සෞඛ්‍ය ඇමැතිගේ නියෝගයෙන් වෛද්‍ය බෙල්ලන ගැන විමර්ශනයක්

149

වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව ඉල්ලා වැඩ වර්ජනයේ යෙදුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කිහිපයකට අයත් සේවක පිරිස් විවේචනය කරමින් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊයේ (19දා) උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම අංශ සෞඛ්‍ය කාර්යන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බවත් එය සැලකිල්ලට ගෙන අදාළ විමර්ශනය සිදුකරන බවත් ඇමැතිවරයා කීය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය වෘත්තීන් කිහිපයකට අදාළ පිරිසට අපහාසාත්මක ලෙස ප්‍රකාශ නිකුත් කිරීම නිසා පසුගිය සිකුරාදා (16දා) ඒ මහතා පැය කිහිපයක් ඔහුගේ කාර්යාලයේ රඳවා තබාගෙන විරෝධතාවේ නිරතවීමට සේවකයන් කටයුතු කර තිබූ අතර ඊයේ ද වෛද්‍ය බෙල්ලන මහතාගේ කාර්යාලය ඉදිරිපිට සේවකයෝ සාමකාමී විරෝධතාවක නිරතවී සිටියහ.

එම පිරිස් වෛද්‍ය බෙල්ලන මහතා ජාතික රෝහලින් ඉවත් කරන ලෙස බලකරමින් සිටි අතර වෛද්‍ය බෙල්ලන මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් සිදුකළ හොත් ඒ අනුව කටයුතු කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ රජයේ නිලධාරීන්ට තනතුරු ලබාදෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන් බවත් විවිධ පුද්ගලයන් බෝඩ් අල්ලාගෙන සිටි පමණින් නිලධාරීන් මාරුකිරීමේ හැකියාවක් නොමැති බවත්ය.

චමින්ද සිල්වා

ජීවිත තර්ජනයක් තිබුණත් ඇත්ත කියන්න මැලිවන්නේ නෑ – වෛද්‍ය බෙල්ලන කියයි

සෞඛ්‍ය වර්ජනය නිසා තමාගේ ජීවිතයට තර්ජනයක් ඇතත් නැතත් ජනතාව වෙනුවෙන් සත්‍ය කතා කිරීමට කිසිසේත් මැලි නොවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවසීය.

මෙම වර්ජන නිසා රෝහලට පැමිණෙන අහිංසක රෝගීන්ට සිදුවෙන දුෂ්කරතා සම්බන්ධයෙන් වර්ජකයන්ගේ අනුකම්පාවක් නැතැයි කී රුක්ෂාන් බෙල්ලන මහතා ජනතාව ඔවුන් පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටින බවද පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment