ලොව අංක එකේ වනජීවී ඡායාරූප තරගයෙන් ලංකාවේ බුද්ධිලිනි සහ ගගන සුවිශේෂී ජයග‍්‍රහණ දෙකක් ගෙන එයි

495

ලෝක ඡායාරූප ශිල්පීන්ගේ සිහිනයක් ලෙස සැලකෙන wildlife photographer of the year 2021 තරගයේ ප‍්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ‍්‍රී ලාංකික ඡායාරූප ශිල්පිනියකට හා මෙරට ළාබල ඡායාරූප ශිල්පියෙකු මෙවර අවස්ථාව උදාකර ගත්තේය.

ඒ බුද්ධිලිනි ඞී. සොයිසා හා ගගන මෙන්ඩිස් වික‍්‍රමසිංහ යන දෙදෙනාට ය. මෙම දෙදෙනාගේ ඡායාරූප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග‍්‍රහණයකට උරුමකම් කියූ (2002) එකම ශ‍්‍රී ලාංකිකයා වූයේ ප‍්‍රකට ඡායාරූප ශිල්පියකු හා ශ‍්‍රී ලංකානු දිවියන් ඇතුළු වන ජීවී හා පාරිසරික පර්යේෂකයෙකුද වන රුක්ෂන් ජයවර්ධන මහතාය. ඒ මහතාගෙන් පසුව මෙම තරඟයේ මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ‍්‍රී ලාංකිකයන් වන්නේ බුද්ධිලිනි හා ගගන ය.

ලොව අංක එකේ වනජීවී ඡායාරූප තරගයෙන් ලංකාවේ බුද්ධිලිනි සහ ගගන  සුවිශේෂී ජයග‍්‍රහණ දෙකක් ගෙන එයි

බුද්ධිලිනි ඞී. සොයිසා මහත්මියගේ ‘A Great Swim’ (චීටා) නමින් පළ කරන ලද ඡුායාරූපය හා ගගන මෙන්ඩිස් වික‍්‍රමසිංහගේ ‘Lockdown chicks’ (ගිරවුන්ගේ) නමින් පළ කරන ලද ඡායාරූපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

මෙය රටක් හැටියට අප ලැබූ සුවිශේෂීම ජයග‍්‍රහණයකි. ලොව පුරා අතිදක්ෂ ඡුායාරූප ශීල්පීන්ගේ ඡායාරූප 55000ක් අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත.

මෙහි තවත් විශේෂත්වය වන්නේ ගගන වයස අවුරුදු 11ක කුඩා දරුවෙකු වීම ය.

ගගන ලංකාවේ ප‍්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතාගේ කනිටු පුත‍්‍රයා ය. ගගන, තම පියා මෙන්ම සර්පයින් පිළිබඳව ද හසළ දැනුමක් ඇත්තෙකි. එසේම, ඔහු සර්පයින් හැසිරවීම පිළිබඳව ද ඉතා දක්ෂයෙකි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment