තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු කෝටි 235 යි: ගෙවන්න වෙන්නෙත් ඩොලර්වලින්

234

මෙරටට ඉන්ධන ගෙනා නෞකා වෙත නිසි වේලාවට මුදල් ගෙවා දැමීමට නොහැකිවීම නිසා ඉකුත් ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ දී ප්‍රමාද ගාස්තු (Demurrage) ලෙස ඇමරිකානු ඩොලර් හැටහතර ලක්‍ෂ පනස්නවදහස් අටසිය හැටක 6,459,860 (රුපියල් කෝටි 235ක් පමණ) ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට හෙළි කළේය.

මෙම වසරේ දී පමණක් නොව ඊට පෙර වසරවල දීද කොළඹ වරායට පැමිණෙන ඉන්ධන නෞකා ගොඩබෑම විවිධ හේතු මත ප්‍රමාද වී ඇති අතර එනිසා ප්‍රමාද ගාස්තු ලෙස වසරකට රුපියල් කෝටි ගණන් මුදල් ගෙවීමට සිදුවී ඇති බවද එම නිලධාරියා පැවසීය.

මෙම නෞකා සමාගම්වලට ප්‍රමාද ගාස්තු ගෙවීමේදී එම මුදල් ඩොලර්වලින් ගෙවිය යුතු වන අතර මෙම වසරේදී ඩොලර් සංචිත සිඳීයෑම නිසා නෞකා නිදහස් කර ගැනීම් දිගින් දිගටම ප්‍රමාද වූ බවද එම නිලධාරියා සඳහන් කළේය.

තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු කෝටි 235 යි: ගෙවන්න වෙන්නෙත් ඩොලර්වලින්

කලින් සැලසුම් කළ පරිදි ඉන්ධන නෞකා ඇණවුම් කර නියමිත දිනට අදාළ නෞකා කොළඹ වරාය වෙත පැමිණියත් නෞකාවලින් ඉන්ධන ගොඩබෑමට පෙර ගෙවිය යුතු ඩොලර් නොමැති නිසා ඇතැම් නෞකා සතිය දෙක වරායේ නවතා තැබීමට සිදුවූ බවද එම නිලධාරියා කීය. ඇතැම් නෞකා දින තිහ, හතළිහ වරායේ තබා තිබූ බවත් එනිසා මේ සා විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදු වූ බවද හෙතෙම කීය.

කොළඹ වරායේ පිහිටි බෝයාවේ සිට කොළොන්නාව දක්වාත්, වරායේ සිට සපුගස්කන්ද දක්වාත් දිවෙන නළ පද්ධතිය දිරා තිබෙන නිසාත් නෞකාවලින් ඉන්ධන ගොඩබෑමේ දී අඩු පීඩනයක් යටතේ නිකුත් කරන නිසාත් දින කිහිපයක ප්‍රමාදයක් සාමාන්‍ය කාලයේදීත් සිදුවී තිබේ.

ඒ අනුව සපුගස්කන්දට හා කොළොන්නාවට ඉන්ධන ගොඩ බෑමට දින හතරක් පමණ ගත කිරීමට සිදුව ඇත. මුතුරාජවෙල තෙල් තොග ගබඩා පර්යන්තයට ඉන්ධන ගොඩබෑමට ගතවන්නේ දින එකක් හෝ දෙකකි.

කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී මෙරටට ගෙන එන ඇතැම් නෞකා වලින් ඉන්ධන ගොඩබෑම හිතා මතා ප්‍රමාද කරන නිලධාරීන්ද සිටින බවත් ඒ මගින් අදාල නෞකා සමාගම්වලින් යම් වරප්‍රසාදයක් ලබන පිරිස් සිටීදැයි සංස්ථා සේවකයන් අතර සාධාරණ සැකයක් පවතින බවද එම නිලධාරියා කීය.

මෙම ප්‍රමාද ගාස්තු ගෙවීමේදී සංස්ථාවත්, අදාළ සමාගම් අතරත් යම් යම් බොරුකරණ සිදුවන බවත් ඇතැම් අවස්ථාවල ජාත්‍යන්තර වාණිජ්‍ය අධිකරණය හමුවට යොමුවන බවද එම නිලධාරියා කීය. කෙසේ වෙතත් මෙම ප්‍රමාද ගාස්තු ඩොලර්වලින් ගෙවීමට සිදුවන බවද, එයත් රටට මහ විපතක් සිදු කරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් කරුණු සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment