නව වසරේ නිවසේ වාස්තු දෝෂ සමනය කර දියුණුව ලබමු

337

ලබන්නා වූ 2024 නව වසර ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටත් විශේෂයෙන් නැකත පුවත්පතේ වාස්තු විද්‍යා ලිපිය කියවන ඔබ සියල්ලන්ටත් සුබම සුබ ශ්‍රී සෞභාග්‍යමත් වසරක්ම වේවායි පතමි.

මෙම නව වසරේදී ඔබගේ නිවසේ විශ්වශක්තිය වර්ධනය කර ගැනීමටත් සෞභාග්‍ය ළඟාකර ගැනීමටත් තමුන්ටම නිවසේ කරගත හැකි ක්‍රියාමාර්ග කීපයක් පිළිබඳ දැනුවත් කිරීමක් මෙම ලිපියෙන් පෙන්වා දෙමි.

ඔබ වෙසෙන නිවසේ වාස්තු දෝෂ පවතිනවා යැයි සිතාසිටිමින් ඒවාට පිළියමක් ළඟාකර ගැනීමට නොහැකිවීම නිසා දිනෙන් දින මානසිකව පීඩාවට ලක් නොවී ජලයේ ගිලෙන්නට යන මනුෂ්‍යයාට පිදුරු ගසක් හෝ අතට හසුවීම භාග්‍යයක් යැයි සිතා එම වසරේදී පහත දේවල් අනුගමනය කර දියුණුවත්, නිරෝගිකමත් ලබාගන්න.

  1. නිවසේ දොර ජනෙල් උදය කාලයේ පැය 2 ක් – 3ක් විවෘතව තබන්න.

බොහෝ නිවෙස්වල ඉදිරිපස දොර ජනෙල් විවෘතව පවතින්නේ නිවසට සුවිශේෂී අමුත්තන් පැමිණෙන විටදීය. අන් සෑම අවස්ථාවලම ප්‍රධාන ද්වාරය ඇතුළු ජනෙල් වසා දමා පිටුපස දොර පමණක් විවිතෘව පවතී. සමහර නිවෙස් ඉදිරිපිට විශාල වෘක්ෂයක් පවතී. මේවායේ අතු පතුරු වහලය දක්වාම විහිදී නිවසේ ඉදිරිපිට අඳුරුවී නිවස ඇතුළත අන්ධකාර වී ඇත. මෙසේ පැවතීම නිසා නිවසට ආලෝකය, වාතාශ්‍රය නොලැබීමෙන් නිවස ඇතුළත අශුභ ශක්තීන් වර්ධනය වේ. අමනුෂ්‍යයන්ට පදිංචිවීමට නිසි ස්ථාන නිර්මාණය වේ. මුදල් නොමැතිව අපට ලැබෙන හිරු ගේ සූර්ය ශක්තිය අහිමිවීමෙන් නිවෙස දෝෂයන්ට ලක්වේ. එසේ නම් නිවස ඉදිරිපිට ගස් කොලන්වල අතු කපා නිවසට ආලෝකය ලැබෙන පරිදි අවට පරිසරය හෙළි පෙහෙළි කරගන්න. දිනපතා නිවසේ ප්‍රධාන ද්වාරය ඇතුළු දොරවල්, ජනෙල් උදේ වරුවේ අවම වශයෙන් පෙ.ව.6ත් 10ත් අතර අපහසු නම් පෙ.ව. 8 – 10 අතරවත් විවෘතව තබන්න. නිවසක වාස්තු දෝෂ ඉවත්කිරීමට සම්පූර්ණයෙන් නොහැකි වුවද එහි අශුභ ශක්තිය අඩුකිරීමට මෙමගින් සිදුවනු ඇත.

නිවස පිරිසිදුව තබා ගැනීම

නිවස ඇතුළත කුනු, දූවිලි, මකුළු දැල් දෛනිකව සුද්ද පවිත්‍ර කරන්න. නිවස ඇතුළත ගාහ භාණ්ඩ ඇතුළු අනෙකුත් දෑ පිළිබඳව හොඳින් වාතාශ්‍රය ගමන් කිරීමට හැකි පරිදි තබන්න. කිළිටි රෙදි කුනු කූඩ පුරවා නිවස ඇතුළත නාන කාමරයේ මුළුතැන්ගෙයි තැබීම නොකළ යුතුය. සතියකට වතාවත් ලුනුකැට ජලයේ දියකර මුළු නිවසේම සෑම මුල්ලක්ම මොප් කරන්න. ලුනු කැට හිස් ජෑම් බෝතල් කීපයකට දමා නිවසේ අඳුරු මුළුවල දින 07ක් තබන්න. 07 වන දින සියල්ල එකතුකර ගලාගෙන යන ජලාශයකට ඇළකට දමන්න. යළිත් ලුණු කැට ගෙනත් කලින් භාජන සෝදා ඒවාට ලුණු කැට දමා වෙනත් ස්ථාන කීපයක දමන්න. මේ ආකාරයට තෙවරක් බැගින් මාස 03කට වරක් කිරීමෙන් නිවසේ අශුභ ශක්තීන් පලවාහැරීමට හැකිය. ඒ වගේම නිවස ඇතුළත නාන කාමරයේ වෙළෙඳපොළේ ඇති කුඩා පතොක් ගස් සහිත පෝච්චි කිහිපයක් ගෙනත් ස්ථාන කීපයක තබන්න. පතොක් වර්ග මිදුලේ තිබීම එම නිවසට අශුභ වුවද නිවස තුළ තැබීමෙන් නිවසේ අශුභ ශක්තීන් ග්‍රහණය කිරීමට මෙම පතොක් වල කටුවලට හැකිය. මෙයට කෝමාරිකාද සුදුසු වේ. නිවසේ අලුයම කහ වතුර ඉස දමා (නිවස අතුපතුගා පිරිසිදු කළ පසු) ඖෂධීය සුවඳ ධූපයකින් දුම් ඇල්ලීම ද සතියකට දින 04ක් වත් කිරීමට උනන්දු වන්න.

නව වසරේ කිරිබත් මාළුවෙක් තනන්න

උදාවූ නව වසරේ ඔබ නිවසේ ඇති වාස්තු දෝෂයන් මඳක් හෝ යටපත් කිරීමටත් එමගින් ධනය, නිරෝගීකම අත්විඳීම උදෙසාත් කිරිබතක් අලුයම පිස එය වීදුරු ලෑල්ලක, ලී ලෑල්ලක හෝ මතුපිට කිරිබත් දමා එම කිරිබත්වලින් මාළුවෙකුගේ හැඩයට කිරිබත් මාළුවෙක් සාදන්න. මාළුවාගේ ඇස්වලට අබ ඇට 05ක් තබන්න. ඉන්පසු අබතෙල් පහනක් දල්වා එය ද ලෑල්ල මත තබා නිවසේ සෑම ස්ථානයකටම එය දෝතින් රැගෙන දක්ෂිනාවෘතව ගමන් කර මෙම නිවසේ පවතින වාස්තු දෝෂවල බලපෑම දුරුවේවා යැයි සිතමින් මෙම කිරිබත් මාළුවා මාළුන් වැඩිපුර වෙසෙන ජලාශයකට රැගෙන ගොස් කැබලි කඩා මාළුන්ට කෑමට දමන්න. වසරේ දින කීපයක් මෙය සිදුකිරීමෙන් ඔබට වසර පුරා ධනය, සෞභාග්‍ය උදාවේ.

  1. නව වසරේ ශාඛ රෝපනය

සියලු බුදුවරුන් බුද්ධත්වයට පත්වුණේ වෘක්ෂයක් සෙවණ ලබමින් වෘක්ෂය අභියසය. වෘක්ෂයක් යනු ප්‍රානයකි. ගස් කොලන්ද ආශ්වාස, ප්‍රාශ්වාස කරනු ලබයි. කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිටකිරීම ශාකවල විශේෂත්වයයි. මෙම වෘක්ෂවලින් නිකුත්වන ශක්තීන්ගෙන්, කිරණවලින් මනුෂ්‍යයන්ගේ ඕරාව හෙවත් ශක්ති ශරීරය බලවත් කළ හැකි සේම නිවසට පවතින අශුභ ශක්තීන් පලවාහැරීමේ බලය ද පවතී. මෙය වාස්තු විද්‍යාවේ හඳුන්වන්නේ වෘක්‍ෂ විමෝචන ක්‍රියාවලිය ලෙසිනි. ඒ තුළින් නිවසේ පවතින වාස්තු දෝෂ අක්‍රිය කිරීමට හැකිය. ඔබගේ නිවසේ ඊශාන දිසාවේ කොහොඹ ශාකයක්, ඒ වගේම නිරිත දිශාවේ බෙලි ශාකයක් සිටුවීම (මල් පෝච්චියක හෝ) විශ්ව ශක්ති රේඛාව බලවත් කර ගැනීමටත් දේව ආකර්ශනය නිවසට ලබා ගැනීමටත් හැකියාව පවතී. නිරිත දිශාවේ බෙලි ශාකයක් සිටුවීමෙන් ධනයට අධිපති ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදයට ලක්වී නිරිත දිශාව හෙවත් නිවසක ධනය තැන්පත් වන කොටස සක්‍රීය වනු ඇත. ගිනිකොණ, දකුණු දිසාවල තේජෝ බලය පවතින නිසා අඹ ගස්වලට සුදුසු වේ. නමුත් අඹ ගස් ඉතා විශාලව වැවෙන නිසා සෑමවිටම අඹ සිටවන විට බට් අඹ ඇටයක් සිටුවන්න.

  1. ප්‍රධාන දොර බලවත් කිරීමට

නිවසේ ප්‍රධාන දොරට දකුණු පසින් අඩි 1 1/2ක් පමණ උසකින් ජල බඳුනක් තබා සුදු මල් දිනපතා තබන්න. මෙය කිරීමට හැකියාව පවතින්නේ ප්‍රධාන ද්වාරය උතුර, නැඟෙනහිර, බටහිර දිශාවට පවතින නිවාස වල පමණි. මෙහිදී නොකැඩුනු මල් ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු අතර පෙරාගත් පිරිසිදු ජලය තැබීම කළ යුතුය. දිනපතා මෙය සිදුකළ යුතු අතර ජලය, මල් පල්වීමට ඉඩ නොතබන්න.

දකුණු දිසාවට, බටහිර දිශාවට ප්‍රධාන දොරේ දකුණු පස එළිය බලා සිටින ආකාරයට අලියෙකුගේ පිළිමයක් තැබීම ද එම නිවසේ වාස්තු දෝෂ අවම කිරීමට හේතු දේ. ඒ වගේ මිදුලේ උතුරු දිශාවේ සුදු නිල් (නිල් කටරොඩු) මල් සිටුවීම, නැඟෙනහිර දිසාවේ කහ, සුදු වර්ණ මල් හා කහ ශාක කීපයක් සිටුවීමද, දකුණු දිශාවේ රතු පාට මල්, දාස්පෙතියා වැනි තැඹිලි වර්ණ මල්ද, බටහිර දිශාවේ ලා නිල්, දම් පාට මල් අලුපාට මල් වර්ග සිටුවීම ද වාස්තු දෝෂ වල අශුභ තත්ත්වයන් සමනය කිරීමට හේතු දේ.

ගිනිකොණ දිශාවේ කුරුල්ලන්ට කෑම තැබීමට කුරුළු ලෑල්ලක් ඉදිකරන්න. කුරුළු නාදය නිවස සක්‍රීය කරයි. ධනය ළඟා වේ.

  1. නිතර පුණ්‍ය කටයුතු කිරීම

වාස්තු දෝෂ තිබෙන නිවසක හෝ නොතිබෙන නිවසක හෝ පදිංචි නිවැසියන් තමන්ට හැකි අයුරින් පුණ්‍ය කටයුතුවල නිරතවීම දාන මාන ආදිය දීම කළ යුතුයි. යාචකයකුට බත් මුලක් ලබාදීම තමන්ගේ කුසල් ශක්තිය වර්ධනය කිරීමට හේතු වේ. කුසල් ශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න පුද්ගලයාගේ ඕරාව ද ශක්තිමත් වේ. එසේ වීමෙන් තමන්ට නිවසින් පැමිණෙන සෘන ශක්තිය ශරීරයේ ධන ශක්තිය තුළින් සමනය වේ. සෑම අවස්ථාවකදීම තමන් කරන කුසල්වල පින් තම නිවසේ අධිගෘහ දෙවියන්ට අනුමෝදන් කිරීම කළ යුතුය. මේ තුළින් නිවසේ වාස්තු දෝෂ අඩුවීමට සමනය වීමට හේතු දේ.

  1. නිවසේ ආගමික කටයුතු කරන ස්ථානය

ඔබ වෙසෙන නිවසේ ඔබගේ ආගම අනුව ඔබගේ ශාස්තෘවරුන් උදෙසා කරන වන්දනාමාන කටයුතු මල් පහන් තැබීම නිවසේ ඊශාන දිශාවට සෑමවිටම තෝරාගන්න. එසේ නොමැති නම් උතුරට හෝ නැඟෙනහිර දිශාවේ පූජාසනය තබා මේ දිසාවන් බලා වන්දනා මාන කරන්න. නිතරම එම පූජාසනය පිරිසිදුව, තෙල් සෑම තැනම විසුරුවා නොමැතිව තබන ලද මල් ආහාර පාන හැකි ඉක්මනින් ඉවත්කර තබන්න. ඒවා නරක්වීම නිසා එම ස්ථානය අපිරිසිදුවී එම ස්ථානයට නොපෙනෙන ශක්තීන් ඇදී එති. අවසානයේදී සිදුවන්නේ ඔබ තබන පහන අමනුෂ්‍ය බලවේගයන්ට හිමිවීමත්, නැති කරදර ඇතිවීමත් පමණි. එම නිසා අලුත් අවුරුද්දේ මෙම පූජාසනය නිතරම පිරිසිදුව තබා ගනිමින් නිවසේ පවතින වාස්තු දෝෂයන්ගේ බලපෑම අවම කර ගන්න.

යම් නිවසක දැනට පවතින වාස්තු දෝෂයන් වන ගෘහ පින්ඩය අශුභ තත්ත්වයෙන් පැවතීම, නිවාස වර්ගීකරණය දුර්වලවීම, ගෘහ පොරොන්දම් නොගැලපීම, ප්‍රධාන ද්වාරය ඇතුළු අනෙක් ද්වාරයන් වැරදි පාදවල පැවතීම, වේද දෝෂ, මාර්ග දෝෂ, වහලයේ දෝෂ, භූමියේ දෝෂ, ළිඳ වැරැදියට පිහිටීම, වැසිකිළි වල, කුස්සිය ආදිය වැරදි දිශාවන්වල ස්ථාපිතවීම යන සිය ගුණයක් වාස්තු දෝෂ නිසා පීඩාවට පත්ව ඇති නිවෙස් ඉහත ක්‍රම අනුගමනය කිරීමෙන් සියලු දෝෂ භංග වන බව අවධාරණය කරමි. නමුත් වාස්තු දෝෂ නිසා ඇතිවී ඇති අශුභතාවයන්, පීඩා, මානසික පීඩා, ධන විනාශය, සෞඛ්‍ය පිරිහීම, අමනුෂ්‍ය දෝෂ, යන දෝෂයන්ගෙන් ඇතිව තිබෙන පීඩාවන් යම්තාක් දුරට සමනය කර ගැනීමෙන් ඒ තුළින් යම් සැනසිලිදායක පරිසරයක් නිර්මාණය කර ගැනීම සහ දියුණුව උදාකර ගැනීමටත් හැකි බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මේ ක්‍රම අනුගමනය තුළින් වාස්තු දෝෂ පිළිබඳවත් ඒවා තරමක් හෝ ඉවත්කර ගැනීමට හැකි බවත් ඔබට අවබෝධ වෙත්වා.

නව වසරේ නිවසේ වාස්තු දෝෂ සමනය කර දියුණුව ලබමු

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
077 7856 649.

advertistmentadvertistment
advertistmentadvertistment