සල්ලි හරි – ජනාධිපතිවරණයේ බලය ජූලියෙන් පසු කොමිසම අතට

1353

ලබන ජූලි මාසයේ සිට ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙයි.

ඒ අනුව අගෝස්තු මාසයේ නාමයෝජනා කැඳවීමටත් ඔක්තෝබර් මාසයේදී ජනපතිවරණ ඡන්ද විමසීම සිදුකිරීමටත් බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඔක්තෝබර් පළමු සතියේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන බවට සංචාරක හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ද ඊයේ (6 දා) සඳහන් කර තිබිණි.

2024 ජනාධිපතිවරණයට අදාළ වියදම් සහ මේ වසරේ (2024) මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කළ රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීම සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළකර ඇත.

රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන 10 ක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන්කර ඇත. මේ අනුව ජනාධිපතිවරණ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2025 වසර සඳහා වන අයවැය මගින් ලබා දීමට සිදුවන බව ද අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්‍ෂණය කරන ලදී. කෙසේ වුවද, 2025 වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම 1948 අංක 17 දරන පරීක්‍ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය) ප්‍රකාරව ස්ථාපිත කරන ලද සහ අංක 2354/06 දරන 2023.10.16 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්‍ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව, අවශ්‍ය වන්නේ නම් අදාළ මැතිවරණ නීති සඳහා සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම කරුණු මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සිය එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.

රනිල් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment