ඩිලංක ඉසුරු කුමාර අද තරග බිමට – ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය

105

ඉකුත් බදාදා (03) දකුණු කොරියාවේ ජුංජී නගරයේ දී ආරම්භ කෙරුණු ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියට අවතීර්ණ වෙමින් ඩිලංක ඉසුරු කුමාර අද (06 වැනිදා) තරග බිමට පිවිසෙයි. ඒ කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය නියෝජනය කරමිනි.

මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභී ඉන්දික චතුරංග දිසානායක කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ අනිද්දා (08) තරග වැදීමට නියමිතය. ආසියානු බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ලබන 13 දින දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියේ දී ඩිලංක සහ ඉන්දිකගේ පුහුණුකරු ලෙස ජාතික පුහුණුකරු ආර්. බී. වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.

ප්‍රංශයේ දී ක්‍රියාත්මක කෙරෙන මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ තීරණාත්මක තරගාවලියක් ලෙස මෙවර ආසියානු ශූරතාව යොදා ගෙන තිබේ.

ඒ සඳහා ලෝක ශුරතා තරග මෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආශ්‍රිතව පදක්කම් ලාභී ප්‍රබලතම බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වෙති.

මෙරට සිටින දක්ෂතම බර ඉසිලීමේ ක්‍රීඩකයන් දෙපළක් වන ඉන්දික සහ ඩිලංක මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වරම් ලබා ගැනීමේ අරමුණ මෙම තරඟාවලියේ දී ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙති. ඒ සඳහා තම උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට දෙපළම අපේක්ෂා කරන බව පැවසූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment