරු මුඨ හෝ භංග නොවන නීචයක වේ නම් කිසිවිට රතු කැට පැළඳීම නොකළ යුතුයි. එවැනි ජන්මීන් රතු කැට පැළඳීම තුළින් කුජ ග්‍රහයා දුර්වල වීමෙන් ලැබෙන අශුභ ඵල තව තවත් වැඩි කරනු ඇත.

රතු කැට බොහෝ රෝග සඳහා ද ඉතා උචිත වේ. ඒ අතර ස්ත්‍රීන්ගේ ඔසප් චක්‍රයේ ඇතිවන දෝෂ, ගර්භාෂයේ රෝග, දරුඵල ප්‍රමාද දෝෂවලට මෙන්ම උද්‍යෝගය, ක්‍රියාශීලීකම වැඩි කිරීමට ආත්ම ශක්තිය, පෞරුෂය, ආත්ම විශ්වාසය වැඩි කිරීමට ද යෝග්‍ය වේ. මෙම රතු කැට මැණික සතර සෞභාග්‍ය වස්තූන්ගෙන් එකක් වීම ද විශේෂ වේ. සතර සෞභාග්‍ය වස්තු වන්නේ දක්ෂිණාවෘත වාලම්පුරිය, ගජමුතු, රතු කැට හා සර්වඥ ධාතු යන සතරයි. මෙම සතර වර්ගය ඇති නිවසක් හතරමහා නිධානය පහළවූ නිවසක් ලෙස නම් දරයි. ඒ නිසා රතු කැටය පුද්ගලයන්ට සෞභාග්‍ය, සතුට, වස්තුව ළඟාකර දෙන මැණිකක් ලෙස ද ප්‍රසිද්ධය.

රතු මැණික්වලට කාමාශාව වැඩි කිරීමේ ශක්තියක් ද පවතී. විශේෂයෙන් රතු මැණික් ලිංගික බෙලහීනතා ඇත්තවූන්ට විශේෂිතම මැණික් වර්ගයයි. කුජ ග්‍රහයාගෙන් නිකුත් වන කිරණ උරා ගන්නා රතු කැටය තුළ යකඩ මූලද්‍රව්‍ය අඩංගු වේ. ඒ නිසා රතු කැට මැණික ක්‍රියාශීලී භාවයෙන් ප්‍රමුඛ ස්ථානය ගනී. ඒ නිසා රතු කැට පැළඳීම තුළින් සිරුරේ රුධිර ක්‍රියාකාරීත්වය හා හෝමෝන ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් සිදු කරයි.

මෙම රතු මැණික්, රාශි චක්‍රයේ ඇති රාශි 12 ට ද විවිධ ශුභ ඵල උදාකරයි. නමුත් එම ලග්නවලට රතු කැට පැළඳීමේදී පෙර කියූ පරිදිම භාව කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ බලය සොයා බලවත් නම් පමණක් පැළඳීමෙන් ලග්නයට රතු කැට පැළඳීමෙන් ලැබෙන ඵලය ලබා ගත හැක.

මේෂ රාශියේ සිට මීන රාශිය තෙක් ඇති රාශින්වලට රතු කැට පැළඳීමෙන් ලැබෙන වැසි සොයා බලමු.

ලග්නය මේෂ රාශිය වී කුජ ග්‍රහයා ද මේෂ රාශියේ හෝ වෘශ්චික රාශියේ වේ නම් එවන් ජන්මියෙක් රතු කැටය පැළඳීම තුළින් ඔවුන්ගේ පෞරුෂය, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා ක්‍රියාශීලී බව වර්ධනය වේ. මෙවන් ජන්මීන්ගේ විවාහ දෝෂ ඇත්නම් ඒවා ද සමනය වී යනු ඇත. නමුත් මෙම කුජ, එම ජන්මියාගේ බාධක ග්‍රහයා වේ නම් රතු කැට පැළඳීම නොකරන්න. මන්ද එවිට බාධක බලය වැඩිපුර ක්‍රියාත්මක වන නිසාය. කුජ ග්‍රහයාට මිත්‍ර රාශි වන සිංහ, ධනු, මීන යන රාශීන්වල කුජ ග්‍රහයා සිටි නම්, එම මේෂ ලග්න හිමියන්ට රතු කැට පැළඳීමෙන් අශුභ ඵල වැඩි වේ. ලග්නය මේෂ වී කුජ ග්‍රහයා ශුභ භාවයක සිටිය ද එම කුජ 22 වන දෙර්කාණාධිපති වේ නම් රතු කැට පැළඳීම නොකළ යුතුයි.

වෘෂභ ලග්න හිමියන්ට රතු කැට පැළඳීමෙන් යුගදිවියේ ප්‍රීතිය, සතුට වර්ධනය වන බව පිළිගැනීමයි. නමුත් සෑම වෘෂභ ලග්න හිමියකුටම රතු කැට පැළඳීම ශුභදායක නොවේ. ලග්නය වෘෂභ වී කුජ ග්‍රහයා උප්පත්ති භාව කේන්ද්‍රයේ කුජ ග්‍රහයාට උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර යන රාශියක සිටී නම් පමණක් රතු කැට පැළඳීමෙන් ශුභඵල උදා කරයි. සතුරු, සතුරු මුඨ, භංග නොවන නීචයක හෝ සම මුඨ රාශියක කුජ ග්‍රහයා වේ නම් කුජ හිමි රතු කැටය පැළඳීමෙන් අශුභ ඵල උදා කරනු ඇත. පෙර කී ලෙසම එම කුජ 22 වන දෙර්කාණාධිපති වේ නම් ද රතු කැට පැළඳිමෙන් වළකින්න.

මිථුන ලග්න හිමියන්ට ද කුජ ග්‍රහයා ශුභ භාවයක වේ නම් රතු කැට පැළඳිමෙන් ආර්ථික දියුණුව මෙන්ම කරදර බාධක අවම වීම ද සිදු වේ. අසනීප තත්ත්ව වේ නම් සමනය වීම ද සිදු වේ.

කටක ලග්න හිමියන්ට කුජ ග්‍රහයා ජන්ම පත්‍රය තුළ ශුභ භාවගතව වේ නම් රැකියාවේ දියුණුව, ආර්ථික දියුණුව, ප්‍රේම සබඳකම් දියුණු වීම, දරුඵල ඉක්මන් වීම ආදී බොහෝ ශුභ කරුණු සිදුවේ. අනෙකුත් ලග්නවලට මෙන් නොව කටක ලග්න හිමියන්ට කුජ ශුභ භාවගත වී රතු මැණික් පැළඳීමෙන් ශුභඵල දෙගුණ තෙගුණ වී යනු ඇත. මන්ද කටක ලග්න හිමියන්ට යෝග කාරක ග්‍රහයා කුජ නිසාය.

සිංහ ලග්න හිමියන්ට ද රතු කැට විශේෂ ශුභතාවක් පෙන්වයි. කටකයට මෙන්ම සිංහයට ද යෝග කාරකයා කුජය. ඒ නිසා රතු කැට පැළඳීමෙන් සිංහ ලග්න හිමියන්ට තේජස, ප්‍රසිද්ධිය, ධනය, බලය ලැබෙන බව ද සඳහන්ය. නමුත් කුජ, ජන්ම පත්‍රය තුළ ශුභ භාවයක සිටිය යුතු බව ද තරයේ සිත තබා ගන්න.

කන්‍යා ලග්න හිමියන්ට තදබල අපලකාරී ග්‍රහයා කුජ වේ. 8 අධිපති වෙමින් 22 වන දෙර්කාණාධිපති වීම නිසාය. ඒ නිසා කුජ ශුභ භාවයක සිටිය ද රතු කැට පැළඳීම සිදු නොකළ යුතුයි.

තුලා ලග්න හිමියන්ට රතු කැට පැළඳීම තුළින් ආර්ථික දියුණුව ලැබෙන අතර විවාහ ජීවිතයේ සමගිය, සතුට, වර්ධනය වනු ඇත. විවාහ ඉක්මන් වී ප්‍රේම සබඳකම් ශක්තිමත් වීම ද සිදු වේ.

වෘශ්චික ලග්න හිමියන්ට රතු කැට පැළඳීම තුළින් ශක්තිය, ධෛර්යය, බලය වර්ධනය වන අතර කරදර බාධක ජය ගැනීමේ ශක්තිය ද ලැබේ. ආර්ථික අතින් ද දියුණුව ලැබීම සිදු වේ.

ධනු ලග්න හිමියන්ට ද රතු කැට පැළඳීම තුළින් රෝග, දුක් පීඩා සමනය වීම සිදුවේ. විශේෂයෙන් කාන්තා රෝගවලට සහන සලසයි. තම රටෙන් බැහැරව වෙසෙන අයට ද දියුණුව, සෞභාග්‍ය ඇති කරයි.

මකර ලග්න හිමියන්ට ඇති රෝගාබාධ සමනය වන අතර ගෘහ ජීවිතයේ දියුණුව, ආර්ථික දියුණුව ඇතිවන අතර උද්‍යෝගයෙන් යුතුව කටයුතු කිරීමට ද හැකියාව ලැබේ.

කුම්භ ලග්න හිමියන්ට ආර්ථික දියුණුව, රැකියාවේ උසස්වීම් හා ව්‍යාපාර දියුණුව ආදී කොට ඇති සියලුම දියුණුවීම් රතු කැට පැළඳීම තුළින් හිමිවේ.

මීන ලග්න හිමියන්ට රතු කැට පැළඳීම තුළින් විශේෂ ශුභඵල රාශියක් උදා කරයි. ඒ අතර ආර්ථික දියුණුව මෙන්ම වාසනාව, සෞභාග්‍ය උදාවීම ප්‍රධාන ස්ථානයක් ගනී. මීන ලග්න හිමියන්ට යෝග කාරක ග්‍රහයා කුජ වීම ශුභඵල උදා කිරිමට විශේෂ හේතුවයි.

මුදලින් දියමන්තියට පමණක් දෙවැනි වන රතු ුකැට මැණික හෙවත් රූබි ඔබත් පැළඳ සෞභාග්‍යය උදාකර ගන්න. නමුත් මෙම මැණික් මිලදී ගැනීමට යෑමේදී මැණික් සම්බන්ධ දැනුම ඇති අයකුගේ උදව් ගත යුතු අතර, පැළඳීමේදී මැණික් ප්‍රතිකර්මය සම්බන්ධ හසල දැනුමක් ඇති දක්ෂ ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබා ගන්න. ආවට ගියාට මැණික් පැළඳීම නොකරන්න කෙනකුට ශුභඵල දුන් මැණිකක් ඔබට ශුභඵල නොදෙනු ඇත.

විශේෂ ශුභඵල - කාන්තාවන්ට ලබාදෙන රතුකැට මැණික් ගැන දැනගනිමු

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment