හඳහන අනුවම පැවිද්ද තෝරාගන්න

1144

බුධ ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව හඳහනේ පිහිටා තිබේ නම් අනුන්ට ධර්ම කරුණු තේරුම් කර දීමේ ශක්තිය ඇති වේ. ධර්මධර විනයධර භික්ෂුවක් විය හැකිය. ගුරු ග්‍රහයාත් උච්ච නම් සංවර ගතිය ඇති වේ. ශනි ග්‍රහයා සිකුරු වෙත දක්වන බලපෑම හේතු කොට ගෙන සිකුරුගේ බලය අඩු වේ. මෙය කෙනකුගේ විවාහය ප්‍රමාද වීමට මෙන්ම ලිංගික ආශා අඩුවිමට හේතු වේ.

මේ දවස්වල සමහර පන්සල්වල කෙරෙන නොහොබිනා වැඩ ගැන ජනමාධ්‍යවලින් නිතර ඇසීමට ලැබේ. චීවරධාරී ටික දෙනකුගේ මෙම කටයුතු නිසා මුළු සංඝ සමාජයම අපහාසයට ලක්වන බව අප කාටත් පෙනෙන දෙයකි. සමහරුන්ගෙන් මෙසේ වැරදි සිදුවීමට හේතුව ජ්‍යොතිෂ පැත්තෙන් බලමු.

කෙනකු උපදින විට ඔහුගේ දුප්පත් පොහොසත්කම, ඥානවත්කම, අඥානවත්කම, බලවත්කම මෙන්ම දුබලකම ආදී සියලුම චරිත ලක්ෂණ හඳහනට එයි. ඒ අයුරින්ම අඩු හෝ වැඩි ලිංගික ශක්තිය ද හඳහනට එයි. ස්ත්‍රී පක්ෂය ගැන ආශාව වැඩිවීම පැවිදිකමට නොගැළපෙන දෙයකි. ස්ත්‍රී පක්ෂය ගැන පමණක් නොව සමලිංගික කරුණු ගැන ද සාමාන්‍ය සමාජයෙන් පමණක් නොව සංඝ සමාජයෙන් ද ඇසීමට ලැබෙන සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. පානදුර ප්‍රදේශයේ එක්තරා පන්සලක සංඝයා වහන්සේ දෙනමක් විසින් පිරිමි ළමයකු අපයෝජනය කළ වරදට කරුණු කීපයකට වැරදිකරුවන් වී එකවර ගෙවී යන අයුරින් දැනටත් අවු. 45 ක සිරදඬුවම් විඳිමින් සිටිති. මෙයින් එක නමක් බංගලාදේශ හිමිනමක් වීම විශේෂයි.

මීට දශක තුන හතරකට පෙර මහණකමට තෝරාගත්තේ ඒ සඳහා ගැලපෙන අය වෙති. වෙනත් අරමුණු හේතුකොට ගෙන ද මහණකමට තෝරාගැනීම සිදු නොවුණා නොවේ. දැන් දැන් බොහෝ විට මහණ කරන්නේ වෙනත් අරමුණු මුල්කර ගෙන බව පෙනේ. ඉගෙන ගැනීමට, පවුලේ ආර්ථික තත්ත්වය දුර්වල වීම නිසා සහ ලොකු හාමුදුරුවන්ගේ වස්තුව පිට යෑම වළක්වා ගැනීම ද පැවිදි කිරීමට හේතු වන කරුණු අතර වේ. තම ඉතා ළඟ නෑයකු පැවිදි කර නායකකමත් වස්තුවත් ඔහුට පැවරීම අද පෙනෙන කරුණකි. මෙහිදී ඔහු පැවිදිකමට තෝරාගන්නේ ඥාතිත්වය පදනම් කර ගෙන පමණක් බව පෙනේ. ඔහු පැවිදිකමට සුදුසු ද නැද්දැයි සොයා බැලීමක් නොකෙරේ. මේ සියලුම දෙනා නොවේ.

රටේ සිදුවන ලිංගික අපරාධ ගැන බලන විට හඳහනේ හතේ රාහු සිටින අය ගැන වැඩිපුර කියවේ. හතේ රාහු විකෘති කාමාශා ඇති කරයි. හතේ රාහු සිටින අයකු විවාහ විය යුත්තේ හතේ රාහු සිටින අයකු සමඟමය. නැත්නම් එම විවාහය සාර්ථක නොවේ. තාවකාලිකව හෝ ස්ථිව වෙන්වීම බොහෝ විට දැකිය හැකිය. ස්ත්‍රීන් දෙදෙනකු එක කාමරයකට ගෙන ලිංගික ආශ්වාද ලබා ගැනීම, විකෘති කාමාශා ඇති කෙනකුගෙන් සිදු විය හැකි දෙයකි. සම ලිංගික සේවනය ද එවැනිම ක්‍රියාවකි. සාමාන්‍ය අය මෙවැනි දේට පෙළඹෙන අවස්ථා නැත. විකෘති කාමාශා ඇති අයගේ හඳහනේ හතේ දුර්වල රාහු සිටීම සාමාන්‍ය දෙයකි. එහෙත් හතේ රාහු සිටින සියලු දෙනා එවැනි අය යයි තීරණය නොකළ යුතුය. කෙසේ වෙතත් හතේ රාහු සිටින අය මහණ නොකිරීම ශාසනයට හොඳය. හතේ රවි හෝ කුජ සිටින අය ද මහණකමට එතරම් හොඳ නැත. එමෙන්ම පහේ කුජ හෝ චන්ද්‍රයා සිටීම ද කාමාශා වැඩි වන නිසා එවැනි අය ද මහණකමට තෝරා නොගන්නේ නම් මැනවි. කුජ සිකුරු යෝගය අතිධාවන කාම යෝගයකි. එම යෝගය ඇති අය ද පැවිදි නොකිරීම හොඳය. රාහු සිකුරු යෝගය හා රවි සිකුරු යෝගය ද ඒ ආසන්න ප්‍රතිඵල ඇති කරයි. හඳහනේ කුමන පිහිටීම් තිබුණත් සංයමෙන් කටයුතු කිරීම ඕනෑම කෙනකුට අවශ්‍යම දෙයකි. රූපවාහිනියෙන් පෙන්වන උද්ඝෝෂණ හා පෙළපාලිවලින් කිසිම සංයමයක් නැති භික්ෂුන් වහන්සේ පෙන්නුම් කරයි. රටට සිදුව ඇති අසාධාරණ විපත්වලදී ඇස් කන් පියා ගෙන බලා සිටීම මෙයින් අදහස් නො කෙරේ.

එසේ නම් පැවිදි කළ යුත්තේ හඳහනේ කුමන පිහිටීම් ඇති අයද? ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම විවාහ ප්‍රමාද වීමට හෝ නොවීමට එක් ප්‍රධාන හේතුවක් වනුයේ සිකුරු නීච වීමය. සිකුරු නීච වීම ලිංගික ආශා අඩුවීමට හේතුයි. ඔවුන් විවාහයට දක්වන උනන්දුව සාමාන්‍ය කෙනකුට වඩා අඩුය. තම දරුවන්ගේ විවාහ ප්‍රමාද වීමට සිකුරු නීච වීම හේතුවක් වන බව එවැනි දරුවන් සිටින දෙමවුපියෝ අත්දැකීමෙන් දනිති. දෙමවුපියන් කොතරම් උත්සාහ ගත්තත් එම දරුවන් කුමක් හෝ හේතුවක් ඉදිරිපත් කරමින් විවාහ මඟ හරින සිරිතක් දක්නට ලැබේ. ඒ ලිංගික ආශාව අඩු බැවිනි. එම ආශාව වැඩි අය කුමන බාධා කරදර ආවත් ඒ සියල්ල කඩාබිඳ දමමින් විවාහ වන අවස්ථා සමාජයෙන් දක්නට ලැබේ. ඒ නිසා එම පැත්තෙන් බලන විට සිකුරු නීච අය මහණ කිරීමෙන් අනවශ්‍ය පරිදි ස්ත්‍රීන් වෙත ඇදීයෑමක් ඇති නොවේ. මෙම පිහිටීම පමණක් නොව කුජ කේතු යෝගය ද නිච රාහු (වෘශ්චික රාශියේ සිටින රාහු) හතේ හෝ නවයේ සිටීම ද විවාහයට ආශා ඇති නොකරවයි. ලිංගික ආශා අඩු කරවයි. තව ද ශනි, චන්ද්‍ර, සිකුරු හඳහනේ එක කොටුවක සිටීම ද උසස්, උගත් භික්ෂූන්වහන්සේ නමක් ඇතිවීමට හේතුවකි. රවි සමඟ හෝ චන්ද්‍රයා සමඟ හෝ දෙදෙනාම සමඟ හෝ ග්‍රහයින් සතර දෙනකුට වඩා එක කොටුවක පිහිටීම ද පැවිදි යෝගයකි. ග්‍රහයින් වැඩි ගණනක් උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව පිහිටීම ද භික්ෂුවකට ඉතා හොඳ පිහිටීමකි. මෙවැනි පිහිටීම් පැවිදි කිරීමට හොඳ වුවත් ඔහු බුද්ධිමත් අයකු නොවේ නම් කිසිදා උසස් භික්ෂුවක් විය නොහැකිය.

ඉහත සඳහන් කරුණුවලට අමතරව බුධ ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව හඳහනේ පිහිටා තිබේ නම් අනුන්ට ධර්ම කරුණු තේරුම් කර දීමේ ශක්තිය ඇති වේ. ධර්මධර විනයධර භික්ෂුවක් විය හැකිය. ගුරු ග්‍රහයාත් උච්ච නම් සංවර ගතිය ඇති වේ. ශනි ග්‍රහයා සිකුරු වෙත දක්වන බලපෑම හේතු කොට ගෙන සිකුරුගේ බලය අඩු වේ. මෙය කෙනකුගේ විවාහය ප්‍රමාද වීමට මෙන්ම ලිංගික ආශා අඩුවිමට හේතු වේ. ශනි ග්‍රහයා සිකුරු සමඟ එකට සිටීම, යාව සිටීම, ශනි සිටින ස්ථානයේ සිට 3, 7, 10 යන ස්ථාන ශනිට පෙනෙන නිසා ශනිගෙන් එම ස්ථානවල සිකුරු හෝ චන්ද්‍රයා සිටීම, ශනි චන්ද්‍ර යෝගය ද විවාහ ප්‍රමාද කරයි. විවාහ ප්‍රමාද වීමට ඇති වන හේතු ද (වෙනත් හේතු නැති විටදී) පැවිදි කිරීමට යොදා ගත හැකිය.

එඩී කරුණාතිලක,
විශ්‍රාමලත් විදුහල්පති,
38/20, වීරක්කොඩි මාවත,
මහරගම.
දු. අංකය 0717004360

advertistmentadvertistment
advertistmentadvertistment