නිවනට පක්ෂව උඩුගම්බලා යන විඤ්ඤාණය

78

පිංවත කාමයේ ආශ්වාදය කියන්නේ, රූපයේ ආශ්වාදය යැයි කියන්නේ පෘතග්ජන ගතියක් පමණක්ම නොවේ. ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා තුළත් රූපයේ සහ කාමයේ ආශ්වාදය හටගන්නවා. උතුම් සෝවාන්ඵලයට පත්වූ පුද්ගලයා තුළ රූපයේ සහ කාමයේ ආශ්වාදය අපායගාමී නොවී විවෘතව සහ ප්‍රකටව තිබෙනවා. සකෘදගාමීඵල අවබෝධයේදී රූපයේ සහ කාමයේ ආශ්වාදය අනුශය වශයෙන් තිබෙනවා. අපි කාම, රාග, පටිඝයෝ පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදීයි. පිංවත අවිද්‍යාව හේතුවෙන් උපදින සළායතනයන්ගේ ඵස්සයයි, විඳීම් ඔස්සේ ආශ්වාදයට මුල්වෙන්නේ. පිංවත දෙවියන්ගේ හාල් කැවිලා වගේ අවිනයවාදීව සමාජගතවෙන කාම, රාග, පටිඝයෝ දැකලා පිංවත් ඔබ කලබල වෙන්න එපා. පිංවත කලබල වීම කියන්නේත් කාම, රාග, පටිඝයන්ට හොඳ ආහාරයක්මයි. පිංවත ආශ්වාදයට තෝතැන්නක් වූ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ, සම්මා සතියක් ඇතිවෙන්නේ ශීලය සහ විනය මුල්කොටගෙනයි. ආශ්වාදයේ නූල්සූත්තරයෙන් නැටවෙන පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ දුර්වල වෙන ශීලයමයි, මඟ සහ නොමඟ නොහඳුනන, මිච්චා සතියට පංචනීවරණයන්ගේ පාවඩ එලා දෙන්නේ.

පිංවත යම් රටක පාලක පිංවතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, එම රටේ පූජක පක්ෂය අධාර්මිෂ්ඨ වෙනවාය කියන කාරණය හේතුඵල ධර්මයක්. අධාර්මිෂ්ඨ පාලක පිංවතුන්ලා තම බල තෘෂ්ණාව, බල විකෘතියක් බවට පත්කොටගන්න, පූජක පක්ෂයට අවිනයවාදී තෑගි, බෝග ලබාදෙනවා. පිංවත ගිහි සමාජය තුළ විකුණන සහ විකිණෙන දේවල්වලට වටිනාකම වැඩි වුණත්, උතුම් පූජක පක්ෂයට විකුණන සහ විකිණෙන අර්ථයන් පරාජිතභාවයටමයි හේතුවෙන්නේ. පිංවත පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ පැවිදි අපි කුමක් නම් විකුණන්නද. කුමක් උදෙසා අපි විකිණෙන්නද. පිංවත රූපය කියන්නේ අනිත්‍ය වූ දෙයක්. රූපය ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් වූ දෙයක්. අපි රූපය විකුණුවොත් අපේ ගිණුම් පිරීයන්නේ අකුසලයෙන්මයි. අපි රූපයේ ඵස්සයෙන් සකස්වෙන විඳීම් සහ හඳුනාගැනීම් විකුණුවොත්, අපේ ගිණුම් පිරීයන්නේ අකුසල් වලින්මයි. පිංවත අකුසලයට ඇස් තබන අවිද්‍යාවේ අන්ධභාවය රාජ්‍ය අනුග්‍රහයෙන් අත්තටු ලබන සමාජයකයි අපි ජීවත්වෙන්නේ. පිංවත මඩගොහොරුවක එම මඩෙහි නොතැවරී, පූදින විකසිත වෙන නෙළුමකටයි භික්ෂූත්වය යැයි කියන්නේ. පිංවත මඩ තැවරුණ නෙළුම් තිබෙන්න බැහැ. පිංවත නෙළුමක වර්ණය, නෙළුමක මෙලෙක, නෙළුමක පෞර්ෂත්වය, නෙළුම් මලේ මව්පිය ජාන උරුමයයි. පිංවත කරුණාකර නෙළුම් මලක මඩ සොයන්න එපා. නෙළුම් මලක මඩ සෙව්වොත් ඔබේ ඇලීම් සහ ගැටීමේ විඳීම් අකුසල් සංස්කාරයන්ගේ මඩගොහොරුවක්ම වේවි. පිංවත ජීවිතය හරිම ලස්සනයි. ජීවිතය හරිම නිස්කලංකයි. ඒත් ඒ ලස්සන ජීවිතය විඳින්න එපා. ඒ ලස්සන ජීවිතයට ධර්මයේ උපේක්ෂාවන් ප්‍රඥාවේ ඇස් දෙන්න. ජීවිතයේ ලස්සන විනිවිද දකින්න.

පිංවත ප්‍රඥාවේ ඇසින් ජීවිතයේ ලස්සන විනිවිද දකිද්දී, ඵස්සය ළඟ ජීවිතය නවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ නිවනට පක්ෂව උඩුගම්බලා යනවා. පිංවත ඔබේ පුණ්‍යවන්ත ජීවිතයට ඉඩදෙන්න නිවනට පක්ෂව උඩුගම් බලා යන්න. පිංවත ඔබේ නිවසේ දොර විවෘතව තිබුණට කමක් නැහැ. ඔබේ අවිද්‍යාවේ කුසගින්නට තෘෂ්ණාවේ ආහාර සොයන ඵස්සයේ දොරටුව හොඳින් වසාතබන්න. පිංවත දෑස් විවෘතකොට හොඳින් සමාජය දෙස බලන්න. ගිහි සහ පැවිදි අපි වෙලාවක් හෝ අවේලාවක් නැතුව, ඵස්සයේ දොරටු විවෘතකොටගෙන අවිද්‍යාවට සංස්කාර ආහාර සොයන අපූරුව. පිංවත ඔබේ ජීවිතය ගැන ඔබට ගොඩාක් අදහස් තිබුණත්, අවිද්‍යාවට තිබෙන්නේ එකම එක අර්ථයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට එකම හේතුව, තෘෂ්ණාව යනු අවිද්‍යාවේ එකම අර්ථයයි. පිංවත ඵස්සයේ අවිද්‍යාවෙන් උපදින ඇලීම් සහ ගැටීම්වලට සීමාවක් නැහැ. නොසෑහීම ඇලීම් සහ ගැටීම්වල ජන්ම ගතියයි. විඳීම් හේතුවෙන් සකස්වෙන හඳුනාගැනීම් විසින් උපද්දවා දෙන සංස්කාරයෝ, විඤ්ඤාණය නැමති මැජික්කරුවාට, අලුත් අලුත් මැජික් දැනීම් සකස්කොට දෙනවා. අතීතයේ පුහුණු කළ සංස්කාරයෝ වර්තමානයේ අපේ දැනීම්වල රුව සහ ගුණ වෙනවා. අපේ විකෘති දැනීම්වලට අපිමයි වගකිව යුත්තේ. ඔබ අතීතයේ පටිච්චසමුප්පන්නව සක්විති රජු වෙච්ච වෙලාවේ රාජ්‍ය කන්‍යාවියන් දහසක් ඇසුරු කළා. අතීතයේ ඔබ රජකම් කරපු වේලාවේ අන්තඃපුර පරිහරණය කළා, අතීතයේ ඔබ තිරිසන් සත්ව ලෝකයේ උපන්න වෙලාවේ එක රැලේ තිරිසන් බිරින්දෑවරුන් සියගණන් පරිහරණය කළා. පිංවත මේ අපි හැමෝගේම අතීත පටිච්චසමුප්පන්න කාම ලෝකයේ කැරැට්ටුවයි. පිංවත ගිහි සහ පැවිදි අපි මේ අතීත කාම පුහුණුකිරීම් වලින් පරිස්සම්වෙන්න ඕනේ. කාම, රාග සිතුවිලි ඉදිරියේ හොඳින් සතිමත් වෙන්න ඕනේ. පිංවත් ඔබේ විඳීම් මුල්කොටගෙන සකස්වෙන කාම, රාගයන් ඉදිරියේ ඔබ අසිහියට පත්වුණොත් එක බිරිඳකගෙන්, එක සැමියෙක්ගෙන්, එක කාන්තාවකගෙන්, එක පිරිමියෙක්ගෙන් සෑහීමට පත්වෙනවාය කියන කාරණය මිරිඟුවක්ම වෙන්න පුළුවන්. පිංවත අපිට නිවැරදි හෝ වැරදි පාර පෙන්වන කසකරුවා, අපේම පටිච්චසමුප්පන්න සංස්කාරයෝමය.

පිංවත අපි කවදාහරි කාම, රාග, පටිඝයෝ නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදී. එම නිසා වර්තමානයේ අපි තුළ ඇතිවෙන කාම, රාග, පටිඝයන් ගැන අපි කම්පා විය යුතු නැහැ. නමුත් කාමයේ, සහ රාගයේ කෙටි ආශ්වාදයත් එහි දීර්ඝ ආදීනවයන් ගැනත් අපි හොඳින් සිහිය පිහිටුවාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ කාමයෝ ගිනි අඟුරු වළකට උපමා කරනවා. මේ කාමයේ ගිනිඅඟුරු වළට යමෙක් වැටෙයිද ඔහු මෙලොව සහ පරලොව යන දෙලොවම පිච්චීමටමයි ලක්වෙන්නේ. පිංවත අපි වළඳන පිණ්ඩපාතය ගින්දරක් වුණොත්, අපි වළඳන ගිලන්පස ගිනිවතුරක් වුණොත් අපි සැතපෙන සයනය රත්වූ යකඩයක් වුණොත්, පිංවත අපි වැරදි කළොත් සංස්කාරයෝ අපිට මෙලොවදීම දඬුවම් නියම කරනවා. පිංවත පැවිදි අපි රාග සිතට යටවුණොත් අපි සම්මා සම්බුද්ධ ශාසනය සොරකම් කළා වෙනවා. ශිල්වත්ව වැඩසිටින පැවිදි පක්ෂයේ ආත්මගරුත්වය සොරකම් කළා වෙනවා. පිංවත් ගිහි ජනතාව තුළ මහා සංඝරත්නය කෙරෙහි ඇති ගෞරවය සොරකම් කළා වෙනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, දුශ්ශීලව ජීවත්වෙන පැවිද්දා, ලෝකයේ ලොකුම සොරාය කියලා. පිංවත ශීලයේ අර්ථයන් දුර්වල වෙන සමාජයක කොහේ බැලුවත් සොරකම් වැඩියි. අපි හැමෝම උත්සහ කරන්නේ යහපත් සියල්ල සොරකම් කරන්න. පිංවත අපි යහපත සොරකම් කළොත්, අපිට ඉතිරිවෙන්නේ අයහපතම නේද. අපි ශීලය සොරාගත්තොත් අපි ළඟ ඉතිරිවෙන්නේ දුශිල්වත්භාවයම නේද. පිංවත වරද වරදක් සේ නොදකින මිච්චා සතිය බැහැර කොට සම්මා සතියට ඉඩදෙන්න, එවිටයි කාමච්ඡන්දයෝ යටපත්වී සප්තබොජ්ජංගයෝ උපදින්නේ.

පිංවත රූපය දේවත්වයෙන් සලකන සමාජයක, රූපය ආත්මීය දෘෂ්ඨියෙන් වැළඳගත් සමාජයක, කාම, රාග, පටිඝයෝ කියන්නෙ අපි හැමෝගේම අසල්වැසියෙක් වෙනවා. පිංවත රාග සිතක් ඇතිවෙන්නේ රූපය මුල්කොටගෙනමයි. පිංවත ඇසෙන් දකින රූපය, කනට ඇසෙන රූපය, මනසට දැනෙන රූපය විතර්ක කරන්න යන්න එපා. අපි ඇසෙන් රූපයක් දැක්කම එම රූපය තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඒ කියන්නේ ඵස්සය තෘෂ්ණාවෙන් සක්‍රීය කරනවා. දැක්ක රූපය සමග මනසින් ජීවත්වෙනවා. ඒ රූපය සතුටින් ප්‍රාර්ථනා කරනවා. දැක්ක රූපය මනසින් විඳිනවා. පිංවත රාගයේ උපත ඔතනයි තිබෙන්නේ. රාගය ඉපදුනොත් අකුසල් සංස්කාරයෝ, දැනීම් ඔස්සේ අකුසලයටම පාර පෙන්වනවා. පිංවත ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් හිස් නම්, ඔබ ඉදිරියේ තිබෙන නිරුවත් රූපයත් ඔබට හිස් දෙයක්මයි. පිංවත තෘෂ්ණාවම ඉලක්ක කරන්න. තෘෂ්ණාවට මුල්වෙන අවිද්‍යාවම ඉලක්ක කරන්න, අවිද්‍යාව පෝෂණය කරන පංචනීවරණම ඉලක්ක කරන්න, එවිටයි පිංවත් ඔබ විරාගයට ඉලක්කය ගත්තා වෙන්නේ. පිංවත ඔබට රාග සිත් ඇතිවෙනවා නම් රූපය ඉදිරියේ දැක්කාය කියන තැන නවතින්න. ඇසට පෙනෙන බාහිර රූපයේ හැඩවැඩ බලන්න එපා. පිංවත අපි ලස්සන දේවල් දකින්නේ අපේ පෙර පිනට. අපි සංසාරයේ ලස්සන, විසිතුරු දේවල් මෙත් සිතින් පූජා කරලා තිබෙනවා. පිංවත ලස්සන දේවල් දකින ඔබේ අතීත පින, වර්තමානයේ පිනෙන්ම පෝෂණය කරන්න. ලස්සන ඉදිරියේ රාග සිත් අතහැර, සුවපත්වේවා යැයි, මෙත් සිතම මතුකොටගන්න. පිංවත වර්තමානයේ ඔබ දකින ලස්සන මනුෂ්‍ය රූප, පටිච්චසමුප්පන්නව ලස්සන දිව්‍ය රූප දැකීම උදෙසාම ආයෝජනය කරන්න.

පිංවත හෙට දවසේ ඔබට යහපත් සමාජයක් අවශ්‍ය නම්, අද දවසේ ඔබ යහපත් දේවල් ආයෝජනය කරන්න. ඇත්තටම අපි අද දවසේ මොනවාද මේ ආයෝජනය කරන්නේ, දුශිල්වත්භාවයන්, ලෝභ, ද්වේශ, මෝහයන්ම නේද. හෙට දවසේ අපි ලබන ලාභය අකුසල් මූලයන්ම නේද. පිංවත තවමත් තෘෂ්ණාවේ දුර්ගන්ධය දැනුනෙ නැතිද. පිංවත ශෝක පරිදේව දුඛ්‍ය දෝමනස්ස තෘෂ්ණාවේ
දුර්ගන්ධය, සුවඳ විළවුන් සේ පිළිගන්න සමාජයක, සැපයට මාර්ගය වන ආර්ය අශ්ඨාංගික මාර්ගය ජන ශූන්‍ය වීම හේතුඵල ධර්මයක්මය.

පිංවත කවදාද අපි දුකට හේතුව තෘෂ්ණාව කියලා තේරුම් ගන්නේ. තෘෂ්ණාවමයි අපිව විනාශකොට දමන එකම පළිබෝධය යැයි තේරුම් ගන්නේ. තෘෂ්ණාව අඩු කරන ආර්ය අශ්ඨාංගික මාර්ගය ඇස් පනාපිටම තිබියදි, අපි සරණ සොයන්නේ මිච්චා මාර්ගයන්ගේමයි. පිංවත අපි රටට යහපතක් වෙන දෙයක් ගැන කතා කළොත්, මුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ලැබෙන තනතුර කුමක් ද කියලා, අපිට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියලා. රටෙන් යමක් අපි ගන්නවා මිස, අපෙන් රටට යමක් දෙන්න අපි තාමත් සූදානම් නැහැ. කුමන යහපත් දෙයකට වුවද අපි පළමුවැනි පියවර තබන්නේ එක්කෝ ඇලෙන සිතින්, එක්කෝ ගැටෙන සිතින්මයි. සංස්කාරයන් මතයි සියල්ල සිද්ධවෙන්නේ කියන ධර්මයේ උපේක්ෂාවෙන් කුසල් සිත් මුල්කොටගෙන පියවර තබන්න අපි දක්ෂ නැහැ. පිංවත ජාතියට යහපත් හෙටක් අවශ්‍ය නම් ඉහත සක්කායදිට්ඨියේ හැව අපි අඩුකොටගන්න වෙනවා. පිංවත ජාතියේ හෙට දවස මළගමක් මිස, කොටහළු ගෙදරක් නම් වෙන්නේ නැහැ. තෘෂ්ණාවෙන් ඇට්ටකුනා වෙච්ච මළමිණී වෙනුවට, නව යොවුන් මනුෂ්‍යත්වයට ඔබේ ගෞරවණීය ජීවිත තුළින් පණදෙන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment