නෝනාවරුනි මහතුනි මට වෙන්න සමා කියනවා මගේ දුක ඔහෙලට සිරස නමා

1511

ජීවත්වීම සඳහා ආහාර ගැනීම සහ ආහාර ගැනීම සඳහා ජීවත්වීම යනුවෙන් කාරණා දෙකක් තිබේ. ජීවත්වීම සඳහා සිඟාකෑම සහ සිඟාකෑම සඳහාම ජීවත්වීම යනුවෙන්ද කාරණා දෙකක් තිබේ. ලංකාවේ යාචක ගහනය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බව පෙනේ. දැනට තිබෙන ඇස්තමේන්තුවල හැටියට මේ ගණන 85000 ත් 100000 ත් අතර ප්‍රමාණයකි. එබඳුම සංඛ්‍යාවක් ලිංගික ශ්‍රමිකයෝද මේ රටේ වෙසෙති. යාචකයන්ට වඩා ලිංගික ශ්‍රමිකයෝ අපයෝජනය වෙති. කොළඹ රස්සාවල් සඳහා දුර පළාත් වලින් රවටාගෙන කොළඹට ගෙනෙන ලද තරුණියන් සල්ලාලයන්ට මුදලට විකිණීමෙන් ගණිකා වෘත්තීය ආරම්භ වේ. එය එක ක්‍රමයක් පමණි. එම වෘත්තියට පිවිසෙන තවත් ක්‍රම ගණනාවක්ම තිබේ. අද අපේ මාතෘකාව මේ රටේ යාචක ප්‍රජාව වන බැවින් ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වෙනම දිනක වෙනම කතුවැකියක් ලිවීමට අපේක්ෂා කරමු. කොළඹ ගාලු මුවදොර පිට්ටනියේ සිටින 150 ත් 200 ත් අතර වූ යාචකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම පිහිටි යාචක පුනරුත්ථාපන කඳවුරට ගෙන ගොස් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. රිදියගම යාචක පුනරුත්ථාපන කඳවුර ඉතා පැරණි භාණ්ඩයකි. අප දන්නා තරමින් යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා එහි කෙරෙන මඟුලක් නැත. අනෙක යාචකයාද කුඩුකාරයා මෙන් පුනරුත්ථාපනය කිරීමට බොහොම දුෂ්කරය. පුනරුත්ථාපනය වීමෙන් පසු යන්නට ගෙයක් දොරක් නැති බැවින් යාචකයා ආපසු යන්නේ මහ පාරටමය. යාචකයන් පුනරුත්ථාපනය කිරීමේදී සිදුවන්නේ කිසියම් ස්වයං රැකියාවක් ඔවුනට උගැන්වීමය. කොලම්බස් මහ පාරට බැස ගමන් කරද්දී රටවල් හමුවුණාට යාචකයන් රිදියගම කඳවුරේ සිට නැවත මහපාරට ආ විට ස්වයං රැකියා කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හමුවන්නේ නැත. මේ නිසා ඔවුනට නැවතත් පැරණි වෘත්තියෙහි යෙදීමටම සිදුවේ. අවසානයේදී යාචකයා දන්නා එකම ස්වයං රැකියාව යාචක වෘත්තියම පමණක්ම වේ. ඔහු තවදුරටත් හිඟා කයි. බොරු තුවාලයක් කකුලෙහි බැඳගෙන බස්වලට නැග මිනිස්සුන්ට අතපායි. යාචකත්වය මෙන්ම හොරකම් කිරීමද ප්‍රගුණ කළ අය පාදඩ සමාජයේ සිටිති. ඔවුන් අංගවිකලයන් සේ පෙනී සිටිමින් කොර ගසමින් බස්වලට නැග කාගේ හෝ පසුම්බියක් පැහැරගෙන ධාවනය වන බසයෙන් පැන උසේන් බෝල්ට් මෙන් දිව යන්නට පටන් ගනී. මේ වනවිට මේ රටේ යාචකත්වය නැති බැරිකම කපටිකම සොරකම් කිරීමේ උනන්දුව හා හැකියාව වනචරකම යන සාධක සියල්ලෙහිම මිශ්‍රණයක් බවට පත්ව තිබේ. දැනට අවුරුදු තුන හතරක පටන් හඳුන්කූරු පෙට්ටි හතරක් පහක් එක අතකින්ද අනෙක් අතින් නිදා සිටින දරුවෙක්ද වඩාගත් ගර්භණී කාන්තාවෝ පෙට්‍රල් ෂෙඩ් සහ සුපර් මාර්කට් අසල හිඟා කති. ඔවුන් මෙම ස්ථානවලට එන්නේ හඳුන්කූරු විකිණීමේ ව්‍යාජයෙන් මිස හිඟාකන බවක් පෙන්වමින් නොවේ. මේ මිනිසුන්ගෙන් හඳුන්කූරු ගන්නා කෙනෙක් නැත. ඒ වෙනුවට ජනයා ඔවුන්ට මුදලින් ආධාර කරති. මෙබඳු ඇතැම් යාචක කාන්තාවක් එකම හඳුන්කූරු පෙට්ටියක්වත් නොවිකුණා දිනකට රුපියල් 4000 ක පමණ ආදායමක් ලබති. ස්වකීය කර්මාන්තය සඳහා ප්‍රාග්ධනය වශයෙන් ඔවුන් වියදම් කරන්නේ හඳුන්කූරු පෙට්ටි පහ වෙනුවෙන් වැයවන රුපියල් 300 ක් පමණ වන මුදල පමණි. ඇතැම් විට ඇකයේ සිටින දරුවා වෙනුවෙන් ඔවුහු ආයෝජනයක් කරති. බොහෝවිට මෙම දරුවා කුඩු ගැහීමට පුරුදු වූ අම්මා කෙනකුගෙන් දවස් කුලියට ලබා ගැනීමට පුළුවන. එම දරුවාට ආහාර යාචක කාන්තාව විසින් ලබාදිය යුතුය. ඊට අමතරව එම දරුවන්ට නිද්‍රාජනක ඖෂධයක් පොවනු ලැබේ. එවිට එම දරුවා යාචක ස්ත්‍රියට වධ නොදී මුළු දවසම නිදාගනී. මෙවැනි කුඩා දරුවන් සිඟා කෑම පිණිස කුලියට දෙන network එකක් කොළඹ තිබේ. එසේම වහල් හිමියන් මෙන් යාචක හිමියෝද දිවයිනේ ප්‍රධාන නගරවල වෙසෙති. ඔවුන් යටතේ යාචකයෝ විශාල ප්‍රමාණයක් සිටිති. එම යාචකයන්ට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් වාසස්ථානය සහ ප්‍රවාහනය සියල්ලම යාචක හිමියන් විසින් සපයනු ලැබේ. උදේ සිට හිඟා කා එකතු කරන collection එක යාචක හිමියාට දීම යාචකයා විසින් කළ යුතු අතර එයින් සියයට ගණනක මුදලක් යාචකයාට දෙනු ලැබේ. හැබැයි කිසියම් පුද්ගලයෙක් කිසියම් තැනක ස්වාධීනව හිඟාකන්නේ නම් ඔහු තමා හිඟාකන ඒරියා එක භාර හිඟන මුදලාලිට කප්පමක් දිය යුතුය. වකුගඩු නරක්වූ අය, පෙනහළු නරක් වූ අය, හදවත නරක් වූ අය, කකුල් අත පය පණ නැති අය වශයෙන් විවිධ ශ්‍රේණිවලට අයත් යාචකයෝ රට පුරා සිටිති.

හිඟාකෑම ගණිකා වෘත්තීය තරම්ම පැරණිය. මිනිසා මීට අවුරුදු දහස් ගණනකට පෙර ශිෂ්ටාචාරයේ ගේට්ටුවෙන් ඇතුළට එන්නේ ඇඟේ නූල් පොටක්වත් නැති, බඩට කෑමක් නැති හිඟන්නකු ලෙසය. ඒ නිසා කොතරම් දියුණු ජීවියෙක් බවට පත්වුවද මනුෂ්‍යයාට හිඟාකෑම අමතක කළ නොහැක. හිඟාකෑමේ මූලාරම්භය දුප්පත්කමයි. ලෝකයේ සෑම ආගමික මූලාශ්‍රයකම දුප්පත්කම පිළිබඳ අර්ථ නිරූපණයක් ඇත. හිඟමනේ අභ්‍යන්තරය පිළිබඳ ප්‍රායෝගික විග්‍රහයක් ඉදිරිපත් කළ පළමුවන ශ්‍රී ලාංකිකයා මහාචාර්ය නන්දසේන රත්නපාලය. ඔහු හිඟන්නකු සේ වෙස් වලාගෙන හිඟන්නන් අතරට වැද අවුරුදු ගණනාවක් හිඟාකමින් ඒ අත්දැකීම් අනුසාරයෙන් මීට අවුරුදු 30 කට පමණ පෙර ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ලිපි පෙළක් ලිවීය. මේ රටේ යාචකයන් පිළිබඳ කෙරුණු උසස්ම පර්යේෂණය නන්දසේන රත්නපාලගේ එම ලිපි පෙළ බව පොදු පිළිගැනීම වෙයි. ඊට පෙර 1556 දී තෝමස් හාමන් නමැති බි්‍රතාන්‍ය ජාතිකයා විසින් හිඟන්නන් සහ පාදඩයන් පිළිබඳ පර්යේෂණයක් කර පත්‍රිකාවක් සකස් කර ඇත. ඔහු ජීවත්වූ මධ්‍යකාලීන යුගයේදී යාචකයන් සහ පාදඩයන් සලකන ලද්දේ එකම කැටගරිය යටතේය. ඒ නිසා පාදඩයන්ට දෙන දඬුවම් හැමවිටම යාචකයන්ටද ලැබිණ. රටක ඒකපුද්ගල ආදායම කොපමණ වැඩි කළද යාචකත්වය තුරන් කළ නොහැක. එයට හේතුව සහශ්‍ර කීපයක ඇවෑමෙන් හිඟාකෑමද රැකියාවක් බවට පත්ව තිබීමය. ලෝකයේ හැම රටකම හිඟන්නෝ සිටිති. කව්රු කොහොම කිව්වත් සිංගප්පූරුවේද සිඟන්නෝ සිටින්නාහ. එකම වෙනස නම් ඔවුන් සල්ලි ඉල්ලන ක්‍රමයේ වෙනසය. ඉතා වැදගත් ලෙස හැඳ පැළඳගෙන හෙමින් සීරුවේ ළඟට පැමිණ ඔවුහු කණට කර සල්ලි ඉල්ලති. කෙසේ වුවද ලංකාවේ යාචකත්වය යනු ඉක්මන් විසඳුමක් අවශ්‍ය වාතයකි. ඇතැම් යාචකයෝ වාහනයක් එලවන කෙනකුගෙන් මුදල් ඉල්ලා නොලැබුණු විට කාසියක් ගෙන වාහනයේ ඉරක් අඳිති. සමහරවිට මේ ඉර වැසීම සඳහා ගරාජ්කාරයා රුපියල් දහ පහළොස්දාහක් අය කරයි. එබැවින් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ හිඟන්නකුට කීයක් හරි දී තමාද තම දේපළද රැකගැනීමට ය.

advertistmentadvertistment
advertistmentadvertistment