අනියම් බිරිඳ රට ගිය දුකට සැමියා ගෙලවැලලා ගනී

594

නීත්‍යනුකූල බිරිඳ මළ සිරුර එපා කියයි
අනියම් බිරිඳගේ දුව සිරුර භාරගනී

වසර 20කට අධික කාලයක් එකට ජීවත්වූ අනියම් බිරිඳ රට රැකියාවක් සඳහා විදේශගතවූවා යැයි සිත් තැවුලකට පත් 64 හැවිරිදි පුද්ගලයකු ගෙල වැලලාගෙන මියයෑමෙන් පසු විවාහක බිරිඳ සිරුර භාරගැනීමට නොහැකි බව පවසද්දී අනියම් බිරිඳගේ දියණිය සිරුර රැගෙන ගිය පුවතක් තලංගම හදිසි මරණ පරීක්‍ෂක ප්‍රේමලතා අබේගුණවර්ධන මහත්මිය හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ මාලබේ, කහන්තොට පාරේ, උතුරු හෝකන්දර පදිංචිව සිටි ගල්පොත්තගේ රංජන තිලකසිරි පෙරේරා නමැති 64 හැවිරිදි අයෙකි.

මෙහිදී අනාවරණය වූ තොරතුරු වලට අනුව මියගිය අය මෙයට වසර 20කට පමණ පෙර සිය විවාහක බිරිඳගෙන් වෙන්වී මාලබේ කහත්තොට පාරේ අනියම් බිරිඳ හා එක්ව සිය ජීවිතය ඉදිරියට ගෙනයෑමට කටයුතු කර තිබේ.

මෙසේ තිබියදී මෙයට සති දෙකකට පමණ පෙර රැකියාවක් සඳහා එම අනියම් බිරිඳ විදෙස්ගතව තිබේ. මේ සම්බන්ධයෙන් බාප්පා දැඩි කනස්සල්ලෙන් පසුවූ බව එම අනියම් බිරිඳගේ විවාහක දියණියක මරණ පරීක්‍ෂකවරිය හමුවේ කරුණු අනාවරණය කර සිටින ලදී.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ එම දියණිය තම 8 හැවිරිදි දරුවා සිද්ධිය වූ දින දිවවිත් සීයා නූලකින් එල්ලී සිටිනවා යැයි පැවසූ බව කීවාය.

පසුව තමා දිවගොස් බලන විට බාප්පා බාල්කයේ එල්ලී සිටිනු දුටු බවත් ඇය සාක්‍ෂි දෙමින් කීවාය.

නීත්‍යනුකූල බිරිඳගේ කැමැත්ත ඇතිව අනියම් බිරිඳගේ දියණියට සිරුර රැගෙන යෑමට මරණ පරීක්‍ෂකවරිය අවසර ලබාදෙනු ලැබුවාය.

ඉදිරිපත්වූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන මෙය දිවිනසා ගැනීමක් බවට මරණ පරීක්‍ෂකවරිය තීන්දු කළාය.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment