ඉංගිරියේ බුදු පිළිමේ දන නෙත් පිනවන අරුමේ

106

ඉංගිරිය නගරයට අමුතුම අලංකාරයක් එක් කරමින් මහා ජල කඳක් සමුදුරට රැගෙන යන කළුගං කොමලිය හරිතවත් පරිසරයක් සොබාදහමට දායාද කරන්නේය. ඒ, ප්‍රදේශයේ ජනතා සිතුම් පැතුම් උත්කර්ෂයට නංවමිනි. එවන් අලංකාර පරිසරයක ගිරි ශිඛරයන් ගෙන් වටකරගත් ඉංගිරිය නගරයේ පිහිටි සපුගහගොඩ කන්දේ උසම ස්ථානයේ ඉදිවුණ ආශීර්වාද මුද්‍රාවෙන් සොභාමත් වූ 19 රියන් සමාධි බුදු පිළිම වහන්සේ රයිගම් කෝරළයටත් සමස්ත ඉංගිරිය ජනතාවටත් ආශිර්වාදයක් එක් කරනු නිසැකය.

මීට වසර දහයකට පමණ පෙර ශාස්ත්‍රවේදී පූජ්‍ය නාරංවත්තේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම යටතේ එවකට හිටපු ප්‍රාදේශීය සභා සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතාගේ මූලිකත්වයෙන් “සිත් මෙත් යාත්‍රා සරණ පදනම” මගින් ආරම්භ කළ මේ මහා බුදු පිළිම වහන්සේ වර්ෂ 2023 ක් වූ ජූලි මස 19 දින බෞද්ධ සැදැහැවතුන්ගේ පහන් සංවේගය පිණිස විවර වන්නේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපිත පරිපූර්ණ බුදු පිළිම වහන්සේ නමක් ලෙසිනි. මේ ආශීර්වාද බුදුපිළිම වහන්සේ ප්‍රදේශයේ ප්‍රමුඛ ආගමික සලකුණක් ලෙස බොදු ජන හදවත් තුළ ලැගුම් ගනු ඇත.

ඓතිහාසික හා පාරිසරික වශයෙනුත් ඉතා වැදගත් වූ රයිගම් කෝරළයට අලුත් ආලෝකයක් එක් කරන ගිරි ශිඛර මධ්‍යයේ උස් ස්ථානයක ස්ථාපිත ආශිර්වාද බුදු පිළිම වහන්සේ වැඳපුදා ගැනීමේ වාසනාව බොදු ජනතාවට හිමිවන තවත් අගනා අවස්ථාවක් වන අතර එය ඉංගිරිය ප්‍රදේශයටද සුවිසල් ආශීර්වාදයක් එක් කරනු නොඅනුමානය. ඓතිහාසික සිද්ධස්ථානයන්ගෙන් අඩුවක් නොමැති රයිගම් කෝරළයේ කළු ගං ද්‍රෝණියට තවත් පූජනීය ස්ථානයක උරුමය සනිටුහන් කරන මේ ආශිර්වාද බුදු පිළිම වහන්සේ වැඳුම් පිදුම් ලබන්නේ බොහෝ දෙනාගේ කැපවීමේ හා මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසිනි. විශේෂයෙන් ඒ වෙනුවෙන් සියලුදෙනා එක්කර ගනිමින් මෙම කර්තව්‍යය ආරම්භ කිරීමට මුල් වූ යාමිත් චන්දන හතුරුසිංහ මහතා ඇතුළු පිරිසට මේ සම්බන්ධයෙන් ප්‍රමුඛව ස්තුතිවන්ත විය යුතුය. තවද නන් අයුරින් දායකත්වය දැක්වූ සියලු දෙනා වෙතද මේ පිං පෙත් අනුමෝදන් විය යුතුය.

බුදු පිළිමයක නිවැරැදි මානයන් අනුව නිර්මාණ ශිල්පී ගයාන් ලියනගේ (ශාන්) කලාකරුවා විසින් උත්තල දස තාල මානයෙන් නිර්මාණය කර ඇති මෙම ආශිර්වාද බුදුපිළිම වහන්සේ බිම් මට්ටමේ සිට අඩි 69 ක උසින් යුක්ත වන අතර පිළිම ආසනයේ සිට අඩි 49 ක උසින් යුක්ත වේ. බුදු පිළිම වහන්සේ පමණක් උස අඩි 42 කි.

බුදු පිළිමය ස්ථාපිත කඳුමුදුනේ සිට දැකගත හැකි එක් පැත්තකින් කොළඹ නගරය දක්වා දිවෙන පරිසරයත් අනෙක් පසින් ඉංගිරිය නගරයත් දසතින් කඳු යායකින් වට වූ හරිතවත් පරිසරයක් නෙතට එක්කරනුයේ අමුතුම මිහිරියාවකි. නාගරීකරණය තුළ සොබාදහමේ චමත්කාරය මෙලෙසින් අත්විඳින්ට ලැබීම ඉංගිරිය ජනතාව ලැබූ භාග්‍යයක් වන්නාසේම ආශීර්වාද බුදුපිළිම වහන්සේ රන්මය වටිනාකමක් අලුතින් එක් කරනු ඇත.

සතියක් පුරා සිදුවුණ පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව සිදුවුණ දුර්ලභ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය අවසන අසිරිමත් බුදුපිළිම වහන්සේ වැඳපුදා ගනිමින් පහන් සංවේගය වඩවා ගන්නා අතරම ඒ සොභාමත් පරිසරය දැකීමෙන් රස විඳින්නට සියලු දෙනාටම හැකියාව උදාවනු ඇත. එපමණක් නොව එතැන් පටන් චිරාත් කාලයක් මේ ආශිර්වාදාත්මක බුදුපිළිම වහන්සේ කරුණා දෙනෙතින් ඉංගිරියටත් සමස්ත රටටත් ජාතියටත් ආශිර්වාද එක් කරනු ඇත්තේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් නවමු ආරම්භයක් එක් කරමිනි.

චමෝද් පද්ම ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment