රටේ ආර්ථිකය පවත්වාගෙන යෑමට වැට් බදු හැර වෙන විකල්පයක් නැහැ – එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

67

රටේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසය වන විට 4% ක වගේ ප්‍රමාණයක තිබුණ බවත් 2022 සැප්තැම්බර් මාසයේ එය 70% ක පමණ තිබුණ බවත්, රටේ ආර්ථිකය පවත්වාගෙන යෑමට වෙන විකල්ප වැඩසටහනක් නැති බවත් අයි එම් එෆ් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව හා අපේ මහ බැංකුව දැනටමත් මෙම වසරේ ඉහළ ආර්ථික වර්ධනයක් පිළිබඳ පුරෝකතනය කර ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (2 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

2024 නව වර්ෂය මහජනතාවට සුබ නව වසරක් වේවි. 2020, 2021, 2022 යන වර්ෂවලදී අපේ රට භයානක නරක තැනකට තල්ලු වුණා. ඒ වගකීම භාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ වගකීම භාරගන්න ඉදිරිපත් වුණේ තනි ආසනයකින් පාර්ලිමේන්තුවේ හිටපු අවුරුදු 60 ක දේශපාලන පළපුරුද්දක් තිබෙන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

ණය ප්‍රතිව්‍යුහගත කරන එක පියවර 3 කින් ක්‍රියාත්මක කරන්න තමයි අපි එකඟවෙලා තිබුණේ IMF සංවිධානය සමග. අපි පියවර 2ක් ඒ කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිම කළා ඔක්තෝබර් වන විට. ඊළඟට ද්වීපාර්ශ්වික

ණයහිමියන් සමග කරන ලද සාකච්ඡා පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට ආවා දෙසැම්බර් මාසයේ 13 වැනිදා. එතකොට පියවර 2 ක් ඉවරයි. 3 වැනි පියවර තමයි පුද්ගලික ණයහිමියෝ. ඒ කියන්නේ ISP කට්ටිය සහ CDB ගත්ත ණය පිළිබඳව දැනට සාකච්ඡා කරගෙන යනවා. අපේ බලාපොරොත්තුව එම සාකච්ඡා මෙම පළමු කාර්තුවේදී නිම කරන එකයි.

2022 දී පළමු කාර්තුවේ ඉඳලා දිගටම කාර්තු 6 ක් අඛණ්ඩව ආර්ථිකයේ ඍණ වර්ධනයක් තමයි තිබුණේ. නමුත් 3 වැනි කාර්තුවේ ධන ආර්ථික වර්ධනයක් වාර්තා කරලා තියෙනවා 1.6ක. එතකොට 4 වැනි කාර්තුවේ දත්ත තව ආවේ නෑ. දැනට වාර්තා කරල තිබෙන විදියට විවිධ ආයතනවලින් 4 වැනි කාර්තුවෙත් ආර්ථිකය ධනාත්මක වර්ධනයක් තියෙනවා කියලා. ඒ වගේම IMF එක, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අපේ මහ බැංකුව ආදී ආයතන වලින් දැනටම පුරෝකථනය කරල තියෙනවා 2024 වර්ෂයේ දී ඊට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් ලැබෙනවා කියලා.

රටේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසය වන විට 4% ක් වගේ ප්‍රමාණයක තමයි තිබුණේ. ඒක මතක් කරනවා නම් ගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 70% කට ආසන්න මට්ටමේ තිබුණේ.

ඊළඟට සංචාරක ව්‍යාපාරය වේගයෙන් ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ 2023 වසරේ ලැබුණු ආදායම ඩොලර් මිලියන 1800 යි. හොඳටම සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වුණේ 2018. ඒ වසරේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 4380 යි.

ඊළඟට විදේශ ශ්‍රමිකයන්ගේ ඉපැයීම් 2023 දී ඩොලර් මිලියන 5400 යි. යහපාලන ආණ්ඩුව කාලයේ හැම වසරකම 2015 සිට 2019 දක්වා ඩොලර් මිලියන 7000 පහු කරලා ආදායමක් ලැබුණා. දැනට විදේශ විනිමය සංචිත ප්‍රමාණය 2023 දෙසැම්බර් වන විට ඩොලර් බිලියන 4.3 යි. එනම් මිලියන 4300 ක්. එතකොට එතැනදී කියන්න ඕන 2022 අප්‍රේල් මාසයේ 12 වනිදා වන විට අපේ රටේ තිබුණු විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 24 යි.

ඒ වගේම පසුගිය 2022 වර්ෂයේ අවසානයේදී තමයි වැඩිපුරම විදේශගත වෙලා තියෙන්නේ. තුන් ලක්‍ෂ එකොළොස්දාහක් විදේශගත වෙලා තිබෙනවා. දැන් වැට් එක බොහෝදෙනා කතා වෙනවා, බොහෝ භාණ්ඩවලට මේ වැට් එක පැවතුණා 15% අගයක. ඒක 3% කින් තමයි වැඩි වුණේ 18% වෙන්න. එතකොට 0% ඉඳලා 18% දක්වා වැඩි වුණේ අයිතම 97 කට විතරයි.

ලබන අවුරුද්දෙ අපි බලාපොරොත්තු වෙනවා අයවැයෙන් රුපියල් බිලියන 4128 ක්. එතකොට වැට් වලින් විතරක් බිලියන 1400 ක් බලාපොරොත්තු වෙනවා. ඇයි මේ වැඩි කරන්නේ කියලා කිව්වොත් රාජ්‍ය ආදායම තහවුරු කරගන්න ඕන. ඒකට හේතුව තමයි තවමත් අපි විදේශ ණය ගෙවන්නෙ නැහැ. විදේශ විනිමය ගෙවන්න ගියොත් ඒ වෙලාව වෙද්දි අපිට ගෙවන්න ඩොලර් තිබෙන්න ඕන. තවම ණය සාකච්ඡා අවසන් නොමැති නිසා විදේශ ණය ගෙවීමක් කරන්නෙ නැහැ. ඒ ණය ගෙවන්න පටන් ගත්තම අපිට රුපියල් සහ ඩොලර් තියෙන්න ඕන ඒවා ගෙවන්න. ඒ නිසා තමයි අපි ආදායම තහවුරු කරගන්න ඕන.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment