අලුතින් සිතමු

48

19 වන සියවසේ ප්‍රංශ සමාජයේ තිබූ අධම වැඩවසම් දේශපාලනය මෙන්ම කෲර රාජාණ්ඩු පාලනය ද නූගත්කම සහ එහි අතුරුඵලයක් වූ දරිද්‍රතාව ද පිළිබඳව අපූරුවට හෙළිදරව් කරන කෘතියක් ලෙස වික්ටර් හියුගෝ විසින් ලියන ලද ‘LesMiserables’ නමැති සම්මානනීය කෘතිය හැඳින්විය හැකියි. පසු කලෙක එය මනුතාපය නමින් සිංහලට පරිවර්තනය වුණා.

ජීං වැල් ජීං නමැති චරිතය පාදක කරගෙන මේ සුවිශේෂී නවකතාව ලියැවී තිබෙනවා.

සිය සහෝදරියගේ දරුවා බඩගින්නේ කෑ ගසනවිට කඩයකින් පාන් ගෙඩියක් සොරා ගන්නා ජීං වැල් ජීං පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. එහිදී ඔහුව පොලිසිය දැඩි ප්‍රහාරයන්ට ලක්ව අනතුරුව හිරගත වෙනවා. හිරේදී ඔහු පැන යන්නට උත්සාහ කර ගාඩ්ලාට අසුවීමෙන් හිර දඬුවම තුන්ගුණයක් දක්වා වැඩි වෙනවා.

මේ ආකාරයේ හද කම්පා කරවන සුළු පුවත් මේ දිනවල බොහෝ විට අසන්නට ලැබෙනවා. දරිද්‍රතාව ආර්ථික පීඩනය අන්ත අසරණකම දරාගන්නට නොහැකිව අප්‍රමාණ පීඩාවන්ගෙන් තෙරපෙන සමාජයක් අද වනවිට වෙන විට බිහිවී තිබෙනවා.

මීට වසර දෙකකට පමණ පෙර මාරවිල ප්‍රදේශයේ එක්තරා පියෙක් කුසගින්නට හඬන තම දරුවන්ට බත් කන්නට දෙන්න සම්බෝලයක් හදා ගන්නට අසල වත්තකින් පොල් ගෙඩියක් කඩනවා. වත්තේ හිමිකරු සහ ඔහුගේ සහචරයන් පිරිස එක්ව මේ පුද්ගලයා අල්ලාගෙන ඔහු නිරුවත්කොට ගසක බඳිනවා. ම්ලේච්ඡ පහරදීම ඇතුළුව මේ සියල්ල ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමටත් ඔවුන් කටයුතු කරනවා. අනතුරුව එය අන්තර්ජාලයටත් මුසු කරනවා.

කෲරතර පාපී සමාජයක විකෘතිය මොන තරම් දරුණුද?. අවසානයේදී අර පියාගේ දරුවන් පාසල් යෑම පවා ප්‍රතික්ෂේප කරනවා.

තම දරුවන්ගේ කුසගින්න නිවීමට නොහැකිවීම හේතුවෙන් ඇතිවූ පීඩනය දරාගැනීමට නොහැකි වූ වැලිපැන්න ප්‍රදේශයේ පියෙකු ගෙල වැලලාගෙන මිය යනවා.

මඩාටුගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක දියණියක් පාසලේදී වමනය කරනවා. ඒ දරාගත නොහැකි කුසගින්න නිසා. ඊට හේතුව වී තිබුණේ අධික කුසගින්න. සිසුවිය වමනය කළ බව තවත් සිසුවියන් තිදෙනකු විදුහල්පතිනියට පවසා තිබෙනවා. විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ බොහෝ දෙනෙක් තීන්දු කොට ඇත්තේ ඇය ගැබ්ගෙන ඇති බවටයි.

අවසානයේදී දැරියව පාසලෙන් ඉවත් කරනවා. ඛේදවාචකයක මහත, දැරියට පාසල අහිමි වෙනවා.

අපේ රටේ දේශපාලනය තුළ මහා විශාල බලවතුන් කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරනවා. දැවැන්ත ව්‍යාපාරිකයන් ප්‍රකෝටි

ගණනින් බැංකුවලට පොලු තියනවා. නමුත් ඔවුන් යහතින් සහ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

පසුගිය මහ කන්නය සඳහා බණ්ඩි පොහොර මිලදී ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව විසින් රජයට රුපියල් බිලියන 8 ක මුදලක් ලබා දුන්නා. එහෙත් බණ්ඩි පොහොර මිලදී ගෙන ඇත්තේ ගොවීන්ගෙන් 5% ක් පමණක් බවත් ඉතිරි 95% ම එදිනෙදා ආහාරපාන මිලදී ගැනීම සඳහා එම මුදල් වැයකර ඇති බවත් හෙළිවුණා. මහ කන්න සේම කුසගින්නද කල් දැමිය නොහැකි බව ඇත්තක්.

වැඩවසම් දේශපාලනයට හෝ වැඩවසම් චින්තනයට තවදුරටත් පැවැත්මක් ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ. එය ඉතා
වේගයෙන් නූතන පරම්පරාව විසින් ඈත්කරමින් සිටිනවා. මානව නිදහසට ගරු කරන, සත්‍යවාදීව කටයුතු කරන, මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින නූතනවාදී දේශපාලනය වෙත ලෝකය පුරාම අලුත් නැමියාවක් ඇති වී තිබෙනවා.

විශේෂයෙන්ම නූතන තරුණ පරම්පරාව සිය දේශපාලන චින්තනය සහ මතවාදය නවීකරණය කොට ගෙන තිබෙනවා. අතීතයේදී පක්ෂ දේශපාලනයට ඡන්දය ලබා දීමේදී ප්‍රධාන පෙළේ මැදිහත්වීම සිදු කළේ දෙමාපියන්. අද වන විට වන විට මැතිවරණ වලදී ඡන්දය ලබා දීමේදී මුළු මහත් පවුලටම බලපෑම සිදු කරන්නේ දරුවන්.

ඉම්තියාස්
බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment