කිරි කළයට තවත් කිරි එරිණි

901

කළයක් පුරවා කිරි දෙව්වද ඊට ගොම බින්දක් හෝ එක්වුවහොත් ඒ කිරි දෙවිල්ලෙන් වැඩක් ඇත්තේම නැත. පාර්ලිමේන්තුවේදී පසුගිය දිනෙක කිරි කළයක් ගැන කියවිණ. ඒ කිරි කළය වූ කල්හි ස්වාධීන අධිකරණයයි. නිවී හැනහිල්ලේ හිතා බලන කළ අධිකරණය නමැති කිරි කළයට වරින් වර සහ නොයෙක් වාරයන්හිදී ගොම එක්කිරීමට බොහෝ බලවත්තු උත්සාහ කළෝය. එහෙත් ඒවා ගඟට කැපූ ඉණි සේ යැයි පැහැදිලි වන තීන්දුවක් උපරිමාධිකරණය විසින් පෙරේදා ලබා දුන්නේය.

වසර තිහක් තිස්සේ පැවැති කාලකන්නි යුද්ධය අවසන් වී 2020 වන විට හෝ අපේ රටට සංවර්ධන යුගයක් උදාවේ යැයි සමස්ත ජනතාව තුළ විශ්වාසයක් විණ. එහෙත් 2020 පසුවී වසරක් දෙකක් යන විට ඒ විශ්වාසයන් සුණු විසුණු වී ගියා පමණක් නොව අපේ රටේ ආර්ථිකය ගොනා බැඳි කරත්තයටම ඇද වැටිණ. ජනයා සුවිශාල බලාපොරොත්තු බැඳගෙන එතෙක් කළ කැප කිරීම් ගැන හිතන්නවත් නොදී පෝලිම්වල මියැදෙන යුගයක් උදාවී රට සම්පූර්ණ වශයෙන් බංකොලොත්ම වී ගියේ යැයි නිවේදනය විණ.

එහෙත් මේ බංකොලොත්භාවයට වගකිවයුත්තකු අධිකරණ තීන්දුව දෙන තෙක්ම සිටියේම නැත. එය අවාසනාවකට වූ ඇත්ත කතාවකි. අපේ රටේ සිදුවන බොහෝ දේවල්වලට වගකිවයුත්තෝ කව්දැයි කියා මෑත කාලයේ අපි නොදුටුවෙමු. මිනිස්සුන් කෑලි කෑලි කර විසී කළ පාස්කු ප්‍රහාරය ද එවැනි ප්‍රධානම අවාසනාවන්ත කතාවකි. අපේ රටේ සිටියේම නාඳුනන තුවක්කුකරුවන් ය. මෑත කාලයේ රටට ගෙන ආ කෝටි ගණනක බදු වංචාකළ සීනි තිත්ත කතාව ද අයත් වන්නේ අප කියන මේ කුණු ගොඩටමය. අපේ ආර්ථිකය බිඳ වැට්ටුවා නොව බිඳ වැටුණා යැයි දෙස්පාලකයෝ කාරණාව සරල කළේය. රට සහ ජනයා විඳින බංකොලොත්භාවයට තිබුණු ආණ්ඩු සියල්ලක්ම වගකිවයුතු යැයි පාරම්බාමින් බොර දිය පාදන්නට නිතර උත්සාහ කළෝය.

එහෙත් මේ ගජබින්න පිළිනොගත් පිරිසක් ගොනු කළ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවකට පැහැදිලි තීන්දුවක් ලබා දෙමින් උපරිමාධිකරණය තීන්දු කළේ රටේ මේ බංකොලොත්භාවයට රාජපක්ෂලා කිහිප දෙනෙකුත් මුදල් පාලනය භාරව සිටි තව කිහිප දෙනෙකුත් සෘජුවම වගකිව යුතු බවයි. එය වූ කලී යුගයේ විශිෂ්ට තීන්දුවකි. රටේ ජනයා පාලකයන්ගේ වරදින් මේ සා දුක් ගිනි උහුලද්දී පාලකයෝ ඇති පදම් සැප වින්දහ. ඕනෑ තරම් තම සුඛවිහරණය සලසා ගත්හ. සරලවම කිව්වොත් රට කාබාසිනියා කර ජනතාව හිඟන්නන් කොට උන් පමණක් එම නරා වළෙන් ගොඩ වී සුව සේ සිටින්නට පුරුදු වූවෝය. රට බංකොලොත් කිරීම අපරාධයකි. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ඒ බව නැවතත් සපථ කළ ගරු අධිකරණයට අපගේ සමූහ උත්තමාචාරය නිතැතින්ම හිමිවේ. ජනතා ඡන්දයෙන් ඉස්මතු වූ රාජපක්ෂ අයියා මලෝ තුන්කට්ටුවක් රට ආර්ථික පරිහානියකට ලක් කළ බව අධිකරණය විසින් ඉතිහාසගත කළේය. ඊට අමතරව එදා ආර්ථික ඝාතකයන් මෙදාත් ආර්ථික ඝාතකයන් බවට ඔප්පු වී අවසන්ය. ඒ ඔප්පු කිරීම ඓතිහාසික ය. මිනීමැරුමක් වූයේ නම් ඊට ආධාර අනුබල දුන් වැරදිකරුවන් සිටිය යුතුම ය. එසේ නැතිව එය කාලයේ වැලිතලාවන්ට යට වෙන්නට හෝ රතු පලස් මත සඟවන්නට උත්සාහ ගන්නේ නම් මිනිස් සමාජයට එය කිසිසේත්ම වටින්නේ නැත. ඒවා එසේ තවදුරටත් සිදුවන්නේ නම් මේ රට සමාජවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස හැඳින්විය යුතු නැත. කොහොම වෙතත් රට බංකොලොත් කළෝ කවරහුද යන්න හෙමිහෙමින් වළදමන්නට ඉඩ නොදුන් ඒ අධිකරණ තීන්දුව මනරම්ය, සුවිශේෂ ය.

ඉහත නම් සඳහන් කළ අය කිහිපදෙනකු අදූරදර්ශී ලෙස සහ අධම ලෙස සිදු කළ විනයක් නොමැති මූල්‍ය පාලනයෙන් රට නැත්තටම නැතිවී ගියේය. ඒ හේතුවෙන් ජනයා දැඩි දුකට පත් වූවේය. ඒ දුකට වගකිව යුතු ඝාතකයන් හෙළිදරව් කිරීම රටේ අනාගත යහපාලනයකට අඩිතාලම් දැමීමක් වැනිය. වගකීම් දරන්නට පැමිණෙන්නන් වගවිය යුතුම බව සනාථ කරමින් අධිකරණය දුන් තීන්දුවට රටේම ජනයා අත් දෙකින්ම මල් මිටක් පුදන අතරේ ජනතා හිත කියනු ඇත්තේ වරදක් කළවුන්ට නෛතික දඬුවම් හිමිවිය යුතු බව අපි සටහන් කර සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment