දූෂණ වංචාවල යෙදුණොත්  වරෙන්තු නැතුවම අත්අඩංගුවට – නීති රීති ළඟ එයි

255

දූෂණ කටයුතුවල යෙදෙන ඕනෑම කෙනකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට රජය සූදානම් වෙයි.

 දැනට යෝජනා වී තිබෙන නව දූෂණ විරෝධී කොමිසමක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකෙරෙනු ඇත. මෙසේ අත්අඩංගුවට ගන්නා අය පැය 24 ක් රඳවා තබා ගැනීමට අත්අඩංගුවට ගැනීම් භාර නිලධාරීන්ට හැකියාව ලැබේ. මේ අතර දූෂණ ක්‍රියා සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති පුද්ගලයන් ශ්‍රී ලංකාවේ පිටත සිට එම කටයුතු සිදුකර ඇතද ඔවුන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට බලය ලැබෙයි. මේ නීතියට අදාළ පිටු 108 කින් සමන්විත දූෂණ විරෝධී පනත මේ වනවිට මහජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කර ඇත.

 දූෂණ විරෝධී කටයුතු මෙහෙයවීම සඳහා ස්වාධීන කොමිසමක් පත්කරන අතර දූෂණ කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවී ඒ ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීම එම කොමිසම මගින් සිදුකරනු ඇත. නව දූෂණ විරෝධී පනත යටතේ ඕනෑම කෙනකුගේ වත්කම් සහ ණය පිළිබඳ තොරතුරු එම කොමිසමට ලබාගත හැකිය. ඕනෑම ඉලෙක්ට්‍රොනික දත්ත සමූහයක්, එම දත්ත සමූහය ඩිජිටල් හෝ එසේ නොවන තත්ත්වයක තිබියදී ලබා ගැනීමේ අයිතිය කොමිසම සතුය. රජයේ නිලධාරීන් නිශ්චිත කාලයකට වරක් තමන්ට ශ්‍රී ලංකාව තුළ සහ ශ්‍රී ලංකාවෙන් පිටත තිබෙන වත්කම් සහ වගකීම් හෙළිදරව් කිරීම මෙම පනත යටතේ කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment