ගාස්තු වැඩි නොකළොත් තැපෑල වැසේවි!

270

රුපියල් 15ක් වන ග්‍රෑම් 20ක් බර සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 20-40 අතර දක්වාත් රුපියල් 55-65 අතර වන අධිවේගී තැපැල් ගාස්තුව රුපියල් 200 දක්වාත් වහාම වැඩිකරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව රජයට නිර්දේශ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට ඊයේ (30දා) පැවැසීය.2021 වසරේදී තැපෑල රුපියල් බිලියන 7.2ක පාඩුවක් ලැබීමත් ඉන්ධන, කඩදාසි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළයාමත් සැලකිල්ලට ගෙන තැපැල් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

දිවයින මේ පිළිබඳව තැපැල් වෘත්තීය සමිති නායකයන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් කියාසිටියේ තැපැල් ගාස්තු සංශෝධනයක් වහාම සිදුවිය යුතු බවයි. නැත්නම් තැපෑල වැසීගොස් තැපැල් සේවකයන් පාරට වැටෙනු ඇති බවයි.කඩදාසි හිඟය හේතුවන් පෞද්ගලික සමාගම් සහ බැංකු තැපෑලට ලබාදෙන බිල්පත් ඇතුළු ලිපි ප්‍රමාණය අඩුවී තිබෙන අතර මේ නිසා තැපෑලට ලැබෙන ආදායමද අහිමිවී ඇත.

සතියකට එක් දිනක් තැපෑල වසා දැමීමටද නිර්දේශ වී ඇති අතර එය සඳුදා දිනයක් වීමට ඉඩ ඇත.මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් විමසූ විට කියා සිටියේ මෙම නිර්දේශ මහාභාණ්ඩාගාරය වෙත යවා ඇති බවත් ගාස්තු වැඩිවන ප්‍රමාණය කිවනොහැකි බවත්ය.

ප්‍රියදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment